පොලිස්පති ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාව සතුයි | දිනමිණ

පොලිස්පති ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාව සතුයි

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථාධායක සභාව සතු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක, රාජිත සේනාරත්න මහතා පැවසීය.

පොලිස්පතිවරයා ඉවත් කිරීමට අවශ්‍යතාවක් ඇත්නම් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ද ඇමැතිවරයා කීය.

පොලිස්පතිවරයා ඉවත් කළ යුතු නම් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුත්තේ පොලිස්පතිවරයා පත් කළ ව්‍යවස්ථාදායක සභාව හරහාම බව කී අමාත්‍යවරයා රජය දැනට පොලිස්පතිවරයා ඉවත් කිරීමේ කිසිඳු තීන්දුවක් ගෙන නැතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (3) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් 'ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා දැඩි ලෙස විවේචනය කිරීම 'සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බැව් කීය.

'පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ගැටලු ඇති නමුත් ඔහුගේ නිල කාලය තුළ අපරාධ අඩුවීම සම්බන්ධයෙන් ද සළකා බැලිය යුතුයි.පොලීසිය තිබෙනවාට වඩා යහපත් ආකාරයෙන් ප්‍රතිසංවිධානය විය යුතුවනවා., අපරාධ සංඛ්‍යාත්මකව අඩු වී ඇති නමුත් නිරන්තරයෙන් අපරාධ සිදුවීම වැළැක්වීමට ඉදිරියේ දී තවත් පියවර ගත යුතුය යන්නයි ජනාධිපතිවරයා පැවසූවේ.ව්‍යවස්ථා දායක සභාවෙන් එම තීන්දුව ගැනීමට අවශ්‍ය වුවත් මෙතෙක් එම සභාවට සාමාජිකයන් පත් කර නැහැ .නමුත් එයට ඉක්මනින් සාමාජිකයන් පත්කිරීම සිදුවේවි.'යැයිද මෙහි දී සම කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේදැයි මෙහි දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුවේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පක්‍ෂ මත නොමැති බවයි.

උතුරේ ආවා කල්ලිය පාලනයට හා මත්ද්‍රව්‍ය පාලනයට අවශ්‍ය බලතල හමුදාවට දෙන්නැයි කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුවේ පොලීසිය සතු ශක්තිය ප්‍රමාණවත් නොවන අවස්ථාවක දී හමුදාව කැඳවීමක් සිදු වන බවත්, එසේ නොවන අවස්ථාවල දී හමුදාව ගෙන්වා රතුපස්වල වැනි සිද්ධීන් ඇතිකිරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බවයි. එසේම කිසිදු හේතුවක් මත පොලීසියට හෝ හමුදාවට විශේෂ බලතල නොදෙන බව ද ඇමැතිවරයා මෙහි දී පැවසීය


නව අදහස දක්වන්න

Or log in with...