අහේතු කාලේන... | දිනමිණ

අහේතු කාලේන...

“ජෙමාත් දැන් තමා නියමෙටම බිස්නස් එකට සෙට් වෙලා තියෙන්නේ?“ පෙට්ටි කඩෙන් අතට ගත්තු මාළු පාන් ගෙඩියෙන් බාගයක් විතර හිස් වුණාම ඉස්කෝලෙ මහත්තයා කීවා. 'ඒ මොකද?' යයි අහන්නට වගේ ලෑල්ල අස්සෙන් ඔළුව දාල බැලුවත් කළු ජෙමා, ඒකට මොකුත්ම කියන්න ගියේ නෑ. ඒ වුණාට කතාව ඔහේ හුළඟට ගහගෙන යන්න දෙන්න බැරි හින්දා මං මැද්දට පැන්නා.

“මොකෝ ඉස්කෝලෙ මහත්තයා?“

“නෑ ඉතිං 'මාළුපාන්' කීවට මේකෙ මාළු ඩිංගිත්තක් වත් නෑ. නිකම්ම නිකං පාන් විතරයි“ ඉස්කෝලෙ මහත්තයා, තමන් කමින් හිටිය මාළු පාන් ගෙඩියේ ඉතිරි අඩ හරි මැදින් දෙකට ඉරලා පෙන්නුවා. කතාව ඇත්ත. යාම්තමට මාළු තැවරූ ඡායාවක් මිසක් සීනි සම්බෝල ඩිංගක් වත් පෙනෙන්න නෑ.

“මොනව කරන්නද ඉස්කෝල මහත්තයා, බේකරියෙන් ගෙනත් දාන එව්ව මිසක් මං හදන ඒවායැ. මං හෙට උදේ ආවම රාජාට කියන්නම්“ ජෙමා එහෙම කීවා. ඒ කතාවත් ඉතිං බොරුවක් නෙවෙයි. ගෙනත් දාන මාළුපාන්වල මාළු තියෙනවාදැයි කියලා ඕක අස්සට රිංගලා බලන්නයැ. තේරෙන්න කන්නම එපායැ.

“ඔය තත්තෙ දැන් ලෝකෙ කොහෙත් ඔය වගේ තමයි.“ මං එහෙම කියන්න හැදුවත් කතාව අතරමගදී නවත්තන්න සිද්ධවුණේ මුදලි උන්නැහේගෙ කොලුවා, තවත් යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක එතැනින් ගමනක් යන්න ආව හින්දයි. කොලුවා, ඉස්කෝලෙ මහත්තයාට කතා කෙරුවා.

“සර් කොළඹ, බී.එම්.අයි.සී.එච් එකේ පොත් ප්‍රදර්ශනේට යන්නෙ නැද්ද? අපි නම් මේ යන්න යන ගමන්“

“ආහ්..ඒක හොඳයි. නිකම් රස්තියාදු ගහන එකේ පොතක් පතක් ගන්න යන එක වටිනවා. හොඳයි හොඳයි ගිහින් වරෙල්ලා. මමත් හෙට අනිද්දා දිහාට ගිහින් එනවා.“ ඉස්කෝලෙ මහත්තයා එහෙම කීවාම, කොලු පැටව් කීපදෙනා මටත් අත වනාගෙනම යන්න ගියා.

“මොකක්ද බණ්ඩි මලයා කියාගෙන ආවේ?“ ඉස්කෝලෙ මහත්තයා ආයෙම ඇහුවා.

“නෑ ඉතිං දැන් ඔය පොත් ප්‍රදර්ශනෙත් මේ මාළු පාන් වගේම තමයි“

“ඒ මොකෑ ඒ?“ ඉස්කෝලෙ මහත්තයා, ඇස් උඩ ඉන්දගෙන අහනවා.

“ඉස්සර ඔය වැඩේ පටන් ගත්තෙ අඩු ගාණට ඒ කියන්නෙ සියයට තිහක, හතළිහක වට්ටමක් එක්ක පොත් ගන්න කෙනාට සහනයක් දෙන්න වුණත් දැන් එහෙම වෙන්නෙ නෑ.“ මං කියන්න ගත්තා.

“දැන් කඩදාසි ගණන් නොවැ. ඒ වගේ බැරුව ඇති“ ඉස්කෝල මහත්තයා කීවා.

“නෑ මහත්තයා. කඩදාසි ගණන් යද්දි පොත්වල මිල ඉහළ යනවා තමයි. ඒත් ඒ ලකුණු කරන මිලෙන් සියයට 30-40ක් දෙන්න බැරිකමක් නෑ. මොකද ඔය ප්‍රකාශක මහත්තුරු කොහොමත් සියයට 40ක් වෙළෙන්දන්ට දෙනවා. එතකොට තමන්ට කෙලින්ම පොත් ගන්න කෙනා හම්බවුණාම අර අතරමැදි ගාණ අඩු කරලා ඒකෙ වාසිය පොත ගන්න කෙනාට දෙන්න පුළුවන්. කලින් අවස්ථාවල ‍එක් කෙනෙක් දෙන්නෙක් හරි ඔය විදිහට වට්ටම් දුන්නට මේ සැරේ කට්ටියම පොදු එකඟතාවකට ඇවිත් තියෙනවා, සියයට 20ට වඩා කොහෙත්ම වට්ටම් දෙන්නෙ නෑ කියලා.“

“ආහ්..ඒකත් එහෙමද?“

“සියයට විස්ස කියන්නෙ ඕනම පොත් සාප්පුවකින් විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ ඕනම පොත් සාප්පුවකින් අඩුකරලා දෙන ගාණක්.“ මං තවත් පැහැදිලි කළා.

“එහෙනම් ඔතන රස්තියාදු වෙන්නෙ නැතිව ටවුමෙ පොත් සාප්පුවෙනුත් ඕන කරන පොතක් ගන්න බැරිකමක් නෑ නේද?“ ඉස්‍කෝලෙ මහත්තයා කීවා.

“ඔව් ඉතිං එකම වාසිය ඔය හැම වෙළෙන්දෙක්ම ‘අඟහරුවාදා පොළ‘ වගේ එකම තැනක වෙළඳාම කරන එක විතරයි. තැනින් තැනට ගිහින් ඕන කරන පොත ගන්න පුළුවන්. එච්චරයි“ මං කතාව නැවැත්තුවේ කළු ජෙමා කවුන්ටරේ ලෑල්ල මෑත් කරමින් එතෙන්ට ආව හින්දයි.

“ඒකනෙ කියන්නෙ හැම තැනම එහෙමයි“ ජෙමා කීවා.

“ඔව්. මාත් කීවෙ ඒකමයි“

“මාළු නැති මාළු පාන් වගේ', 'පොත් මිල අඩු නැති පොත් ප්‍රදර්ශන' ඉස්කෝලෙ මහත්තයාටත් ඉබේම කියැවුණා. 'අනේ කාලේ වනේ වාසෙ' කියන්නෙ මෙන්න මේවට වෙන්න ඇති“ ඉස්කෝලෙ මහත්තයා, එහෙම කියාගෙන යන්න නැඟිට්ටා.

“නෑ අහේතු කාලේන කජ්ජේන පුහුලං කියන්නෙ මේවට තමයි“ ජෙමා, හිනා වෙවී කියලා දැම්මා.

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

Or log in with...