රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන ජාතික ආර්ථික සභාව සාකච්ඡා කරයි | දිනමිණ

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන ජාතික ආර්ථික සභාව සාකච්ඡා කරයි

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ජාතික ආර්ථික සභාවේ සාකච්ඡාවට ලක් වෙයි.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඇතුළු විද්වතුන්ගේ ද සහභාගිත්වයෙන් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව රැස් විය.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම මෙහිදී සිදු වූ අතර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක සභාපතිවරු ඇතුළු නියෝජිතයින් ද මීට එක්ව සිටියහ.

එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ සියලු ප්‍රධාන වාණිජ මණ්ඩලවල ප්‍රධානින් ද, මහබැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු නියෝජිතයින් ද මීට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා දැනට මහබැංකුව ගෙන ඇති පියවර පිළිබඳ ද මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කෙරිණි.

රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇත්තේ රටින් පිට බාහිර සාධක බවත්, ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක් ද මෙම තත්ත්වයට මුහුණ දී ඇති බවත් මෙහිදී මහ බැංකුව පෙන්වා දෙනු ලැබීය. අපනයනය ප්‍රවර්ධනය කර ගැනීමට ලබාදිය හැකි ප්‍රතිලාභ සහ අවස්ථා පිළිබඳව ද මෙහිදී ජාතික ආර්ථික සභාව දැනුවත් කෙරිණි.

බදු ප්‍රතිපත්තිය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මහින්ද සමරසිංහ, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න