පච ආර්ථික විද්‍යාව | දිනමිණ

පච ආර්ථික විද්‍යාව

වත්මන් රජය ප්‍රකාශ කොට ඇත්තේ සංවර්ධනයේ වෙනත් මාවතකි. එක්තරා මැද මාවතකි. එනම් සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය යන්නයි. එනම් වෙළෙඳ පොළ ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතරම එහි ප්‍රතිලාභ ලබාගත හැකිවන ලෙස මහජනයා ශක්තිමත් කිරීමයි. එමෙන්ම මහජනයාගේ අමාරු අවස්ථාවල පිහිටවීමයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ සඳහා වූ ප්‍රධාන ව්‍යාපෘතියකි. එමෙන්ම දහතුන් වසරක අනිවාර්ය අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව වැනි ක්‍රම මඟින් මහජනයා සවිබල ගැන්වීම සිදුවෙයි. ස්වභාවික විපත්වලට එරෙහිව දැන් මෙරට සියලු ජනයාට ලක්ෂ දහයක රක්ෂණයක් හිමිය.

විපක්ෂයට දැන් ඇතිව තිබෙන්නේ පුදුම තදියමකි. ඒ මේ ආණ්ඩුව ඉක්මනින් ගෙදර යවන්නටය. ආණ්ඩුවේ වැඩපිළිවෙළ තව ටික කලක් ක්‍රියාත්මක වුවහොත් තමන්ට යන්න එන්න අතක් නැතිවන බව ඔවුහු දනිති. ඒ නිසා අවශ්‍යව තිබෙන්නේ ඉක්මනින්ම ආණ්ඩු විරෝධයක් හදන්නටය. ඒ සඳහා ලොවම දන්න දේ ගැන පවා පට්ටපල් බොරු කියන්නටද මොවුන් මැළිවන්නේ නැත. ඒ කියන්නේ තමන් සියල්ල දත් පණ්ඩිතයන් යැයි පෙන්වමිනි. එසේ වුවද සිදුවන්නේ යමක් දන්නා උදවිය ඉදිරියේ හෑල්ලුවට ලක්වීමය. ලෝකය ඉදිරියේ ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය වීමය. බන්දුල ගුණවර්ධනලාගේ උදය ගම්මන්පිලලාගේ හා මහින්ද රාජපක්ෂලාගේ මේ වනවිට තත්ත්වය ඒකය.

ඩොලරය ඉහළ යන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ හිතුවක්කාර ආර්ථික ප්‍රතිපත්ති නිසා බව ලොවම දන්නා කාරණයකි. ලොවම කරන්නේ එම තත්ත්වය පිළ‍ිගෙන එහි ප්‍රතිවිපාක තේරුම්ගෙන එයට මුහුණදීමට ක්‍රමවේද සකස් කිරීමයි. එසේ වුවද බන්දුල ගුණවර්ධන කියන්නේ ඩොලරය නගිනවා නොව රුපියල වැටෙන බවයි. ඒ මෙම ආණ්ඩුවේ ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා බවයි. මෙය ආර්ථිකය කඩාවැටිමක් බවද ඔහු කියයි. ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනයක් ඇති චීනයේ හා ඉන්දියාවේ මුදල් ඒකක අවප්‍රමාණ වන්නේ ඇයි දැයි ඔහු කියන්නේ නැත. එම ආර්ථිකයන්ද කඩා වැටී ඇතැයි ඔහු සිතනවා විය හැකිය.

ආයෝජකයන් එළවා ගැනීම

ආර්ථිකය ලිබරල් කිරීම ගැන බන්දුලගේ එක් උදාහරණයක් නම් කොටස් වෙළෙඳ පොළේ ආයෝජන ආපසු රැගෙන යන්නට නීතියෙන් ඉඩදී තිබීමයි. ඔහු කියන හැටියට නම් එම ඩොලර් ආපසු ගෙන යන්නට බැරිවන ලෙස නීති තදින් තියාගත යුතුව තිබිණි. එලෙස තමන් කැමැති විටෙක මුදල් ඉවත්කරගත නොහැකි තැනක කිසිදු විදේශිකයකු මුදල් ආයෝජනය නොකරන බව මේ පණ්ඩිතයාට තේරෙන්නේ නැත. මෙරට කොටස් වෙළෙඳ පොළට ඉතිහාසයේ වාර්තාගත විදෙස් ආයෝජන ප්‍රමාණය ලැබුණේ පසුගිය වසරේය. මේ වස‍ෙර් මුල් මාසවලද එම වර්ධනය දක්නට ලැබිණි. ඒ නිදහසේ ආයෝජනය කරන්න ඉඩ සලසා තිබූ නිසාය.

තමන්ගේ මුදල් ආපසු ගන්න අපහසු තැනක ආයෝජනය කරන්න කිසිවකු කැමැති වන්නේ නැත. බැංකුවක, මූල්‍ය සමාගමක තැන්පතු ගැන වුවද කතාන්දරය ඒකය. ආයෝජන ගෙන යන එක සීමා කළහොත් ඩොලර් එන්නේම නැත. එවිට ආපසු යාමක් ද සිදුනොවන බව ඇත්තකි. විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාගේ ආර්ථික කළමනාකරණ උපදෙස්වල ප්‍රතිඵලය ඒකය.

ආර්ථික ලිබරල්කරණය ගැන අනෙක් උදාහරණය දී තිබුණේ විදේශීය වෙළෙඳාම සම්බන්ධයෙනි. ආණ්ඩුව ඉදිරිපත්කොට ඇති ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියේ ඇති කරුණක් සම්බන්ධයෙනි. එනම් ආනයනවලට බදු පැනවීම අපනයනවලට බදු පැනවීමක් යන්නයි. මේ කියන්නේද ආනයනවලට බදු පනවා තහංචි දමා සීමා කළ යුතු බවයි. මෙය ආර්ථික විද්‍යාඥයන්ගේ නොව ග්‍රාම්‍ය ජනතාවගේ ආර්ථික විද්‍යාවයි. එවැනි ක්‍රියාවල ප්‍රතිඵල ගැන ආර්ථික විද්‍යාඥයෝ දනිති. බන්දුල ගුණවර්ධන මහතාද නොදන්නවා නොවේ. ඔහු කරන්නේ ආණ්ඩුවට වරද පටවන්නට බොරුකීමයි.

ආනයන හැකිතාක් නිදහස් කරන්නේ අපනයන සඳහා අමුද්‍රව්‍ය ආදිය පහසුවෙන් ගෙන්වාගැනීම සඳහාය. එහි ප්‍රතිඵල දැන් අපි ලබමින් සිටිමු. ඩොලර් බිලියන 12 ක වාර්තාගත උපරිම අපනයනය පසුගිය වසරේ මෙරටට ලැබිණි. මේ වසරේ ඉලක්කය ඩොලර් බිලියන 15 කි. ඒ මෙම ප්‍රතිපත්තියේ ප්‍රතිලාභයි.

මේ වනවිට අප රටේ අානයන ප්‍රමාණය ඩොලර් බිලියන 20 ක් පමණ වෙයි. එයින් සියයට 55 ක් අප රටේ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අර්ධ නිමි භාණ්ඩයි. ඇඟලුම් සඳහා අවශ්‍ය රෙදිපිළි ආදිය වැනි දෑයි. ඒවාට බදු ගැසීම හෝ තහංචි දැමිම නොකළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. තවත් සියයට 23 ක ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩයි. එනම් රටේ නිෂ්පාදනය වර්ධනය කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආදියයි. එබැවින් මේවා නැවැත්වීමට හෝ සීමාකිරීමට සැරසීම ආර්ථික වර්ධනය අඩාළ කිරීමකි. ඇත්ත වශයෙන්ම කළ යුතුව ඇත්තේ මෙම භාණ්ඩ ගෙන්වීමට දැනට ඇති අපහසුතා බඳු හා ප්‍රමාදයන්ද අවම කිරීමට කටයුතු කිරීමයි. එනම් තවත් නිදහස් කිරීමයි.

මෙලෙස ගණන් බැලූවිට පාරිභෝගික භාණ්ඩ ලෙස ආනයනය කෙරෙන්නේ සියයට 22 ක ප්‍රමාණයකි. ඩොලර් මිලියන 4.5 ක පමණ භාණ්ඩ ප්‍රමාණයකි. ඒවා අතරද ඖෂධ, වෛද්‍ය උපකරණ, අත්‍යවශ්‍ය ආහාර ආදිය ඉවත් කළ විට ඉතිරිවන්නේ ඩොලර් බිලියනයක පමණ භාණ්ඩ ප්‍රමාණයකි. එයින් බොහොමයකට දැනටමත් ආනයන බදු පනවා ක්‍රියාත්මක කොට ඇත. එනම් සියයට පහක තරම් ප්‍රමාණයකි. ආණ්ඩුව පසුගියදා කළේ එම සොච්චම් ප්‍රමාණයෙන් යම් සීමා කිරීමකටය. එයද හදිසි තත්ත්වය සලකමින් කෙටි කාලයක් සඳහාය.

වෙළෙඳ ගිවිසුම් මගින්ද කරන්නේ තීරුබදු අඩුකොට වෙළෙඳ පොළ විවෘත කිරීම බව බන්දුල ගුණවර්ධන කියා තිබිණි. වෙළෙඳ ගිවිසුම් මඟින් තෝරාගත් ක්ෂේත්‍ර අනුව එලෙස තීරුබදු අඩු කරන්නේ අපේ වෙළෙඳ පොළ ලිබරල් ලෙස නිදහස් කොට නැති නිසා බව මොවුන්ට තේරෙන්නේ නැතුවා විය හැකිය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන වෘත්තියවේදීන් කළ අධ්‍යයනයක් යැයි කියන ලියැවිල්ලක් කියවනවිට දැනන්නට ලැබුණේ එහි නැවත නැවත එකම කාරණයක් ගැන සඳහන්ව ඇති බවයි. එය නම් සිංගප්පූරුව ඒකපාර්ශ්විකව තීරුබදු ඉවත් කළ රටක් බවයි. ඔවුන් කියා තිබුණේ ඒ නිසා තීරුබදු වාසියක් අප රටට නැති බවයි. නමුත් සිංගප්පූරුව ඒක පාර්ශ්විකව තීරුබදු ඉවත්කොට ලබාගත් වාසිය ගැන ඔවුනට අවබෝධයක් හෝ හැඟීමක් තිබු බවක් එම ලිපියෙන් දැකගන්න නොලැබුණි. එය නම් ඔවුන්ගේ ආර්ථිකය තරගකාරී බවට පත්කරගැනීමයි. ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුතු ආර්ථිකයක් බවට පත්කරගැනීමයි. තුන්වැනි ලෝකයේ රටක්ව සිටි සිංගප්පූරුව කෙටිකලෙකින් පළමුවන ලෝකයට ගියේ එහෙමය. අපේ ආර්ථික ඔස්තාර්ලාට මේවා තේරෙන්නේ නැත. එය ඇත්ත ලිබරල්වාදයයි. අපේ රටවල තවම ක්‍රියාත්මක වන්නේ ඊට ඉඳුරාම වෙනස් ප්‍රතිපත්ති මාලාවකි.

මෙහිදී බොහෝ වාමාංශිකයන් හා ජාතිකවාදින් කියන්නට හදන කාරණයක් නම් අප රටේ පාලකයන් ලිබරල්වාදය වැළඳගෙන ඇති බව හා එය මහා අනතුරක් බවයි. ඇත්ත කරුණු පරීක්ෂා කරනවිට පෙනී යන්නේ මෙම කරුණු දෙකම වැරදි බවයි. එනම් අප රටේ පාලකයන් ලිබරල්වාදය වැලඳගෙන නැති අතර ලිබරල්වාදය භයානක දර්ශනයක්ද නොවන බවයි.

නව ලිබරල්වාදය

ලිබරල්වාදී ආර්ථික දර්ශනය පසුගිය සියවසේදී ඉදිරිපත් වූයේ නව ලිබරල්වාදී දර්ශනය වශයෙනි. එහි ප්‍රධාන ප්‍රකාශකයා වූයේ ෆෙච්රික් වොන් හායෙක් නම් ආර්ථික විද්‍යාඥයාය. ඔහුගේ විවේචනය ප්‍රධාන වශයෙන්ම එල්ල වූයේ සමාජවාදී හා නාසිවාදී ආර්ථික ක්‍රමවලට එරෙහිවය. එනම් රජය මඟින් ආර්ථිකය සැලසුම් කිරීම ගැන ය. ඔහු කීවේ මෙය කිසිදාක සාර්ථක කරගත නොහැකි ක්‍රමයක් බවයි. එය ඔහු කීවේ සෝවියට් දේශය හා සමාජවාදී ලෝකය බිඳ වැටෙන්නට බොහෝ පෙර 1944 තරම් කාලයේදීය.

ඔහුගේ තවත් දැඩි විවේචනයක් එල්ල වූයේ ඒ 1930 න් පසු කාලයේ ලෝකයේ බලවත් වූ තවත් ආර්ථික දර්ශනයකට එරෙහිවය. එනම් ජෝන් මේනාඩ් කේන්ස් ඉදිරිපත් කළ ආර්ථික දර්ශනයයි.

නවසිය තිස් ගණන්වල ඇති වූ ලෝක ආර්ථික අර්බුදයට පිළියම් ලෙස කේන්ස් ඉදිරිපත් කළේ රජය වියදම් කරමින් ආර්ථිකය ගොඩගත යුතු බවයි. ඔහු කීවේ අගලක් කැපීමට ජනතාව යොදවා එයට ගෙවීම් කරන්න. ඉන්පසුව එය වහන්න ජනතාව යොදවා ගෙවන්න. එවිට එම මුදලින් මහජනයා භාණ්ඩ මිලදී ගන්නා බවත් එම ක්‍රමයෙන් භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ ගොස් නිෂ්පාදනය ඉහළ යන බවත්ය. අර්බුද කාලවලට පමණක් නොව සාමාන්‍ය ආර්ථික කළමනාකරණය සඳහාද ඔහු මේ ක්‍රමය නිර්දේශ කළේය.

කේන්ස්ගේ අදහස වූයේ රජය ණයට ගෙන වියදම් කිරීමෙන් ආර්ථික සංවර්ධනය ඇති කළ හැකි බවයි. ඔහු කීවේ රටකට වඩා යහපත් වන්නේ නොපිය වූ අය වැය බවයි. රජය ණයට ගෙන වියදම් කිරීම බවයි. එනම් රටේ සමස්ත ඉල්ලුම ඉහළ දැමීමෙන් ඇතිකරන ආර්ථික සංවර්ධනයකට පදනම් දැමීමයි.

පසුකාලීනව ලෝකයේ ප්‍රධාන ආර්ථික විද්‍යා විවාදය සිදුවන්නේ මෙම මතවාදී ප්‍රවාහයන් දෙක අතරය. එනම් කේන්ස්වාදය හා හායෙක් වාදය නැතහොත් නව ලිබරල්වාදය අතරය. නව ලිබරල්වාදීන් කියන්නේ කේන්ස්වාදි ක්‍රම ප්‍රශ්නයට සැබෑ විසඳුමක් නොවන බවයි. දිගුකාලීන හා ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජය ආර්ථික කටයුතුවලින් හැකිතාක් නිදහස් විය යුතු බවයි.

නව ලිබරල්වාදීන් කියන්නේ සැලසුම්කරණයකින් තොර විය යුතු බව නොවේ. ඔවුන් කියන්නේ සියලු ජනයා ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන ස්වයං සිද්ධ සැලසුම් කරණයක් වෙළෙඳ පොළ ක්‍රමය තුළ ඇති බවයි. ඔවුන්ට අනුව ඉල්ලුම, සැපයුම, මිල ආදිය තොරතුරු හුවමාරුවක් බවයි. මහජනයා විවිධ භාණ්ඩ තෝරාගෙන මිලදී ගත් විට එම භාණ්ඩවලට ඉල්ලුම නිර්මාණය වන බවයි. එවිට තව කෙනෙක් එය නිෂ්පාදනය කිරීමට පෙළඹෙන බවයි.

ස්වයංසිද්ධ සැලසුම්කරණය මෙහි ප්‍රධාන අදහසකි. එයින් කියැවෙන්නේ මිනිස් සමාජයේ බොහෝ දේ සිදුවන්නේ එම ක්‍රමය අනුව බවය. අපේ භාෂා සැලසුම් කළේ කවුද? මධ්‍යගත කණ්ඩායමක්ද? විශේෂඥ පිරිසක්ද? නැතහොත් ජන කණ්ඩායම් ස්වයං සිද්ධ ලෙස සම්බන්ධ වෙමින් දැයි ඔවුහු ප්‍රශ්න කරති. සංස්කෘතිය, සිරිත් විරිත්, කලාව, සංගීතය මේ සියල්ල ස්වයං සිද්ධ සැලසුම්කරණයේ ප්‍රතිඵල වෙයි. එහිදී මිනිසුන්ට නිර්මාණකරණයේ අවස්ථාවද නිදහසද හිමිවෙයි.

නව ලිබරල්වාදීන් ප්‍රශ්න කරන්නේ මෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් නිර්මාණාත්මක ක්‍රමයක් තිබියදී, අකාර්යක්ෂම, දූෂිත හා පීඩාකාරී රාජ්‍ය මැදිහත්වීම් යොදාගත්තේ ඇයි? යනුවෙනි.

බොහෝ වාමාංශිකයෝ සිතන්නේ බටහිර රටවල් නව ලිබරල්වාදය හිස් මුදුනින් වැලඳගෙන ක්‍රියාත්මක කරන බවයි. එයද වැරදි අදහසකි. අමෙරිකාවේ අදත් විශාල රාජ්‍ය අංශයක් ක්‍රියාත්මකය. දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට හතළිහක් වියදම් කරන්නේ රජයයි. අනෙක් රටවලද තත්ත්වය එබඳුය. එම නිසා නව ලිබරල්වාදී ආර්ථික විද්‍යාඥයන්ට කරන්නට සිදුව තිබෙන්නේ දිගු මතවදී සටනකි.

ඕනෑම රටක දේශපාලනඥයන්ටත්, ජනතාවටත් අවශ්‍ය වන්නේ ඉක්මන් ප්‍රතිඵලය. එමෙන්ම රජය විශාල ලෙස පවත්වාගෙන යාමත්, රජයෙන් විශාල වියදමක් කිරීමත් දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයකි. එමෙන්ම වසර පහක හෝ හයක ඡන්ද චක්‍රය තුළ ප්‍රතිඵල පෙන්වීම අවශ්‍යය. ජනතාවත් බලා සිටින්නේ රජය කරන වැඩ ගැනයි. ඒ නිසා දේශපාලනඥයන්ටත්, ජනතාවටත් වඩා ආකර්ෂණීය වන්නේ කේන්ස්වාදී ක්‍රමයයි. නව ලිබරල්වාදී ක්‍රමයකින් ප්‍රතිඵල ගැනීමට කාලයක් ගතවන අතර කෙටිකාලීනව පීඩාකාරී තත්ත්වයන්ද ඇතිවෙයි.

සමාජ වෙළෙඳ පොළ ක්‍රමය

ජේ. ආර්. නව ලිබරල්වාදියෙකැයි වාමාංශිකයෝ කියති. ඒ ඔහු විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන් නිසාය. රාජ්‍ය අංශයේ ආයතන පෞද්ගලිකකරණය කළ නිසාය. එසේ වුවද ජේ. ආර්. ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කළ මහවැලි ව්‍යාපාරය, කෝට්ටේ අගනුවර කිරීමේ ව්‍යාපෘතිය ආදිය සැලකිය හැක්කේ කේන්ස්වාදී ව්‍යාපෘති වශයෙනි. එමෙන්ම එම ආණ්ඩුවද කළේ ලෝකයෙන් ණය ගෙන වියදම් කිරීමයි. එයද කේන්සියානු දර්ශනයට එකඟය.

මහ බැංකුවේ හිටපු අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පසුගියදා ලියූ ලිපියක පෙන්වා දී ඇත්තේ අතිරික්තයක් ඇති අය වැය ඉදිරිපත් කළ මේ රටේ සිටි එකම එක මුදල් ඇමැතිවරයා එම්. ඩී. එච්. ජයවර්ධන මහතා බවයි. ඔහු ඉදිරිපත් කළ 1954 හා 55 අය වැය දෙකම අතිරික්ත පෙන්නුම් කළ අය වැය බවයි. අනෙක් හැම මුදල් ඇමැතිවරයකුම කළේ නොපිය වූ අය වැය ඉදිරිපත් කිරීමයි.

රජය ආර්ථික ක්‍රියාවලියට මැදිහත් වුවද වෙළෙඳ පොළ ක්‍රියාවලිය පාලනය කිරීම කේන්ස්වාදය තුළද අනුමත නොකරන බවද තේරුම්ගත යුතු ය. එම මැදිහත්වීමද සීමාසහිත විය යුතුය. වත්මන් රජය ප්‍රකාශ කොට ඇත්තේ සංවර්ධනයේ වෙනත් මාවතකි. එක්තරා මැද මාවතකි. එනම් සමාජ වෙළෙඳපොළ ආර්ථිකය යන්නයි. එනම් වෙළෙඳ පොළ ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතරම එහි ප්‍රතිලාභ ලබාගත හැකිවන ලෙස මහජනයා ශක්තිමත් කිරීමයි. එමෙන්ම මහජනයාගේ අමාරු අවස්ථාවල පිහිටවීමයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ සඳහා වූ ප්‍රධාන ව්‍යාපෘතියකි. එමෙන්ම දහතුන් වසරක අනිවාර්ය අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව වැනි ක්‍රම මඟින් මහජනයා සවිබල ගැන්වීම සිදුවෙයි. ස්වභාවික විපත්වලට එරෙහිව දැන් මෙරට සියලු ජනයාට ලක්ෂ දහයක රක්ෂණයක් හිමිය. ධීවරයෙක් මියගියවිට 2015 ට පෙර ගෙව්වේ රුපියල් දස දහසකි. දැන් ලක්ෂ දහයකි. පාසල් සිසුන්ට සෞඛ්‍ය රක්ෂණයත්, කෘෂි භෝග හතරකට රක්ෂණ ක්‍රම ලබාදී ඇත. මේ සියල්ල රජයේ වියදමිනි. ආණ්ඩුව මෙබඳු තව බොහෝ දේ සිදුකොට ඇත. සමාජ වෙළෙඳ පොළ ක්‍රමයක් කියන්නේ ඒකය. ඒ සියල්ල වසන්කොට ලිබරල් ලේබලයක් අලවන්නට යෑම වංචනික ක්‍රියාවක් මෙන්ම තක්කඩිකමකි.

 


නව අදහස දක්වන්න