තද සුළං සහ වැසි ඇතිවීමේ අවදානම ඉහළට | දිනමිණ

තද සුළං සහ වැසි ඇතිවීමේ අවදානම ඉහළට

මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මීගමුව දක්වා වෙරළ තීරයට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි‍ෙ

එමෙන්ම එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 80 ක් දක්වා වූ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීමක් කරයි.

මේ අතර ගත වූ පැය විසි හතරේ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 141.5ක් ලෙස ගාල්ල හිනිඳුම ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

                                       මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                       2018 ඔක්තෝබර් මස 02 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ස්ථාපිතව ඇත.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇත.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.100 ක පමණ තද වැසි ඇති විය හැක.

වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                         ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                      2018 ඔක්තෝබර් මස 02 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ද ඇති විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-20 පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


නව අදහස දක්වන්න