අරගල මැද පොදු වැඩවල | දිනමිණ

අරගල මැද පොදු වැඩවල

මඟ හැරුණු මිනිසා 89

“මා ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ’ ප්‍රශ්නයට මැදිහත් වූයේ සංගමයේ තනතුරු බලාපොරොත්තුවෙන් නොවෙයි. එහෙත් සංගමයේ සභාපති තනතුර භාර ගන්නා ලෙස බහුතරයක් ඉල්ලා සිටියා. අවසානයේ දී මා ලේකම් තනතුර භාර ගෙන ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රාජපතිරණ මහතා සභාපති තනතුරට යෝජනා කළා. ආචාර්ය තිස්ස රාජපතිරණ මහතා පසු කාලයක නැවතත් මා සභාපති තනතුරට යෝජනා කළා. ශ්‍රී ලංකා ප්‍රජාවේ වැඩි දෙනාගේ මතය වුණේ ඒ වසරේ කැන්බරා නුවර ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගම්’ ඉතිහාසයේ ඉතාමත් සාර්ථක ලෙස වැඩ කටයුතු කෙරුණු බව. මේ වෙන කොට මා අනෙකුත් බොහෝ දෙනකු සමඟ කැන්බරා නුවර තවත් ප්‍රජා සංවිධාන ගණනාවක කටයුතු කරමින් සිටියා.

“1975 දී ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමය’ (ASLA) ගොඩනඟා තිබුණේ ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ Graduate House එකේ පදිංචි ශ්‍රී ලාංකික සිසුන් සහ කැන්බරාවල වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතිකයන්ගේ මූලිකත්වයෙන්. 1993 මුල් කාලෙ ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමය’ කොටස් දෙකකට කැඩිල සිංහල බෞද්ධයෝ වෙනම කමිටුවක් හදා ගැනීම හේතුවෙන් කමිටු දෙකක් අතර සංගමයේ නමත් සංගමයෙ බැංකු ගිණුමත් අයිති කර ගන්න ලොකු ආරවුලක් ඇති වෙලා තිබුණා. සිංහල බෞද්ධයන්ගෙන් සමන්විත කමිටුවේ විරෝධය පෑම නිසා මට මතක අන්දමට ඇඩ්වාන්ස් බැංකුව (Advance Bank) සංගමයේ බැංකු ගිණුම අක්‍රීය කරල තිබුණේ. එක දවසක් බැංකුවේ යහළුවෙක් මගෙන් මේ පලහිලව්ව ගැන ඇහැව්වා. එතකොට මම කල්පනා කළා, මේක කැන්බරාවල ඉන්න ශ්‍රී ලංකා ප්‍රජාවේම මූණේ දැලි ගාලා වගේ වැඩක්, ඒ නිසා මැදිහත් වෙලා මේ අවුල සමථයකට පත් කරන්න ඕනෑ කියල. දෙපැත්තෙම අයත් එක්ක සති කිහිපයක් තිස්සේ කරපු දුෂ්කර සාකච්ඡා වටයකින් පසුව, ප්‍රශ්නය සමථයකට පත් කරන්න පුළුවන් වුණා. එතැනදී ඇත්තටම අතීතයේ දී පක්ෂයේ සහ මගේ වෘත්තීයමය ජීවිතයේත් ප්‍රශ්න විසඳන්න මැදිහත් වීමෙන් ලබාගත් අත්දැකීම් යොදා ගත්තා.

“මම කෙටුම්පතක් යොදා ගෙන කමිටු දෙකේම අය එකඟත්වයකට ගන්නට පුළුවන් වුණා. මට මතක අන්දමට දෙදෙනෙක් පමණ ඊට අත්සන් කළේ නැහැ. නමුත් ඒ අය ඊට විරුද්ධ වුණෙත් නැහැ. මේ කටයුත්තේ දී අමාරුම දේ වුණේ මෙම අවුලට ප්‍රධාන වශයෙන් හේතු සාධක වී තිබුණ කාරණයක් ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම. කමිටුවක හිටපු ප්‍රධාන චරිතයක් ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ’ රැස්වීම් වාර්තා සටහන් පොතේ තිබුණු වාර්තාවක් වුවමනාවෙන් වෙනස් කොට තිබුණා. වෙනස් කළේ කවුද කියා මා දැන හිටියත් ඔහු කවුදැයි හෙළිදරව් කළොත් ඇති විය හැකි හානිය ගැන සළකා බලා මට ඒ ගැන නිහඬව ඉන්නට සිද්ධ වුණා. කෙසේ වුණත් ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ’ මුල් කමිටුව පිළිගන්නටත් බැංකු ගිණුම යළි ක්‍රියාත්මක කරන්නටත් ඒ ව්‍යායාමය නිසා පුළුවන් වුණා.

“නැවත සංගමයේ කටයුතු ආරම්භ කිරීමත් සමඟම එහි ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට මා ගෙන ආ යෝජනාවක් කමිටුවේ ඒකමතිකව සම්මත වුණා. ඒ සඳහා අනු කමිටුවක් පත් කළා. ඒ අනුකමිටුවේ සභාපති ධුරය දැරුවේ ඔස්ට්‍රේලියානු නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දැරූ බ්‍රයන් ෆනැන්ඩු මහතා. සභාපතිවරයෙක් සහ අනෙක් ශ්‍රී ලාංකික ප්‍රජාවන් නියෝජනය කරන අන්දමට උප සභාපතිවරුන් තිදෙනෙක් පත් කරන්නට මා ඉදිරිපත් කළ සංශෝධනය නොපිළිගන්නට හේතු වූයේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඒ පිළිබඳව දැක්වූ විරෝධතාවය හේතුවෙන් බව පසුව බ්‍රයන් මට පැහැදිලි කළා. ඒ අවස්ථාවේ මහ කොමසාරිස් කාර්යාලයේ මේ අනිසි මැදිහත් වීම ගැන මා දැඩි කනස්සල්ලට පත්ව සිටියා. සංගමය හෝ කමිටුව කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවිය යුතු බවට වගන්තියක් ද ව්‍යවස්ථාවට අඩංගු කර තිබුණා. සංගමය හෝ එහි කටයුතු දේශපාලනයට යොදා ගන්නට මගේ බලාපොරොත්තුවක් නොවූ නිසා මා ඒ ගැන විරෝධයක් දැක්වූයේ නැහැ.

“මා ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ’ ප්‍රශ්නයට මැදිහත් වූයේ සංගමයේ තනතුරු බලාපොරොත්තුවෙන් නොවෙයි. එහෙත් මට සංගමයේ සභාපති තනතුර භාර ගන්නා ලෙස බහුතරයක් ඉල්ලා සිටියා. අවසානයේ දී මා ලේකම් තනතුර භාර ගෙන ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රාජපතිරණ මහතා සභාපති තනතුරට යෝජනා කළා. ආචාර්ය තිස්ස රාජපතිරණ මහතා පසු කාලයක නැවතත් මා සභාපති තනතුරට යෝජනා කළා. ශ්‍රී ලංකා ප්‍රජාවේ වැඩි දෙනාගේ මතය වුණේ ඒ වසරේ කැන්බරා නුවර ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගම්’ ඉතිහාසයේ ඉතාමත් සාර්ථක ලෙස වැඩ කටයුතු කෙරුණු බව. මේ වෙන කොට මා අනෙකුත් බොහෝ දෙනෙක් සමඟ කැන්බරා නුවර තවත් ප්‍රජා සංවිධාන ගණනාවක කටයුතු කරමින් සිටියා. 1991 කාලයේ සිටම කැන්බරා නුවර ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ’, කැම්බරා බෞද්ධ විහාරස්ථානයේ, කැන්බරා ශ්‍රී ලංකා නාට්‍ය පාසලේ, පෙරදිග හා අපරදිග සංගීත ප්‍රවර්ධන උදෙසා වන ඔස්ට්‍රැලේසියානු සංගමයේ, ඔස්ට්‍රේලියා අගනගර ප්‍රදේශ බහු සංස්කෘතික සංගමයේ, ඔස්ට්‍රේලියා අගනගර ප්‍රදේශයේ ප්‍රධාන ඇමතිවරයාගේ බහු සංස්කෘතික උපදේශක සභාවේ වැනි සංගම් බොහොමයක ආරම්භක සාමාජිකයෙක් වශයෙන් මා කටයුතු කළා.

“වසර ගණනාවකට පසුව සංගමයේ නිලධාරි මණ්ඩලයට ප්‍රජාවේ බහු සංස්කෘතික ස්වභාවය වඩා හොඳින් නියෝජනය කරන තත්වයට පත් කරන්නට පුළුවන් වුණා. කැන්බරා ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් බ්‍රයන් ෆනැන්ඩු මහතා සහ විශ්‍රාමික ටෙරි විල්සන් මහතා වැනි බර්ගර් ජාතිකයන්, ඔස්ට්‍රේලියා අගනගර ප්‍රදේශ රජයේ ගණකාධිවරයකු වශයෙන් සේවය කළ සිවා නේදන් මහතා වැනි දෙමළ ජාතිකයන්, මොහමඩ් මසූඩ් මහතා සහ අහ්මඩ් ෆානම් මහතා වැනි මුසුල්මානුවන්, ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය බ්‍රෑස් කෝල්ඩ්වෙල් සහ කොලන් කිෂ් වැනි ඔස්ට්‍රේලියන් ජාතිකයන් කමිටු සාමාජිකයන් වශයෙන් තෝරා පත් කර ගන්නට අපට පුළුවන් වුණා.

“කලින් සංගමයේ රැස්වීම්වල දී කතා කරන්න වුණේ ඉංග්‍රීසි බසින් පමණයි. නමුත් ප්‍රජාවේ සියලු කොටස්වල සුබසෙත සඳහා සිංහල සහ දෙමළ භාෂා යොදා ගැනීම ආරම්භ කරන්නට කටයුතු කළා. කැන්බරා දෙමළ සංගමය සංවිධානය කළ උත්සවවලට ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ’ නියෝජිතයන් ලෙස මමත් තවත් කමිටු සාමාජිකයනුත් සහභාගි වෙන්නට පටන් ගත්තා. නමුත් මේ පියවර සිංහල සහ දෙමළ දෙපැත්තේම සිටි අන්ත ජාතිකවාදීන්ගේ විරෝධයට ලක් වුණා. මට මතක අන්දමට 1998 දී ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමය’ සංවිධානය කළ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වෙන ලෙස අප ආරාධනා කළා. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බෞද්ධ සංගමයටත් කැන්බරා දෙමළ සංගමයටත්. ඔවුන් ඒ උත්සවයට සහභාගි වුණා. මා පෞද්ගලිකවම මැදිහත් වෙලා දෙමළ ජාතිකයන් විසි දෙනෙක් පමණ ඒ වතාවේ අවුරුදු උත්සවයට සහභාගි කරවා ගත්තා.

“කැන්බරා සිංහල ප්‍රජාවේ ජ්‍යේෂ්ඨතම සාමාජිකයකුගේ බිරිය අවුරුදු උත්සවයේ දී චිත්‍රාගෙන් ‘මෙදා අවුරුදු උත්සවය දෙමළ ගඳයි නේද’ කියා අසා තිබුණා. 1991 අපි කැන්බරා නුවරට ආපු අවධියේ ඔස්ට්‍රේලියා අගනගර ප්‍රදේශයේ රජය, කැන්බරා නුවරට අලුතෙන් පැමිණෙන අප වගේ අයට නිවාසාධාර ලබා දෙමින් තිබුණා. දිනක් චිත්‍රා මේ ගැන හොයන්න වෝඩන් පෙදෙසේ රජයේ කාර්යාලයකට ගියා. චිත්‍රාට ඉහත සඳහන් කළ කාන්තාව මුලින්ම හමු වී තිබුණේ එදා. ඒ කාර්යාලයේ නිලධාරිනියක් ලෙස ඇය චිත්‍රාට බොහොම රළු අන්දමට කතා කරලා රජය ඒ වගේ ආධාර දෙන්නෙ නැහැ කියල තිබුණා. නමුත් ප්‍රධාන කාර්යාලයට ගොස් ඒ කටයුත්ත කර ගන්න චිත්‍රාට පුළුවන් වුණා. ඒ අවුරුදු උත්සවයේදීම බෞද්ධ සංගමයේ ප්‍රධාන නිලයක් හෙබ වූ අයකුගේ දරුවෙක් උත්සවයට පැමිණ සිටි කාන්තාවක් සිටි ආසනයට යාබද අසුනේ වාඩි වී සිටියා. ඒ කාන්තාව දෙමළ කෙනෙක් බව දැනුණාම ඒ දරුවාගේ අම්මා දරුවාව ඈතක තිබුණු වෙනත් ආසනයකට ගෙන ගියා. ඒ විදියට ගත්තම උත්සවය සාර්ථක අන්දමින් නිමා කළත් ඊට එරෙහිව ප්‍රචාරක කටයුතු පටන් ගෙන තිබුණේ උත්සවය අවස්ථාවේ දී මයි.

“ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මා දැරූ දේශපාලන ස්ථාවරය සමඟ එකඟ නොවූ අය මා ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ’ සභාපති ලෙස කටයුතු කරන කාලයේ දී ඒ සංගමයේ කටයුතු කඩාකප්පල් කරන්නට නොයෙක් ආකාරයේ යටි උගුල් මානන බව මට තේරුණා. සංගමය දෙකඩ වී පැවති කාලයේ ඒ දෙකඩ වීම පවත්වා ගෙන යන්නට උත්සාහ කළ අයත් ඊට විරුද්ධව මා සමඟ ඒ ආරවුල සමථයකට පත් කරන්නට උදව් වුණා. සමහර දෙනෙකුත් එකතු වී දෙමළ විරෝධයක් ඉදිරියට ගන්නට කටයුතු කරමින් සිටින බව මට තේරුණා. මේ වෙනකොට ලංකාවේ ජනවාර්ගික ගැටුම උත්සන්න වෙමින් පැවතුණා. මේ අනුව කටයුතු කළ සමහර දෙනකුට සිංහල සංස්කෘතික සංවිධානයක් හදන්නට අවශ්‍ය වුණා. ලංකාවේ ජෙනරාල් රොහාන් දළුවත්ත මහතාගේ සහෝදරයෙක් වුණ අපේ කමිටුවේ හිටපු සාමාජිකයෙක් මේ සඳහා ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ’ අනුමැතිය ද ඇතිව කටයුතු කළා.මේ සඳහා ප්‍රජාව එක් රැස් කර ගන්නට ඔවුන් යොදා ගත්තේ මටත් සංගමයටත් එරෙහිව ගෙන ගිය අමූලික පච ප්‍රචාර.

“1991 කැන්බරා නුවර ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බෞද්ධ සංගමය’ කැම්බා බෞද්ධ විහාරස්ථානය හදන්නට සැලසුම් කරන ලද කාලයේ සිටම මම ඒ සංගමයේ සාමාජිකත්වයත් පසුව එහි කාරක මණ්ඩලයේත් හිටියා. විහාරස්ථානය ඉදි කරන්නටත් පවත්වා ගෙන යන්නටත් කායික මෙන්ම මූල්‍ය වශයෙන් ද ආධාර කළා. 1996 පන්සල විවෘත කරන අවස්ථාවට සහභාගි වෙන කොට පන්සල් ගොඩනැඟිල්ලට ඇතුළු වෙන දොරටුවේ ඔස්ට්‍රේලියාවේ අන්ත ජාතිකවාදය පතුරවන සංවිධානයක සඟරාවක් බෙදනවා. මම දැක්කා, එතෙක් බෞද්ධ සංගමයේ කටයුතු කෙරුණේ දේශපාලන භේදයකින් තොරව. පන්සල දේශපාලන අතකොළුවක් බවට පත් කර ගන්නට ඉඩ නොදිය යුතු බව මම කාරක මණ්ඩලයට කිව්වා.”

සිසිර යාපා

හෙට - මඩ කතා බොරු කතා චෝදනා

නව අදහස දක්වන්න