රට පුරා එකම ව්‍යාපාරික පාරාදීසයක් | දිනමිණ

රට පුරා එකම ව්‍යාපාරික පාරාදීසයක්

ප්‍රාදේශීය සංවර්ධන ලංකා පුත්‍ර බැංකු එක්කර රාජ්‍ය සංවර්ධන බැංකුව ගොඩනැ‍ඟෙයි

සෑම අතින්ම සවිබල ගැන් වූ ව්‍යවසායක පාරාදීසයක් බවට අප මාතෘභූමිය පත්කරලීමේ අරමුණින් රජය ළඟදීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත්, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවත් එකට එක්කොට මෙරට ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව් සභාපති නීතිඥ සුජිත් ප්‍රසන්න කාරියවසම් මහතා ප්‍රකාශ කෙළේය.

දිරිය ශ්‍රී ලාංකික ව්‍යවසායක ප්‍රජාව සවිබල ගැන්වීමට පිහිටුවන නවතම බැංකුවෙන් සේවා රැසක් ලබදෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

රජය දැනට ක්‍රියාවට නංවා ඇති ප්‍රධානතම ආර්ථික ක්‍රියාදාමය වන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම” සියල්ල සාර්ථකව ජනතාව වෙත සමීප කැරවීමට තමන් සූදානම් බවද සුජිත් ප්‍රසන්න කාරියවසම් මහතා පැහැදිලි කළේය.

වසර 1985 දී කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයෙන් කළුතර දිස්ත්‍රික් ග්‍රාමීය සංවර්ධන බැංකුව ලෙසින් ඇරඹී දැනට ජාතික තලයේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස සැලැකෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පස්වැනි (05) සභාපතිවරයා ලෙස පෙරේදා (01) උදේ කැලණිය බැංකු මූලස්ථානයේ දී වැඩභාරගනිමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

මීට දශක තුනකට පෙර ඇරඹි මේ වන විට රටේ මිලියන 06 ඉක්මවන ගනුදෙනුකාර ප්‍රජාවකට බැංකු සේවා සපයන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වත්මන් හා අනාගත මෙහෙයුම් දාමය මේ ලිපියෙන් දිග හැරේ.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නමින් දැනට ජාතික තලයේ ක්‍රියාත්මක බැංකුව වසර 1985 දී එවකට මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිධුරය දැරූ රොනී ද මැල් මහතාගේ සංකල්පයකට අනුව බුලත්සිංහල ශාඛාවක් පිහිටුවා ඇරඹීය. එදායින් පසුව දිස්ත්‍රික්ක 17ක මේ බැංකුව ඉතා දුෂ්කර හා අඩු පහසුකම් යටතේ වුව පොදු ජනතාවගේ ආර්ථික, සාමාජීය දියුණුව සැලසීම අරමුණින් ව්‍යාප්ත කැරිණි. මෙලෙස ව්‍යාප්ත වූ බැංකු ජාලය වසර 1998 දී රජරට, වයඹ, ඌව , රුහුණ, කඳුරට සහ සබරගමුව ලෙස පළාත් සංවර්ධන බැංකු හයක් වශයෙන් පිහිටුවනු ලැබීය.

මෙම බැංකු ජාලය ම එක්කොට වසර 2010දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පිහිටුවනු ලැබූ අතර, එහි මේ වන විට ගනුදෙනු කරුවෝ මිලියන 06ක් ඉක්මවා ඇත. මේ බැංකුවේ සභාපති ධුරයට පත්වූ නීතිඥ සුජිත් ප්‍රසන්න කාරියවසම් මහතා, කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙකි. හෙතෙම ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ (ගෞරව) උපාධිධාරියෙකි.

බැංකුවේ සභාපති ධුරයට පත්වනවිටත් කාරියවසම් මහතා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිධුරය දැරුවේය. ඊට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරියේ හා තේ ශක්ති අරමුදලේ සභාපතිධුරය දරා ඇත.

නව ධුරයභාර ගැනීමෙන් පසුව අදහස් දැක්වූ සුජිත් ප්‍රසන්න කාරියවසම් මහතා

අද ඉතාම සතුටුදායක දවසක්. මට මේ බැංකුවේ සභාපතිධුරය ලබාගන්නට විෂයභාර ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැනුම් දුන්නේ මොනරාගල පැවැති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනයේදියි.

මා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ධුරය දැරූ නිසාත්, විශේෂ පුහුණු සැසියකට පිටරට ගිය නිසාත් පත්වීම භාර ගන්න ඔක්තෝම්බර් 1 වනකම් කල් ගියා. දැන් මම රාජකාරි කටයුතු ඇරඹුවා. දැන් අපට තිබෙන්නේ අපේ රටේ ජනතාවට උපරිම කැපවී‍ෙමන් සේවය කිරීමටයි.

රජය ළඟදීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත්, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවත් එකට එකතු කොට දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව නිර්මාණය කරනවා. ඒ හරහා අපිට වඩාත් ඉහළ කාර්යක්ෂම ගනුදෙනුකාර සේවාවක් රටේ ජනතාවට ලබාදෙන්න සිදු වෙනවා. ඒ සඳහා බැංකුවේ සියලු දෙනා ඇප කැප වෙන්න ඕනෑ.

රජයේ ප්‍රතිපත්තිය ආර්ථිකව ක්‍රියාවට නැංවීම සඳහා සහන ලබාදෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. අපි රටේ බදු මුදලින් ජනතාව ගෙවන බදු මුදල් තුළින් තමයි වැටුප් හා වරප්‍රසාද ලබන්නේ. ඒ නිසා අපි සියලුදෙනා පෙරලා ජනතාවගේ දියුණුවට සේවය ලබාදිය යුතුයි. ඒ සඳහා කැපවෙන්න. කිසිම දේශපාලන බැඳීමක් නැතිව රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට උදව් කරන්න.

අපි වෘත්තිය සමිතිවල නායකයින්ට සාමාජිකයින්ට, බැංකුවේ සියලු කාර්ය මණ්ඩලයට ආරාධනා කරනවා. වේගවත්, සුහදශීලී ගනුදෙනුකාර සේවාවක් ලබාදීමට එකතුවෙන්න කියා.

අපි බැංකුවේ දියුණුවට පුද්ගලයින්ගේ දක්ෂතා උපරිමයෙන් ලබා ගන්නවා. දේශපාලන පක්ෂ පාට බැදීම් කිසිවක් සලකන්නේ නැහැ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම තුළින් තරුණ, ව්‍යවසාය පරපුරක් බිහි කරන්න. කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා අංශවල දියුණුවක් ඇති කරන්න රජය අරමුණු කොට තිබෙනවා. අපි එයට උපරිමයෙන් සහාය වෙන්න ඕනෑ.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරි හා ප්‍රධාන විධායක නිලධාරි ටී. ඒ. ආරියපාල මහතා-අපේ බැංකුව ඉතා ම කුඩාවට ආරම්භ කොට අද වන විට දිගු ගමනක් ඇවිත් තිබෙනවා. අපේ ගනුදෙනුකාර භවතුන් මිලියන 06ක් ඉක්මවනවා. කාර්ය මණ්ඩලය තුන් දහසකට වැඩියි. බැංකුවේ වත්කම් රුපියල් බිලියන 170ඉක්මවනවා. අපි පූර්ණ රාජ්‍ය බැංකුවක්. මුළු රටම මධ්‍යගත ජාලකරණ පරිගණක පද්ධතියකින් ආවරණය වන ශාඛා 265කින් අපේ බැංකුව සමන්විතයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම සියල්ලම වාගේ අපේ බැංකුවෙන් ක්‍රියාත්මකයි. ඊට අමතරව විවිධ ඉතුරුම් යෝජනා ක්‍රම, ඉහළම පොලී අනුපාත ලබාදෙමින් අපි ක්‍රියාත්මක කරනවා.

රජය මෑතකදී ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම යටතේ මේවනවිට රුපියල් බිලියන 03කට වඩා අරමුදල් ප්‍රදානයක් සිදු කොට තිබෙනවා යැයි කීය.

නව සභාපතිවරයා වැඩභාරගත් අවස්ථාවට මහාසංඝරත්නය සහ රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පෞද්ගලික ලේකම් චාමින්ද්‍රානි කිරිඇල්ල, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ප්‍රියන්ත අබේසිංහ, විධායක අධ්‍යක්ෂ කේ. අමරසිංහ, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අංශ ප්‍රධානීන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, කාර්ය මණ්ඩල සාමාජිකයින්, වෘත්තිය සමිති ප්‍රධානින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ජයසිරි මුණසිංහ
ඡායාරූප-ලයනල් පී. පෙරේරා
කැලණිය විශේෂ

අදහස් 1ක් ඇත

~ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) විසින් කළ පහත් පෙළේ තුප්පහි, අමන, තිරිසන් සංවර්ධන ක්‍රියාවක්..! ~ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කොළොන්නාව ශාඛාව පවත්වාගෙන යාමට වසර දෙකකට අධික කාලයක් පුරා සුදුසු ස්ථානයක් නොමැති කමින් කොළොන්නාව ශාඛාවට හිතවත් ගනුදෙනුකරුවෙකුගේ පැරණි නිවස කඩා දමා බැංකුව විසින් දෙන ණය මුදලක් මාර්ගයෙන් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර එහි පළමු මහල ගනුදෙනුකරුගේ නිවස සඳහා ද දෙවැනි මහල බැංකු ශාඛාව සඳහා ද ලබා දෙන ලෙස පවසමින් කොළොන්නාව ශාඛාව විසින්ම ගනුදෙනුකරුට යෝජනාවක් කරනවා. ඒ වෙනුවෙන් බැංකුව ගනුදෙනුකරුට ගොඩනැගිලි කුලියක් ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ලබා දෙන ණය මුදල ගොඩනැගිලි කුලියට කපා හැරීමයි කරන්නේ. ගනුදෙනුකරු ඔහුට ලැබෙන ප්‍රතිලාභ සලකා බලා ඊට එකඟ වී නව ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා කොළොන්නාව ශාඛාවේ කළමනාකාරවරිය විසින්ම ලබාදෙන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු මාර්ගයෙන් තම නිවස කඩා දැමූ පසු ඔවුන් මෙම ස්ථානය ඔවුන්ට නුසුදුසු බව පවසමින් නව ගොඩනැගිල්ල ඉදිකිරිම නතර කර දමනවා. ඉන් පස්සේ කියන්නේ කඩා දැමූ නිවස වෙනුවට නව නිවසක් ඉදිකරගැනීම වෙනුවෙන් නැවත ගනුදෙනුකරු විසින් සිය මුදලින් ගෙවිය යුතු වන සාමාන්‍ය බැංකු ණයක් ලබා දිය හැකි බවයි. නමුත් ඇත්තටම ඔවුන් මේ ගොඩනැගිල්ල ඉදි කිරීම අතරමඟ නතර කර දමන්නේ මෙම ස්ථානය නුසුදු නිසා නෙමෙයි, හිටපු සභාපතිවරිය වන කේෂලා ජයවර්ධන, හිටපු ප්‍රාදේශීය සාමාන්‍යධිකාරී (බස්නාහිර පළාත) A. H. M. B. ජයසිංහ සහ කොළොන්නාව ශාඛාවේ සේවකයෙකු වන සරත් ආනන්ද (මෙම කළු ගනුදෙනුව සැලසුම් කළ මහ මොළකරු) විසින් ලක්ෂ 25 ක් වැනි ඉහල අල්ලස් මුදලක් ලබාගෙන වෙනත් මරක්කල ව්‍යාපාරිකයෙකුගේ ගොඩනැගිල්ලක් ඉහල කුලියක්ද ගෙවමින් ලබා ගැනීමට සැලසුම් කිරීම නිසා. අන්තිමට ඒ ගනුදෙනුව සැලසුම් කළ විදිහටම වෙනවා. සභාපතිවරිය සියලුම වැරදි බැංකු කළමනාකාරවරිය වෙත පවරලා අත පිහිදා ගන්නවා. තමන්ගේම කියල හිසට වහලක් තිබුණ අර මනුස්සයට නඩුවක් කියවන්නවත් සතයක් අතේ නැති කරලා අන්තිමට හිසට වහලක් නැති කරලා, පවුලක් පිටින් මුන් මහ මඟට ඇදල දැම්මා. නිවස අහිමි වීමේත්, යළි නිවසක් ඉදිකරගත නොහැකි වීමේත් සිත් වේදනාව නිසාම ඔහු දෙවරක් සියදිවි හානි කරගන්නට උත්සාහ කරනවා. අල්ලස් ගත්ත උන් තාමත් නිදැල්ලේ. පොලීසිය, ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ආයතන වලට කරපු පැමිණිලි වල සහ තවත් පාර්ශව වල මැදිහත්වීමේ ප්‍රතිඵලයක් විදිහට කරපු බැංකුව වරද පිළි අරගෙන ගනුදෙනුකරුට නිවසක් ඉදි කරගැනීම වෙනුවෙන් වන්දියක් ලබා දීමට සිදු වෙනවා. ගනුදෙනුකරු නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් පමණක් ලක්ෂ 20 ක් ඉල්ලා සිටියත් එයින් වසර 4 ක් පුරා මෙතෙක් ලබා දී ඇත්තේ ලක්ෂ 7 ක මුදලක් පමණයි. එයද බැංකුවේ මුදලින් නෙමෙයි, හිටපු කළමනාකාරවරියට ලබාදෙන ඇයගේ වැටුපෙන් අයකර ගන්නා ණය මුදලක් මාර්ගයෙන්. ඉතිරි වන්දි මුදල ලබා දීම බැංකුව විසින් හිතාමතාම ඕනෑකමින්ම වසර 4 පුරා පැහැර හරිනවා. බැංකුව මාධ්‍ය ආයතන වලට මුදල් ලබා දී මේ ගැන එළි කිරීම වළක්වමින් ඔවුන්ගේ කට වහනවා. ශ්‍රී ලාංකිකයන් දෙපයින් නගා සිටුවන බව පවසමින් ඔවුන්ගේ ලේ උරා බොන මේ RDB හොර ගුබ්බෑයමේ මුදල් තැන්පත් කර තවත් ශ්‍රී ලාංකිකයන් මහ මඟට වට්ටනවාද???

නව අදහස දක්වන්න