කල් පවතින නාගරීකරණයක් අත්‍යවශ්‍යයි | දිනමිණ

කල් පවතින නාගරීකරණයක් අත්‍යවශ්‍යයි

මහින්ද අලුත්ගෙදර

දේශපාලන අවශ්‍යතා මත නගර ලස්සන කිරීමේ ව්‍යාපෘති වෙනුවට කල් පවතින ආකාරයේ නාගරීකරණයකට රට සූදානම් කිරීම අත්‍යවශ්‍ය බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේ දී පෙරේදා (02) පැවති උත්සවය අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

මේ රට අනාගතය කරා යමින් බලවත් රටක් කරන්නේ නම් ධනය උත්පාදනය අවශ්‍යයි. ධනය උත්පාදනය වන්නේ නගරවලයි. ඒ සඳහා නාගරික සංවර්ධනයට මුල් තැන දිය යුතුයි. නාගරික සංවර්ධන අධිකාරිය 1978 දී එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ආර්ථිකය නිදහස්කරණය කිරීමත් සමඟ ආරම්භ කර තිබෙනවා. මෙය මුලින්ම සිංගප්පූරුවේ අනුරුවක් ලෙස පටන් ගත්තා. එයින් පසුව ආර්. ප්‍රේමදාස මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන ගියා. එතැන් සිට විවිධ පිරිස් සමඟ මේ ගමන වසර 40ක් පැමිණ තිබෙනවා. මේ ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ සැමට අපේ ස්තූතිය පිරි නමනවා. මේ රටේ කොළඹ මූලික නාගරික සංවර්ධනය දෙස බලන විට අතීත නාගරීකරණයක් ලංකාවේ පැවතුණා. විශේෂයෙන්ම අනුරාධපුරය නගරය මුල් කරගෙන එය පැවතුණා. වසර 1200ක පමණ ලිඛිත ඉතිහාසයක් ඒ සඳහා තිබෙනවා. එවැනි ඉතිහාසයක් ලොව වෙනත් කිසිම නගරයකට නෑ. ඒ නිසා අපිට ආඩම්බර වෙන්න පුළුවන්.

නූතන කොළඹ ඉතිහාසය විවිධ අවස්ථාවල නාගරික සැලසුම්වලට ලක් වුණා. අපිට 2018 විශේෂයි. මුළු රටේම නව ජාතික භෞතික සැලසුමක් අපි නිර්මාණය කර තිබෙනවා. ඊළඟ වසර 15, 20 දක්වා ශ්‍රී ලංකාවේ ජාතික සැලසුම් පැවැතිය යුතු ආකාරය සම්බන්ධයෙන් එහි දී කතා කරනවා. එහි දී කොළඹ සිට ත්‍රීකුණාමලය දක්වා ප්‍රධාන නාගරික ජනගහන කොරිඩෝව විවෘත කරන්න. ඒ ඔස්සේ ඇති නගර විධිමත් උපාය මාර්ග නගර වශයෙන් සංවර්ධනය කරනවා. මහා නගර ව්‍යාපෘතිය මේ වන විට පියවරෙන් පියවර ගොඩනඟමින් සිටිනවා. කොළඹින් පිටත නගර 13ක් උපාය මාර්ග වශයෙන් දියුණු කරනවා. මේ වන විට ගාල්ල, මහනුවර, අනුරාධපුරය, යාපනය නගර ක්‍රියාත්මකයි. ඉදිරියේ දී කුරුණෑගල, රත්නපුර, මාතර සහ දඹුල්ල ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේ විදේශ ආධාර අපේක්ෂා කරනවා. මේ වන විට හම්බන්තොට, ගාල්ල නාගරික කොරිඩෝව සඳහා වන සියලු සැලසුම් සකස් කරමින් ඉන්නවා.

කුඩා උප නගර කඩමණ්ඩිවලින් ඔබ්බට සංවර්ධනය කරන්න සුඛිත පුරවර වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ව්‍යාපෘති 206ක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ රට ක්‍රමයෙන් නාගරික රටක් වෙමින් තිබෙනවා. නාගරික ජනගහනය සියයට 18ක් ලෙස සංඛ්‍යා ලේඛන කියනවා. රටේ නගර සභාවල සහ මහා නගර සභාවල ජීවත්වන ජනතාව සම්බන්ධයෙන් අවධානය යෙමු කර එවැන්නක් පවසනවා. නමුත් ජනගහනය තමන් විසින් සම්බන්ධ වී සිටින නාගරික පහසුකම් අනුව අද ක්‍රම ක්‍රමයෙන් ලංකාව නාගරික ජනගහනයක් බවට පත් වෙමින් තිබෙනවා. ඉදිරියේ දී සියයට 50ට වැඩි පිරිසක් ඉදිරි දශකයේ දී නාගරික පහසුකම් සහිත ජනතාවක් වෙයි.

අද ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක්. අපේ ඒක-පුද්ගල ආදායම ඩොලර් 4,000 සීමාවට ළඟා වී තිබෙනවා. නමුත් ලෝකයේ ආර්ථික සංවර්ධනය මැනීමට යොදා ගන්නා මිණුම් දණ්ඩ එය නොවේ. පී.පී.පී. ආදායම ලංකාවේ ඩොලර් 13,000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙය කලාපයේ අති විශේෂ අවස්ථාවක් වෙනවා. අපේ මූල්‍ය හැකියාවන් අද වර්ධනය වී තිබෙනවා. ඒ නිසාම අපේ නාගරික අවශ්‍යතා ද බලගතු වී තිබෙනවා. ඒ නිසා ඉදිරියේ දී ශ්‍රී ලංකාවට කවදාටත් වඩා විධිමත් නාගරික සැලසුමක් අවශ්‍ය වෙනවා.

දේශපාලන අවශ්‍යතාව මත නගර ලස්සන කිරීමේ ව්‍යාපෘති වෙනුවට කල් පවතින ආකාරයට නාගරීකරණයට රට සූදානම් කිරීම අත්‍යාවශ්‍යයි. මේ රට අනාගතය කරා යමින් බලවත් රටක් කරන්නේ නම් ධනය උත්පාදනය අවශ්‍ය වෙනවා. ධනය උත්පාදනය වන්නේ නගරවලයි. ඒ සඳහා නාගරික සංවර්ධනයට මුල් තැන දිය යුතු වෙනවා. ලෝකයේ සෑම රටක්ම ධනවත් රටක් වුණේ වෙළෙඳාමෙන් සහ විධිමත් නාගරීකරණයෙන්. අපිට තිබුණේ අවිධිමත් නාගරීකරණයක්. ඒ නිසා අපිට ප්‍රශ්න රැසක් ඇති වුණා. ඒ නිසා ඊට පිළියම් යොදමින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. 2015 දක්වා නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ 50ට වැඩියෙන් කළ ව්‍යාපෘති ප්‍රමාණය 270යි. එහි සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 15ට ආසන්නයි. නමුත් 2016 වසරේ සිට 2020 දක්වා මේ කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය තුන් ගුණයක ආයෝජන හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාදාමය අද විශාල බලගතු ක්‍රියාදාමයක් බවට පත්ව තිබෙනවා. නිහඬවම අපි ඒ කටයුතු කරගෙන යනවා. අපි මේ ආයතනය භාණ්ඩාගාරයට බරක් කර නෑ. අභියෝග භාරගෙන අද මේ ආයතනය ස්වශක්තියෙන් දුවන ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියට අයත් නොවන වැඩ කොටස් භාරගෙන ඒවා විධිමත් ලෙස කටයුතු කරනවා.

මේ රටේ තිබු කැළි කසළ ගැටලුව විසඳන්න කෙටි කාලීනව සහ දිගු කාලීනව කටයුතු කළේ මේ ආයතනයයි. ඒ කැළි කසළ ප්‍රයෝජනවත් ලෙස බැහැර කරන්න හැකියාව ලැබී තිබෙනවා. කොළඹ නගරයේ ජලගැලීම් අවසන් කරන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ ඉඩම්වලට ඔප්පු දී නිවාස ඉදිකිරීමේ ජනප්‍රිය දේශපාලනයක් ගෙන ගියා. මේ නිසා පැල්පත් 70,000ක් කොළඹ නගරය වටා ගොනු වුණා. අද ඒවා ඉවත් කර ඔවුන්ට නිවසක් දෙන්න පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2020 වන විට කොළඹ නගරය අවට නිවාස 20,000ක් ඉදි කරනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 38,000ක් මේ වසරේ පමණක් වියදම් කරනවා. එයින් මිලියන 17,000ක් රජය විසින් වියදම් කරනවා. අනෙක් මිලියන 21,000ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් වැය කිරීමට නියමිතව තිබෙනවා.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ලබන වසරේ ක්‍රියාත්මක කරනවා. එය ඩොලර් බිලියන 9.5ක් වැනි යෝධ ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ රටට අලුත් අත්දැකීමක්. නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත්ව මේ රටේ තාක්ෂණ නගරයක් ඉදි කරගෙන යනවා. එය මේ රටේ අනාගතය නිර්මාණය කිරීමක් වෙනවා. මේ රටේ ලාභ ශ්‍රමය හෝ ලාභ පරිසරය තවදුරටත් නෑ. නවෝත්පාදනය හරහා අපිට ඒ ගමන යා හැකි වෙනවා. මේ ආයතනයේ වෘත්තීයවේදීන් පිළිබඳව තබා තිබෙන විශ්වාසය අගය කරනවා. ගරුත්වය මත වැඩ කරන ආයතනයක් බවට පත් කර තිබෙනවා. ජනතාවගේ ඉඩම් උදුරාගෙන ධනපතියන්ට දෙනවා යැයි සැකයක් මේ ආයතනය පිළිබඳව තිබුණා. ඒ සියල්ලෙන් මුදාගෙන තිබෙනවා. පරිසර කාරණා සම්බන්ධයෙන් ද අපේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා - රජය විසින් බිලියන 6.4ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරිය හරහා වසරකට ආයෝජනය කර තිබෙනවා. මේ ආයතනය සිය කාර්යය හරියාකාරව කර තිබෙනවා. පසුගිය වසර තුනේ නව තාක්ෂණය භාවිත කරන ආයතනයක් බවට පත්ව තිබෙනවා. අපේ ව්‍යාපෘති නව තාකෂණය භාවිත කරමින් මේ වන විට සිදු කරනවා. අපේ ආකල්ප වෙනස් කර සේවා දායකයා වෙනුවෙන් කටයුතු කරනවා. නාගරික සංවර්ධන අධිකාරිය වෘත්තීයමය ආයතනයක් බවට පත් කරන්න පියවර ගන්නවා. අපේ නාගරික රටාව වෙනස් වෙමින් තිබෙනවා. ලෝකය පුරාම තාක්ෂණය වේගයෙන් දියුණු වෙනවා. නාගරික සංවර්ධනය යන්න දේශපාලනයෙන් තොර කාර්යයක් නොවේ. ඒ අනුව අපිට අභියෝග රැසක් තිබෙනවා. ඒවා ජයගෙන ඉදිරියට යන්න අපි සූදානම්. නාගරික සංවර්ධන අධිකාරියේ ආරම්භයේ සිට මේ දක්වා සේවය කළ කාර්යය මණ්ඩලය වෙනුවෙන් එම ආයතනයේ සභාපතිවරයාට විශේෂ තිළිණයක් පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කළ අතර ජනාධිපතිවරයා වෙනුවෙන් ද විශේෂ තිළිණයක් පිළිගැන්විණි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. රත්නායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර

නව අදහස දක්වන්න