නැඟෙ­න­හිර සාහිත තරුව අබ්දුල් උබා­යි­තුල්ලා | දිනමිණ

නැඟෙ­න­හිර සාහිත තරුව අබ්දුල් උබා­යි­තුල්ලා

ලංකාවේ දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන වෙසෙස් ලකුණක් හැටියට මුස්ලිම් ලේඛකයන්ගෙන් ලැබෙන දායකත්වය අගය කළ හැකියි. දෙමළ බසින් සාහිත්‍යකරණයේ යෙදෙන මුස්ලිම් ලේඛක ලේඛිකාවන්ද දෙමළ සාහිත්‍යයේ ප්‍රවර්ධනයට හරිහරියට දායක වෙන බව කීවොත් දෙමළ සාහිත්‍යධරයන් මා හා අමනාප වෙයි කියා සිතන්නෙ නැහැ. මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙලෙදි හා ගොඩගේ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයෙදි දෙමළ සාහිත්‍ය නිර්මාණ සඳහා සම්මාන දිනාගත් ලේඛක ලයිස්තු විමසා බැලුවොත් මා කියන දේ සත්‍යයක් ලෙස ඔබට පෙනී යාවි.

මෙවර තල් අරඹයි පොල් අරඹයි ලිපිය මගින් මා සූදානම් වන්නේ නැඟෙනහිර පළාතෙන් බිහි වූ එවන් සාහිත තාරකාවක් ඔබට හඳුන්වා දීමටයි. ඒ ලේඛකයා හඳුන්වා දිමට පෙර තවත් පුංචි දෙයක් කිව යුතුයි. දෙමළ සාහිත්‍ය ගැන කතා කරද්දි පහුගිය සමයේ අපි දිගින් දිගටම උතුරු පළාතටයි වැඩි අවධානයක් යොමු කළේ. උතුරු පළාත හා සමානවම නැඟෙනහිර පළාතෙනුත් දෙමළ සාහිත්‍ය නිර්මාණ බිහි වන බව අමතක කරන්න නරකයි. ඒ වගේම කිව යුතු අනෙක් වැදගත් කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ දකුණු දිසාවේ හම්බන්තොට හා දික්වැල්ල වැනි ප්‍රදේශවලින් හා මධ්‍යම පළාතෙනුත් බිහි වුණු මුස්ලිම් ලේඛකයන් රැසක් දෙමළ බසින් සාහිත්‍ය කටයුතුවල නිරතව සිටින බවයි. දික්වැල්ලේ කමාල් , මාවනැල්ලේ මන්සූර්, මොහොමඩ් රාසුක් හා නායිමා සිද්දික් වැනි ලේඛක ලේඛිකාවන් මීට නිදසුන් හැටියට නිතැතින්ම සිහිපත් වෙනවා.

දැන් අපි නැවතත් අපේ කතා නායකයා වෙත හැරෙමු. මා මුලින් සඳහන් කළ නැඟෙනහිර කලාපයේ සාහිත තරුව ගැන කතාව ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලින් අරඹන්න මා කැමතියි. මොකද ඒ සාහිත්‍ය උළෙලෙදි සිය “නිලා ලායිත් තෙදි” නම් කතා එකතුව සඳහා 2018 වසරේ හොඳම දෙමළ කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය දිනාගත්තේ අබ්දුල් සමාදු උබායිතුල්ලා නිසයි. උබායිතුල්ලා මුතූර් ප්‍රදේශයේ උපත ලබා ගමේ පාසලෙන් සිප් සතර හදාරා ගුරුවරයෙක් හැටියට දරු පරපුරේ නෙත් පෑදු ගුරු තරුවක් බවත් මෙහිදී කියන්න අවශ්‍යයි. 2015 වසරේ විශ්‍රාම දිවියට පිවිසෙන විට ඔහු විදුහල්පති ශ්‍රේණියට උසස්වීම් ලබා සිටි බවත් උබායිතුල්ලා ගැන තොරතුරු ලබා දුන් මේමන් කවී ලේඛකයා සඳහන් කළා. නැඟෙනහිර පළාතේ ජනප්‍රිය පාසලක් වන මුතූර් ශාන්ත අන්තෝනි විදුහලෙන් උසස් පෙළ සමත් වී පේරාදෙනිය සරසවියෙන් කලා උපාධියක්ද දිනා ගත් උබායිතුල්ලා පසුව ජාතික අධ්‍යාපන ආයතනයෙන් පශ්චාත් උපාධි පාඨමාලාවක්ද හදාරා තිබෙනවා.

ඔහු නිර්මාණ කාර්යයට පිවිසෙන්නේ තුරුණු වියේදියි. මුලින්ම පුවත් පත්වලට ලියමින් දෙමළ පාඨක ප්‍රජාව අතර නමක් දිනාගත් ඔහු කලක් තිනකරන් පුවත්පතේ මුතූර් වාර්තාකරු ලෙසද සේවය කර තිබෙනවා. මුලින්ම උබායිතුල්ලගෙ කෙටිකතාවක් පළ වී ඇත්තේ මාණික්කම් නම් සඟරාවෙ. “ඔර්වන්ගල්” නම් ඒ කතාව ඔහු ලියා ඇත්තෙ 1978දියි. ඒත් සමඟම දෙමළ පත්තර හා සඟරාවල ඔහුට වැඩි වැඩියෙන් ඉඩකඩ වෙන් වෙන්න පටන්ගත්තා. වීරකේස්වරී, තිනන්කුරල්, නවමනි, කලානදි හා තාරකායි වැනි ප්‍රකාශන මේ අතර ප්‍රධානයි. ඊළත්තු ඉලක්කෙයි ප්‍රකාශන ආයතනය මගින් උබායිතුල්ලගෙ “ගංගායි කාව්‍යම්” නමැති ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කරන්නේ 1997දි. ඔහුගෙ “ජල සමාදි” නම් කෙටිකතා සංග්‍රහය දොරට වඩින්නේ 2008දි. ඊට පසුව ඔහු අතින් තවත් කෙටිකතා පොතක් ලියවෙනවා “නිලා ළායිත් තෙදි” නමින්. යාපනයේ සාහිත්‍ය මණ්ඩලයේ කනහා සෙන්දිනාදන් නම් සම්මානයෙන් මේ කෘති දෙකම පිදුම් ලැබිම උබායිතුල්ලාගේ සාහිත්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් හැටියටයි ඔහු සලකන්නේ. “ජල සමාදි” පොත 5වන වරටත් මුද්‍රණය වීම මගින් උබායිතුල්ලාගේ සාහිත්‍ය නිර්මාණවලට දෙමළ පාඨක සමාජයේ ඇති පිළිගැනීම මොනවට තහවුරු වෙනවා.

දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ජ්‍යෙෂ්ඨ ලේඛකයන් රැසක් උබායිතුල්ලාගේ නිර්මාණ ඉහළින්ම අගය කර තිබෙනවා. ඔට්ටාවාඩි අරපත්, මුල්ලෙයි වීරාකුට්ටි, දික්වැල්ලේ කමාල්, කේ. ආර්. ඩේවිඩ් හා මේමන් කවී මේ ප්‍රවීණයන් අතර ප්‍රමුඛයි. දෙමළ පුවත් පත්වල වගේම සමාජ මාධ්‍ය ජාලයේත් උබායිතුල්ලා ජනප්‍රිය ලේඛකයෙක්. ඔහු අධ්‍යාපන කටයුතුවලට අදාළවද පොත් කිහිපය රචනා කර තිබෙන නිසා සිසු කැළ අතරද නොමද ජනාදරයට පත්ව සිටිනවා. 1995දි ඔහු ලියු “දෙමළ මග” නමැති භාෂා පොත සිසුන් විසින් නිතර පරිහරණය කරනු ලබන අත් පොතක් ලෙසත් ප්‍රසිද්ධයි. දෙමළ බස වර්ධනය කරනු පිණිස උබායිතුල්ලා ලබා දී තිබෙන දායකත්වයට ප්‍රණාමය දක්වනු වස් මුතූර් ප්‍රදේශයේ ගුරු දෙගුරුන් හා සිසු කැළ එක් වී “අරුවතෙයි” (අස්වැන්න) නමින් උපහාර කලාපයක්ද පළ කර තිබෙනවා.

අබ්දුල් සමාදු උබායිතුල්ලාගේ සාහිත්‍ය නිර්මාණ පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ ඔහුගේ බස්වහරේ දක්නට ලැබෙන ආකර්ෂණීය ලක්ෂණ නිසායයි දෙමළ සාහිත්‍ය විචාරකයන් පවසනවා. එසේම නිතරම පාහේ ඔහු සිය නිර්මාණ සඳහා පාදක කරගන්නේ පොදු ජනතාවගේ ජීවන අරගය වීමත් උබායිතුල්ලාගේ සාහිත්‍ය කෘතිවල ජනප්‍රියත්වයට බලපෑ තවත් හේතුවක් වශයෙන් සැලකෙනවා. මේ හේතුකොටගෙන දෙමළ සාහිත්‍ය සමාජයේ විශාල පිළිගැනීමකට ලක් වී සිටින උබායිතුල්ලා කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා. සිය නිජ බිම වන මුතූර් ගම්මානයට මහත් සේ පෙම් බැඳ සිටින මේ ලේඛකයා සිය පොළවේ සාරවත් බව මෙන්ම මහිමය ගැනත් මහත් අභිමානයෙන් කතාබස් කිරීම ලේඛකයකු වශයෙන් පෙන්වනු ලබන මහත් ආදර්ශයක් හැටියටයි ඔහුට ඇළුම් කරන ජනයා විසින් සලකනු ලබන්නේ. තමාගේ නිජ බිමටත් තම සහෝදර ජනතාවටත් දිවි දෙවැනි කොට පෙම් බැඳ සිටින නැඟෙනහිර ලේඛක තරුවට දකුණේ ජනතාවගේ ශුභාශිංසන පිරිනමමු.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න