සැබෑ නොවූ සිහිනය | දිනමිණ

සැබෑ නොවූ සිහිනය

සිරකරුවෝද මනුෂ්‍යයෝය

අපේ අම්මා හැම වෙලේම “දූ” කවදා හරි මගේ සිහිනය සැබෑ කරන්න ඕන කියලා කියනවා. ඒත් අම්මගේ හීනය හැබෑ කරන්න ගිහිල්ලා මට මගේ ජීවිතේම නැති කරගන්න වුණා.”

මොකද්ද ඔයාගේ අම්මගේ හීනය ?

"මගේ අම්මගේ හීනය වුණේ මාව නිළියක් කරන්න. අම්මා පුංචි කාලේ ඉඳලම මට කිව්වේ කවදාහරි නිළියක් වෙන්න කියලා. අම්මා මාව හැමදාම කොහේ හරි එක්කරගෙන ගියා. චිත්‍රපටි බලන්න එක්කගෙන ගියා. "

ඇයි ඔයාගේ තාත්තා නැද්ද ?

"තාත්තා නැති වෙලා තියෙන්නේ මං පුංචි කාලෙමයි. ඊට පස්සේ අම්මා ඉඳලා තියෙන්නේ ආච්චි අම්මා එක්ක. අපේ ආච්චි අම්මත් පික්චර් බලන්න ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්. ඒත් එයා නම් මං නිළියක් වෙනවා දකින්න කැමති වුණේ නැහැ. ඒත් අම්මා මාව හැඩ වැඩ කෙරුවා. එයා මට ලස්නන ගවුම් ඇන්දුවා. මම එක එක මෝස්තර වල ගවුම් අඳින්න පුරුදු වුණේ අම්මා නිසයි."

අම්මා රස්සාවක් කළාද ?

"ඔව්. අම්මා නැටුම් ගුරුවරියක්. ඒ නිසා අම්මා මට නැටුම් ඉගෙන ගන්න බලකළා. මං කැමති වුණේ සංගීතය ඉගෙන ගන්න. නමුත් මට මං කැමති දේ කරන්න. ඉඩක් ලැබුණේ නැහැ."

ඉස්කෝලේ කීයට විතර ගියා ද ?

"දහයේ පන්තියේ විභාගය කළා. ඉන් පස්සේ ඉගෙනීම නතර වුණා. ඉගෙනීම නතර වුණේ අම්මා ලෙඩ වුණ නිසා. අම්මට පිළිකාවක් හැදුණා. ආච්චි අම්මයි මමයි අම්මව හැම තැනම අරගෙන ගියා. ඒත් වැඩක් වුණේ නැහැ. පිළිකාව හැදිලා අවුරුද්දකින් විතර අම්මා මැරුණා. ඉන් පස්සේ ආච්චි ගාව මම හිටියේ. අම්මා මැරෙන්න කලිනුත් මට කිව්වේ කොහොම හරි එයාගේ හීනය හැබෑ කරන්න කියලා. මම ඒ වෙනුවෙන් කැප වෙනවා කියලා හිත හදාගත්තා. නිළියක් වෙන පිස්සුව පොඩි කාලේ ඉඳලාම මගේ හිතේ පදිංචි කෙරුවේ අම්මා. කොහොම වුණත් අම්මගේ මරණයෙන් අවුරුද්දකට විතර පස්සේ මං ගමෙන් ආවා. ඒ ආවේ නිළියක් වෙන්න ඕන නිසා."

නිළියක් වුණාද ?

"මොන පිස්සුද ? මං කා ගැනවත් දැනගෙන හිටියේ නැහැ. පත්තරේ දැන්වීමක් තිබුණා ටෙලි නාට්‍යයකට නළු නිළියෝ ගන්නවා කියලා. ඒක දැකලා තමයි මං කොළඹ ආවේ. එදා ඒ ගොල්ලෝ එක එක විදිහට මගේ පින්තූර ගත්තා. මං හිතුවා වැඩේ හරි කියලා. ඒත් ඒ් අය මාව රැවැට්ටුවා. මං හිටියේ යාළුවෙකුගේ ගෙදර. එයා මාව ගෙදර නතර කරගත්තේ මාස දෙකක් විතරයි කියලා. එයාගේ අම්මා රට හිටියේ. තාත්තයි අයියයි විතරයි ඒ ගෙදර හිටියේ. අයියා විවාහ වෙලා. එයත් ඒ ගෙදරමයි පදිංචි වෙලා හිටියේ. යාළුවාගේ නෑනා මට බොහෝම ආදරයෙන් සැලකුවා. ඒ නිසා මට ඒ ගෙදරදී වෙනසක් දැනුණේ නැහැ. යාළුවගේ තාත්තා ගෙදර ආවෙත් මාසයකට සැරයක්. මම ගිහිල්ලා මාසයක් යන්නත් කලින් තමයි මේ සිද්ධිය වුණේ. ඒ තමයි මගේ ජීවිතේ මුසලම දවස."

ඇයි එහෙම කියන්නේ ?

"මං හිටියේ ගෙදර තනියම. යාළුවයි එයාගේ නෑනයි පොළේ ගියා. මං කම්මැලියි කියලා ගෙදර නතර වුණා. ඉන් පස්සේ මං කාමරයට වෙලා නිදා ගත්තා. නමුත් මට එකපාරටම දැනුණා කවුදෝ මගේ ඇඟට අත තියනවා වගේ. මං ඇහැරිලා බලනකොට යාළුවගේ තාත්තා. එයා මගේ ඇඳ උඩ වාඩිවෙලා හිටියා. මං ඇඳෙන් බහින්න හදනකොට එයා මට ඇඳෙන් බහින්න දුන්නේ නැහැ. එදා එයා මට බලහත්කාරකම් කළා. ඒත් එයාගේ ශක්තිය ඉස්සරහා මට පැනලා යන්න බැරි වුණා. යාළුවා ගෙදර එනකොට මං මිදුලට වෙලා හිටියේ. 'මොකද බං මුණ එල්ලගෙන' යාළුවා මගෙන් ඇහුවා. මං දහ අතේ කල්පනා කෙරුවා එයාට මේවා කියනවද නැද්ද කියලා. අවසානයේ මං හිතා ගත්තා යාළුවට කියන්නේ නැහැ කියලා. මං හිතෙන් විඳෙව්වා. යාළුවාගේ තාත්තා ගෙදර කවුරුවත් නැති හැම වෙලාවකම මාව කොටු කරගත්තා."

ඇයි එතැනින් නොගියේ ?

"මට ගමට යන්නත් බැහැ. සීයටයි ආච්චිටයි මුහුණ දෙන්නත් බැහැ. ඒ නිසා මං ගමට ගියේ නැහැ. යාළුවගේ ගෙදර දිගින් දිගටම ඉන්න එකත් අවදානම් කියලා මට හිතුණා. බැරිම තැන මං රස්සාවකට යන්න ගත්තා. ඒත් මට ඒ රස්සාවට යන්න වුණේ යාළුවගේ ගෙදර ඉඳලා. මාසෙකට ගානක් දෙන්න පොරොන්දු වෙලා මං එහේ දිගටම නතර වුණා. මාසයක් දෙකක් යද්දී මට වෙනසක් දැනෙන්න ගත්තා. ගාමන්ට් එකේ යාළුවෙකුට මං මේ හැමදේම කිව්වා. එයා මාව දොස්තර කෙනෙක් ළඟට එක්කගෙන ගියා. දොස්තර මහත්තයා මාව බලලා කිව්වා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. මට ලෝකය කඩාගෙන වැටුණා වගේ දැනුණා. ඊට පස්සෙ මගේ යාළුවා මාව තවත් දොස්තර කෙනෙක් ළඟට එක්කගෙන ගියා. ඒ දොස්තර මගේ බඩේ ඉපදෙන්න හිටිය දරු කලලය නැති කළා. මම ඒ සිද්ධියෙන් පස්සේ ගෙදර ගියා. ආච්චියි සීයයි මාව දැකලා හොඳටම සතුටු වුණා. ගෙදර ගියාට මට සැනසිල්ලක් ලැබුණේ නැහැ. මං අසනීප ගතියෙන් හිටියේ. ආච්චි අම්මා මං ගැන විමසිල්ලෙන් හිටියේ. හැමදේම වුණාට පස්සේ මට හිතුණා ගමේ ඉන්නවට වඩා ආයෙත් කොළඹ ගිහින් රස්සාවට යන එක හොඳයි කියලා. ආච්චි එපා කියද්දී මං ගමෙන් ආවා."

කොළඹ ඇවිත් මොකද කළේ ?

"මං ආයේත් යාළුවගේ ගෙදර ගියේ නැහැ. මම පරණ රස්සාවට ම ගියා. ගමෙන් ඇවිල්ලා මාසයකට විතර පස්සේ තමයි මං යාළුවගේ ගෙදර ගියේ. ඒ ගොල්ලෝ මට ආයේ නතර වෙන්න කිව්වා. ඒත් මං නතර වුණේ නැහැ. මගේ රෙදි ටිකත් අරගෙන මං බෝඩිමට ආවා. ඒ බෝඩිම හරි නිදහස් තැනක්. "

නිළියක් වෙන හීනයට මොකද වුණේ ?

"ඒ හීනය එහෙම පිටින්ම නැති වෙලා ගියා. මට සමීර හමුවුණේ ගාමන්ට් එකේදී. සමීර එක්ක මම යාළු වුණාම හැමෝම කිව්වා ඒ ආශ්‍රය නතර කරන්න කියලා. නමුත් මං ඒක දිගටම කරගෙන ගියා. සමීරට තිබුණේ රස්තියාදු පෙනුමක් කවුරු මොනවා කිව්වත් එයාගේ ඒ රස්තියාදු පෙනුමට මං කැමති වුණා. ඇත්තම කිව්වොත් මං හිතුවක්කාර වුණා. දුර දිග නොබලා මං සමීරව බැන්දා. සමීර මාව එයාගේ ගෙදර එක්කගෙන ගියා. ඒ ගියාම තමයි මං දැන ගත්තේ එයාගේ පවුලේ අයටත් එයාව එපා වෙලා ඉන්නේ කියලා. හැමදේම දැන ගන්න කොට මං ප්‍රමාද වැඩියි."
"සමීර කියන්නේ කුඩු කාරයෙක්. එයා මටත් කුඩු බොන්න පුරුදු කරන්න හැදුවා. ඒත් මං කුඩු බොන්න පුරුදු වුණේ නැහැ. ඒ වුණාට කුඩු විකුණන්න පුරුදු වුණා. මාස කිහිපයක් කිසිම කරදරයක් නැතිව කරගෙන ගියා. නමුත් මාව පොලිසියට අහුවුණා. එතැනින් හිර ගෙදරය එන්න වුණා. නඩුව තවමත් අහනවා. සමීර මාව බලන්න එන්නේ නැහැ. ආචිචියි සීයයි එනවා. ඒ දෙන්නා මාව බලන්න එන හැමදාම මට බනිනවා. මටත් දුකයි. මොනවා කරන්නද හිතුවක්කාරකම් කරන්න ගිහිල්ලා මට මගේ ජීවිතේ හැමදේම නැතිවුණා. "

ඔයාට නිදහසක් ලැබෙයිද ?

"නඩුව තවම යනවනේ. මං හිතන්නේ නැහැ. මට නිදහසක් ලැබේවි කියලා. දෙන ඕන දඬුවමක් භාර ගන්න මං ලෑස්තියි. ඒ මොකද දන්නවද? දැන් මට රැකගන්න දෙයක් නැති නිසා."

(ඉනෝකා සමරවික්‍රම)


නව අදහස දක්වන්න

Or log in with...