කැන්බරා නුවර සමාජ ජීවිතය | දිනමිණ

කැන්බරා නුවර සමාජ ජීවිතය

මඟ හැරුණු මිනිසා 88

මේ කාලයේ තමන්ට මුණගැසුණ අමතක නොවන චරිතයක් සහිත සරණාගතයෙක් ගැන අදටත් බෝපගේට සිහිපත් වෙයි. ඔහු සෝමාලියාවේ වසර හයක් හුදකලා දේශපාලන සිරකරුවකු ව සිටි ආචාර්ය යූසෆ් ඔමාර් අහ්මෙඩ් අල් අෂාරි මහතා ය. ඔහුගේ බිරිය සෝමාලි අගමැතිවරයකුගේ දියණියක වූ අතර, ඇමෙරිකාවේ සෝමාලියානු තානාපති ලෙසද ජර්මනියේ තානාපති නිලධාරියකු ලෙසද කටයුතු කර තිබේ. පැවැති රජයේ දූෂණ කටයුතු ගැන ඔහු බෝපගේ සමඟ කතා බහ කොට ඇත.

ලයනල් බෝපගේ ගේ ඔස්ට්‍රේලියානු ප්‍රජා මැදිහත් වීම් ඇරඹෙන්නේ 1991 වර්ෂයේ මුල් කාලයේ කැන්බරා නුවර දීයි. ඒ ඔහු ඔස්ට්‍රේලියා අගනගර ප්‍රදේශයේ වධහිංසා පුනරුත්ථාපනය සහ හා ජාලගත සේවාවේ (Torture Rehabilitation and Network Services ACT) විධායක කමිටු සාමාජිකයකු වශයෙන් තේරී පත් වීමෙනි. ට‍්‍රාන්සැක්ට් (TRANSACT) යන කෙටි නමින් ජනප්‍රිය වූ මෙම සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරිය වූයේ OAM නාමධාරී මිචෙල් හැරිස් ය. වධ හිංසාවට භාජනය වීමෙන් හෝ යුද්ධවලට ගොදුරු වීමෙන් තම රටවල දී මනෝ සමාජීය ආතතීන්ට, පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවන්ට ලක්ව සරණාගතව පැමිණ ඔස්ට්‍රේලියා අගනගර ප්‍රදේශයේ වාසය කළ පුද්ගලයන් සඳහා අවශ්‍ය සේවාවන් ‌ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩුවල ද සහාය ඇතිව සපයා දෙන්නට ක්‍රියාත්මක ව උදව් කළේ බෝපගේ ඇතුළු මෙම සංවිධානයේ විධායක කමිටුව යි.

ඔවුන්ගේ සංවිධානය වෛද්‍ය හා මනෝ චිකිත්සක සායන සහ උපදේශක සේවා සෘජු ලෙසම ලබා දුන්නේය. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ සහ කතා කිරීමට පුහුණු කිරීමේ පංති පවත්වමින් විපතට පත් වූ ප්‍රජාවන්ගේ දරුවන් උදෙසා පූර්ව මැදිහත් කිරීමේ වැඩ සටහන් ද දියත් කළේය. එම පවුල්වලට නිවාස, ඇඳුම් පැලඳුම් ඇතුළු අනෙකුත් සේවාවන් ලබා දෙන්නට ද ක්‍රියා කළේය. 1996 අග භාගයේ දී ඔස්ට්‍රේලියානු අගනගර ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍යවරිය ව සිටි කේට් කාර්නෙල් විසින් ඒ සංවිධානය නිමවන ලද “ගවේෂණයේ සහායකයෝ” (Companions In The Search) නමැති බහු ශික්ෂා අත්පොත දියත් කරන ලදි. මේ වන විට බෝපගේ ට්‍රාන්සැක්ට් සංවිධානයේ විධායක කමිටුවේ සභාපති වශයෙන් කටයුතු ක‍ළේය.

ට්‍රාන්සැක්ට් සංවිධානය වෙනුවෙන් බෝපගේ ගේ අවසන් මැදිහත් වීම සිදු වූයේ 1998 දී මොන්ටිනෙග්රෝ හා සර්බියානු හමුදාත් කොසොවෝ විමුක්ති හමුදාව යනුවෙන් හැඳින්වූ කොසොවෝ ඇල්බේනියානු කැරලි කණ්ඩායමත් අතර කොසොවෝ යුද්ධ‍යේ දී වධහිංසාවට ලක් වූ කොසොවෝ සරණාගතයන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙනි. ඒ ඕබ්රි වොඩොංගා ප්‍රදේශයේ පිහිටි බන්ඩියානා ආරක්ෂිත ස්ථානයේ දී ය. මේ වැඩ කටයුතුවල දී බෝපගේට ශ්‍රී ලංකාවේ අත්දැකීම් සිහියට නැඟුණි. එම අත්දැකීම ඔහුට පසක් කර දුන්නේ වධහිංසාවට භාජනය වීම හේතුවෙන් මානසික ආතතියෙන් සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයන්ගෙන් පෙළෙන අය පුනරුත්ථාපනය වන්නට උත්සාහ දැරීමේ අගය යි ; ඔවුන් මානසික ව කඩා වැටුණු පුද්ගලයන් ලෙස නොව ගෞරවයට පාත්‍ර වන්නට වටිනා අභිමානවත් මනුෂ්‍යයන් ලෙස සැලකීමේ වටිනාකම යි.

1996 අග භාගයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්දිරයේ දී සෞඛ්‍ය සහ පවුල් සේවා පිළිබඳ අමාත්‍ය වෛද්‍ය මයිකල් වූල්ඩ්‍රිජ් මහතා විසින් ‘ඔස්ට්‍රේලියාවේ වධ හිංසාවෙන් හා ක්ලමථයෙන් දිවි ගලවා ගත් අය උදෙසා වන ජාතික සංසදයේ’ (National Forum of Services for Survivors of Torture and Trauma) ප්‍රථම ජාතික වාර්තාව දියත් කිරීමේ දී, ට්‍රාන්සැක්ට් සංවිධානයේ සභාපති වශයෙන් ප්‍රධාන දේශනය කළ බෝපගේ මෙම කරුණ අවධාරණයෙන් පෙන්වා දුන්නේය:

“වධ හිංසාවන්ට ලක් වීම දරා ගත නොහැකි දෙයක්. එය සමාජමය වශ‍යෙන් හා දේශපාලනිකව බලය යොදා ප්‍රජාවන් බියවැද්දීමේ මාර්ගයක් වශයෙන් කෲර අය විසින් යොදා ගෙන තියෙනවා. වධ හිංසාවට හා අතවරවලට ලක් වීම, වධකයන් අතින් ශාරීරික සහ මානසික ව තුවාල ලැබීම, සිවිල් යුද්ධ, අභ්‍යන්තර සටන් හා වාර්ගික ගැටුම් නිසා පවුලේ සාමාජිකයන් අහිමි වීම මොන වගේ ද කියල තේරුම් ගන්න එක, ඔස්ට්‍රේලියානු ප්‍රජාවට බොහොම දුෂ්කර දෙයක්. වධ හිංසනය අපේ ජීවිත කාලය පුරාවට කැළැල් ඇති කරනවා. අප ව්‍යාකුල බවට පත්ව ඇති නිසා, ඇතැම් විට ලැජ්ජාව නිසා, අපි නිර්නාමික ව මුළු ගැන්විලා ඉන්න බලනවා. විශේෂඥ සේවාවල අවබෝධයත් දක්ෂතාවයනුත් මඟින් පමණයි පුනරුත්ථාපනය සිදු වන්නේත් නව සමාජයක කොටස්කරුවන් වෙන්නට අප බොහෝ දෙනෙකුට අවශ්‍ය කරන පාලම් ගොඩ නඟා දෙන්නේත්” යනුවෙන් ඔහු එහි දී පැවසිය.

මේ කාලයේ තමන්ට මුණ ගැසුණ අමතක නොවන චරිතයක් සහිත සරණාගතයෙක් ගැන අදටත් බෝපගේට සිහිපත් වෙයි. ඔහු සෝමාලියාවේ වසර හයක් හුදකලා දේශපාලන සිරකරුවකු ව සිටි ආචාර්ය යූසෆ් ඔමාර් අහ්මෙඩ් අල් අෂාරි මහතා ය. ඔහුගේ බිරිය සෝමාලි අගමැතිවරයකුගේ දියණියක වූ අතර, ඇමෙරිකාවේ සෝමාලියානු තානාපති ලෙසද ජර්මනියේ තානාපති නිලධාරියකු ලෙසද කටයුතු කර තිබේ. පැවැති රජයේ දූෂණ කටයුතු ගැන ඔහු බෝපගේ සමඟ කතා බහ කොට ඇත. 1969 දී ජෙනරාල් මොහමඩ් සියාද් බාරෙ සෝවියට් ආධාර සහිතව කරන ලද කුමන්ත්‍රණයකින් සෝමාලියාවේ බලය අල්ලා ගත්තේය. ජෙනරාල් මොහමඩ් සියාද් බාරෙ හදුන්වන්නේ ‘අප්‍රිකාවේ සිංහයා’නමිනි.

බාරෙ රජය විසින් ටික කලක් සිරගත කොට තබා ගන්නා ලද අල් අෂාරි මහතා පසුව නයිජීරියාවේ තානාපති ලෙස පත් කර යවන ලදි.

එහෙත් එහි සිටිය දී නයිජීරියාවට පැමිණි සෝවියට් නියෝජිත මණ්ඩලයක විශාලත්වය ගැන ප්‍රශ්න කිරීම නිසා ඔහුට හය වසරක් ශාරීරික හා මානසික වධ වේදනාවන්ට ලක් වෙන්නට සිදු විය. දින 48 ක් තිස්සේ එක දිගට මාංචු දමා සිටිය දී සතුන් කා එක් අතක් කුණු වී කපා දමන්නට නියමිත ව තිබිය දී තමන්ගේම වෙර වෑයමෙන් ඒ අත බේරා ගන්නට කටයුතු කළ හැටි ඔහු බෝපගේට විස්තර ක‍ළේය. ආර්ථික වියවුල් මෙන්ම දරිද්‍රතාව හේතුවෙන් ඇතිවූ සිවිල් යුද්ධයකින් පසුව 1991 දී මාක්ස්වාදී යයි කියා ගන්නා සියාද් බාරෙ ගේ රජය පෙරලා දමන ලද අතර සියලු දේශපාලන සිරකරුවන් ද නිදහස් කරන ලදි. සියාද් බාරෙ නයිජීරියාවට පැන ගියේය. අල් අෂාරි මහතා සෝමාලි රජයේ නියෝජිතයකු වශයෙන් ලේගොස් නගරයට ගිය අවස්ථාවක බාරෙ සමඟ මුහුණට මුහුණ හමු වී ඔහුට සමාව දී ඇත. බෝපගේ අවසන් වරට අල් අෂාරි මහතා පිළිබදව ලද තොරතුර වුයේ ඔහු මව් රටට ගොස් සාමය හා සංහිඳියාව ගොඩනඟන්නට මැදිහත් වෙමින් සිටි බවයි. ඒ අතරම ආචාර්ය යූසෆ් ඔමාර් අහ්මෙඩ් අල් අෂාරි මහතා සෝමාලි ‌ෆෙඩරල් ආණ්ඩුවේ ජනාධිපති උපදේශකයක් ලෙස කලක් ඔහු කටයුතු කළ බවත් බෝපගේට දන ගන්නට ලැබිණි.

1999 වර්ෂයේ ඔස්ට්‍රේලියානු අගනගර ප්‍රදේශ ආණ්ඩුව, කැන්බරා නුවර අධිවේග ෆයිබර් ඔප්ටික් සන්නිවේදන ජාලයක් සංවර්ධනය කිරීමට සැලසුම් කරමින් සිටියේය. බෝපෙගේ සිටි ‘ට්‍රාන්සැක්ට්’ ආරම්භ කර වසර ගණනාවක ඇවෑමෙන් එය ප්‍රසිද්ධ සංවිධානයක් බවට පත්ව තිබුණි. අධිවේග ෆයිබර් ඔප්ටික් සන්නිවේදන ජාලය සඳහා ලියා පදිංචි කළ සමාගමට ද ‘ට්‍රාන්සැක්ට්’ යන නාමය ලබා ගැනීමට අවශ්‍ය විය. ලයනල් බෝපගේ සහ විධායකය ඊට විරෝධය පා සිටියහ‍. ඔස්ට්‍රේලියානු අගනගර ප්‍රදේශයේ ආණ්ඩුව සහ අධිවේග ෆයිබර් ඔප්ටික් සමාගම අතර මෙම සාකච්ඡා පැවැත්වෙද් දී, ප්‍රධාන අමාත්‍ය කේට් කාර්නෙල්ගෙන් ලයනල් බෝපගේ ට දුරකතන ඇමතුමක් ලැබුණි. ‘ඔබ මේ නම් වෙනස් කිරීමට එකඟ විය යුතුයි, නැතහොත්…’ යනුවෙන් ඇය ඉන් අනතුරු ඇඟවූවා ය. ‘ට්‍රාන්සැක්ට්’ යන කෙටි නම පවත්වාගෙන යන්නට බෝපෙගේ සිටි සංවිධානයට නීතිමය පදනමක් තිබුණේ නැත. එහෙයින් සාකච්ඡා කිහිපයකින් පසුව අලුත් සමාගමට ට්‍රාන්සැක්ට් යන නම ලබා දුන්නොත් බෝපෙගේ සිටි සංවිධානය පවත්වන උත්සවවලින් එකකට හා එහි ක්‍රියාකාරකම් සමහරකට වාර්ෂිකව අනුග්‍රහ දැක්වීමට ට්‍රාන්සැක්ට් නම ගන්නා අලුත් සංවිධානය එකඟ විය. පැරණි ට‍්‍රාන්සැක්ට් එහි නම ‘වධ හිංසා සහ ක්ෂතියෙන් පීඩා විඳින්නන්ට සහායක නිවස්නය’ යනුවෙන් වෙනස් කෙරුණි. එය කෙටියෙන් ‘සහායක නිවස්නය’ (Companion House) යනුවෙන් හැඳින්වුණි.

“අපි කැන්බරාවල ජීවත් වූ කාලයේ විදේශගත විවිධ ලාංකික ජන කොටස් අතරෙ එකමුතු කමක් ඇති කරන්න උත්සාහ කළා. ඒත් ඒක බොහොම අමාරු කාරණයක්. මා දන්නා අන්දමට අදත් ඒ තත්ත්වය වෙනස් වී නැහැ. දැනට කැන්බරා නුවර ඉන්න ලංකා මහ කොමසාරිස්වරයා මෙම තත්ත්වය වෙනස් කරන්නට උත්සාහ ගන්නා බව පෙනෙනවා. නමුත් මීට කලින් කැන්බරා නුවර හිටපු ලංකා මහ කොමසාරිස්වරුන් වැඩි දෙනෙක් ගැන එහෙම කියන්න අමාරුයි. ඔවුන් පටු පෞද්ගලික අවශ්‍යතා ඇති කණ්ඩායම් සමහරක දාම් ඉත්තත් බවට පත්ව කටයුතු කළ බවයි මම කල්පනා කරන්නේ.”

බෝපගේ කැන්බරා නුවරට පැමිණෙන විට එහි විසූ අනේවාසික ශ්‍රී ලාංකිකයන් ගේ සංවිධාන කිහිපයක් පැවතුණි.

“කැන්බරාවල විසූ ශ්‍රී ලාංකිකයන් අතරෙ බහුතරය වු‍ණේ සිංහල සහ දෙමළ ප්‍රජාවන්. තරමක බර්ගර් ජන කොටසකුත් මුස්ලිම් පවුල් කිහිපයකුත් හිටියා. ඒ ප්‍රජා විවිධත්වය නියෝජනය කළ සංවිධානය විදියට පැවතු‍ණේ ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමය’. ලංකාවේ 1983 ජූලි කලබල සම්බන්ධයෙන් සංගමය තුළ ප්‍රශ්න ඇති වුණා. ඒ ප්‍රශ්න හේතුවෙන් කලින් ඒ සංගමයට සම්බන්ධව සිටි දෙමළ සාමාජිකයෝ අති බහුතරයක් සංගමයෙන් අත හැර ගොස් ‘කැන්බරා දෙමළ සංගමය’ නමින් වෙනම සංවිධානයක් හදා ගත්ත බව මට දැන ගන්නට ලැබුණා.”

“1983 ජූලිවල ලංකාවෙ දෙමළ ජනයාට කරන ලද වධහිංසා, විනාශය හා සංහාරය ගැන ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමය’ නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු එක ඊට හේතු වුණ බව මට කිව්වෙ මුලින් ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයෙ ඉඳල, වෙන්ව ගොස් ‘කැන්බරා දෙමළ සංගමය’ හදන්නට මූලික වුණු දෙමළ ප්‍රජා නායකයෝ කිහිප දෙනෙක්. මගේ අත්දැකීම අනුවත් මට පෙනු‍ණේ 1983 ජූලි කලබලවල දී දෙමළ ප්‍රජාවට මුහුණ පාන්නට සිදු වූ විනාශය හා සංහාරය පිළිබඳව ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ’ සිංහල සාමාජිකයන් වැඩි දෙනෙක් කිසිඳු සංවේදී භාවයක් නො දක්වන බව. ඔවුන්ගේ ආකල්පය වු‍ණේ ‘උන්ට ඊට වඩා දෙයක් වුණා නම් හොඳයි’ වැනි එකක්.”

“අනූ ගණන්වල මැද ලංකා ආණ්ඩුවත් එල්. ටී. ටී. ඊ. සංවිධානයත් අතර පැවැත්වූ සාම සාකච්ඡා බිඳ වැටු‍ණෙත් මේ කාලේමයි. ඒ වෙන කොට කැන්බරාවල පමණක් නෙවෙයි මුළු ඔස්ට්‍රේලියාව පුරා හිටපු බොහෝ සිංහල සහ දෙමළ ජන කොටස් අතර දැඩි ආතතියක් පැවතුණා. ලාංකිකයන් ගේ සංස්කෘතික විවිධත්වය පෙන්නුම් කරන ප්‍රජා උත්සව පවත්වනවාට ඇතැම් සිංහල බෞද්ධයන් විරුද්ධ බවත් අපට පෙනුණා. මේ නිසා ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමය’ පවත්වපු සිංහල-දෙමළ අවුරුදු උත්සව වැනි උත්සවවලට බොහෝ විට දෙමළ ජන කොටස් ඔවුන්ගෙන් කිහිප දෙනෙක් හැරෙන්නට සහභාගි වු‍ණේ නැහැ. සිංහලයන් පමණක් ම සහභාගී වෙන ඒක-සංස්කෘතික උත්සවයක් ව‍ගේ තත්ත්වයකට අවුරුදු උත්සවය පත් වෙලා තිබුණා.”

සිසිර යාපා

‍හෙට - අරගල මැද පොදු වැඩවල

නව අදහස දක්වන්න