මං මගේ චූටි කෙල්ල මැරුවේ නැහැ | දිනමිණ

මං මගේ චූටි කෙල්ල මැරුවේ නැහැ

උතුරු අයර්ලන්තයේ උඩන්ගනොත් රාජකීය අධිකරණය එදා අතුරු සිදුරු නැතිව පිරී තිබුණේ එදින විශේෂිත වූ නඩු විභාගයක් පැවති නිසයි. විත්ති කූඩුවේ සිටියේ සුරූපී ළඳක්. ඇය සාක්කි දුන්නේ කඳුළු වගුරුවමින්. දිනය 2009 වසරේ නොවැම්බර් මස තුන් වැනිදා.

“ නැහැ විනිසුරුතුමනි මං එය කළේ නැහැ. මං මෙහෙම වෙයි කියා කවදාවත් හිතුවේ නැහැ.”
විත්ති කූඩුවේ සිටි රේචල් පැවසුවා.

රේචල් ලස්සනයි. තරුණයි. ඒ හින්දාම ඇයට තරුණයන්ගේ බැල්ම නොඅඩුවම ලැබුණා. ඒ නිසා මැක්ස්ගේ පෙම් හී සර පහරට රේචල් ලක් වුණේ වැඩි කල් නොගොසින්. දෙදෙනාගේ ආදර සිහිනය කිසිම බාධාවක් නැතිව ගලා ගියා. අන්තිමට එහි ප්‍රතිඵලය වූයේ රේචල් මවක් වීමේ ලකුණු පහළ වීමයි. මවක් වීමේ සිහිනයට රේචල් පෙරුම් පිරුවත් මැක්ස්ට ඒ සිහිනය සැබෑ කරගන්න උවමනාවක් තිබුණේ නෑ.

ඒ නිසාම ඔහු රේචල් මඟ හැරියා. අන්තිමේදී ඇය සියල්ල අත්හැර මව පදිංචිව සිටින කේෂ් ලා ආවේ අම්මාගේ ආධාරය ඇතිව දරුවා හදාගන්නවා යන අධිෂ්ඨානයෙන්. මව මාගරට් ඒ වෙද්දී ඇගේ පළමු විවාහයෙන් සමුගෙන දෙවැනි සැමියා ග්‍රැහැම් සමඟ කේෂ් හි ජීවත් වුණා. රේචල්ගේ මව සහ සුළු පියා ඇය බාර ගත්තේ ඉතා කැමැත්තෙන්. ඒ වගේම ආදරයෙන්.

තිදෙනාම රේචල්ගේ දරු උපත සිදු වෙනකම් බලා සිටියේ හරිම ආශාවෙන්. ඔවුන්ගේ පැතුම් ඉටු කරමින් රේචල්ට ලස්සන හුරු බුහුටි දූ සිඟිත්තක් ලැබුණා. අයර්ලන්තයේ අර්නේ රෝහලේදී 2008 සැප්තැම්බර් 05 වැනිදා උපත ලද මේ දියණියට රේචල් නම් තැබුවේ මිලී ලෙසයි.

මිලී දියණිය ලැබුණු දා රේචල්ගේ මවටත් සුළු පියාටත් හරිම සතුටුයි. ඔවුන් දියණියත් මිණිබිරියත් සිය නිවෙසට කැඳවාගෙන ගියා. එතැන් පටන් ඔවුන් තිදෙනාගේම ලෝකය වූයේ මිලී දියණියයි. සිඟිත්තියගේ සුරතල් බලන්න මාග්‍රට් සහ ග්‍රැහැම් හරිම ආසයි.

රේචල්ට යළිත් රැකියාවක් ලැබුණේ මේ අතරේ... එවිට චූටි දියණියට වයස මාස හතරයි. රැකියාව නිසා රේචල් චූටි දුවත් සමඟ එනිස්කිලේන් පදිංචියට ගියා. රේචල්ට එහිදී නිතරම ඇගේ පියා මුණගැසුණා. සිය පළමු සැමියාගෙන් දික්කසාද වුවද රේචල්ගේ මවත් සුළු පියාත් නිතරම රේචල්ගේ පියා ඇසුරු කළා. රේචල්ට බැරී මුණ ගැසුණේ ඇගේ පියාගේ නිවසේ තිබූ සාදයකදී.

ටිරෝන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ බැරී, රේචල්ගේ පියාගේ නෑදෑයෙක්. ඔහු නෑකමින් රේචල්ට ඥාති සහෝදරයෙක් වෙනවා. රේචල් සහ බැරී අතර ඇති වූ මිතුරු දමට ඇගේ පියාත් අනුබල දුන්නා. මේ මිතුරුදම පෙම් සබඳතාවකට මුල පිරුවේ ඉතා ඉක්මනින්. ඒ සබඳතාව කොතෙක් දුරදිග ගියාද කිවහොත් රේචල් සිය මවටයි සුළු පියාටයි ඉක්මනින්ම බැරී හඳුන්වා දුන්නා.

වැඩිකල් නොගොසින්ම රේචල්ට බැරී නොදැක ඉන්න බැරි වුණා. බැරීටත් එලෙසමයි. මෙහි ප්‍රතිඵලය වුණේ ඔහු ඉක්මනින්ම රේචල්ගේ ග්ලෙබේ පාර්ක් ප්‍රදේශයේ නිවෙසට පදිංචියට පැමිණීමයි. මේ වෙද්දී මිලීට අවුරුද්දයි. හොඳ ලස්සනට හුරු බුහුටියට සිටින මිලීට කවුරුත් ආදරෙයි.

රජයෙන් පත් කරපු ළමා සෞඛ්‍ය නිලධාරීන් නිතරම පැවසුවේ මිලී සිඟිත්තිය හොඳ සෞඛ්‍ය සම්පන්න දැරියක බවයි. මිලීගේ පළමු වැනි උපන්දින සාදයට රේචල්ගේ මව, පියා, සුළු පියා ඇතුළු හිතමිතුරන් සහභාගී වුණා.රේචල්ගේ අලුත් පෙම්වතා බැරී එදා ඇගේ පවුලේ සියලු දෙනාටම හඳුන්වාදෙනු ලැබුවා. 

ඒ 2009 ඔක්තෝම්බර් මාසයේ දිනයක්. එදා රේචල් අසල්වැසියකුගේ අවමඟුලකට සහභාගි වුණේ මිලී දියණියත් සමඟයි. අවමඟුලට සහභාගී වූ සමහරු මිලීටත් වදනක් දෙඩීමට අමතක කළේ නෑ. රොසානාත් රේචලුත් අසල්වැසි මිතුරියන්. රොසානා එදා මිලී සුරතල් කළා. එලෙස මිලී අතපත ගාද්දී මිලීගේ කනක් රතු වෙලා තියෙනවා රොසානා දැක්කා. එහෙත් ඇය ඒ ගැන එතරම් දුරට සිතුවේ නැහැ.

දවසක් මිලීට හොඳටම සනීප නැහැ. ඇය පවුලේ වෛද්‍යවරයා වෙත රැගෙන ගියේ සෙම අමාරුවට ප්‍රතිකාර ගැනීමටයි. මිලීගේ රතුව තිබූ කන වෛද්‍යවරයාගේ අවධානයට ලක් වුවත් රේචල් ඒ ගැන යමක් නොකී නිසා ඔහු නිහඬව සෙම් අමාරුවට පමණක් ප්‍රතිකාර කළා. රේචල් රැකියාවට ගිය විටත් ගෙදර දොර වැඩවල යෙදී සිටියදීත් මිලී බලා කියාගත්තේ බැරී. රේචල්ට පෙනුණු විදියට නම් ඔහු මිලීට හරිම ආදරෙන් සැලකුවා. දවසක රේචල් සේවය නිමවී නිවෙසට එද්දී මිලී සිටියේ හඬමින්.

“ මමී.... මමී... මමී....” රේචල් දුටු ගමන්ම මිලීගේ හැඬුම් තවත් වැඩි වුණා. දුව වඩා ගනිද්දී දුටු දෙයින් බියපත් වූ රේචල් බැරීගෙන් ප්‍රශ්න කළා.
“ බැරී... දුවගේ නළල තුවාල වුණේ කොහොමද ?”
“ එයා කොට් එකේ නළල වද්ද ගත්තා.” බැරී පිළිතුරු දුන්නා.
බැරී කී දෙය පිළිගත් රේචල් කළේ කොට් එක හොඳට පෙනෙන සේ කාමරය මැද්දට ඇදීමයි. එහෙත් ඉන්ද මිලීගේ හිස තුවාල වීම නතර වුණේ නැහැ. කොට් එක කාමරය මැදට ඇද සති කිහිපයක් ගත වුණත් දිනක් මිලීගේ නළලේ මැද විශාල ගෙඩි ගැසීමක් ඇති වී තිබුණා.
බැරී මෙතරම් ආදරයෙන් මිලී බලාගනිද්දීත් ඇගේ හිසේ මේ ආකාරයට තුවාල ඇති වීම රේචල්ට ප්‍රශ්නයක්. ඒ ගැන විමසද්දී බැරී දුන්නේ අදහාගත නොහැකි පිළිතුරක්.
“ මිලීට තුවාල කරන්නේ භූතයෙක් වෙන්න ඇති.”
එක මාසයක පමණක් මිලී මේ ආකාරයට එකොළොස් වතාවක් පමණ තුවාල ලැබුවා.
ඉන් අනතුරුව මිලී ඇය උපන් අර්නේ රෝහලට ඇතුළු කෙරුණේ ඇඟිල්ලක් තදබල ලෙස පිලිස්සීම නිසයි.
“ මෙයාගෛ් ඇඟිල්ල පිච්චුණේ කොහොමද? ඔබ එතැන සිටියේ නැද්ද ?”
“ නැහැ.. ඒ වෙලාවේ හිටියේ නාන කාමරේ... බැරී මට කිව්වේ දුව ඉටිපන්දමකට ඇඟිල්ල ඇල්ලුවා කියලයි...”

එදින රෝහලෙන් කළ ප්‍රශ්න කිරීම් එතැනින් නිම වුණද දැරියගේ ඇඟිල්ල පිලිස්සුණේ විදුලි උඳුනක රත් වූ තැටියට ඇඟිල්ල තැබීමෙන් බව හෙළි වුණා. මින් දින කීපයකට පසු රේචල්ට යළිත් මිලී කැටුව රෝහලට යාමට සිදු වුණේ ඇඟිල්ලේ තුවාලය වැඩි වූ නිසයි. එදින මිලීට කුඩා සැත්කමක් කළා.

එදින සවස මිලී සිටියේ තරමක අසනීප තත්ත්වයෙන්. ඇය නිතරම නිදිමත ස්වභාවයකින් සිටියා. බැරී පැවසුවේ මිලී ඇස් අරින්නේ නැති බවයි. එහෙත් රේචල් පැවසුවේ ඒ කතාව සත්‍යයක් නොවන බවයි. එදා උදේ බැරී සුපුරුදු ලෙස වැඩට ගිය දවසක්. එහෙත් අසනීප නිසා ඔහු නිවෙසට ආවා. මිලී බලා ගැනීමට ඔහු කැමැත්තෙන්ම බාර ගත්තා.

එහෙත් මිලීගේ තත්ත්වය හොඳ නැහැ. වෙනදා තියෙන දඟකාර සිනහව ඇගේ මුවින් ගිලිහිලා. ඔහේ වැටුණු තැන වැතිර ඉන්නවා. බියපත් වූ රේචල් කළේ වහාම දියණිය සිය මවගේ නිවසට රැගෙන යාමයි. මින් පෙර මිලී මෙතරම් අසනීප වී සිටිනු දැක නැති ඔවුන් හඬා වැළපුණා. දියණියට ප්‍රතිකාර රැගෙන ඔවුන් යළිත් නිවෙසට ආවා.

මිලීට යළිත් වරක් අසනීප වුණා. අමාරුවෙන් දියණිය නිදිකරවා කොට් එකේ තැබූ රේචල් පාරට ගියේ ඇයට දීමට චොක්ලට් පෙත්තක් රැගෙන ඒමටයි. මිලී බලා ගැනීමට බැරී නිවසේ සිටියා.
රේචල් සාප්පු ගොස් සිටින අතරවාරයේ ඇයට පණිවුඩයක් ලැබුණේ මිලී දැඩිලෙස රෝගාතුර වී රෝහල් ගත කර ඇති බව කියමින්. ඇය වහාම රෝහලට දිව ගියා. එතැන සිටියේ බැරීයි.
“ මිලී ඇස් අරින්නේ නැතිව හුස්ම ගන්නෙ නැතිව හිටියා. මම එයාව රෝහලට අරන් ආවා.”

බැරී පැවසුවා. පුංචි මිලී දැරිය පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන් පුදුමයට පත් වුණා. ඇගේ ශරීරය පුරාම තැලුම් තුවාල. ඒ වනවිටත් ඇගේ ඉල ඇට එකොළහක් කැඩී තිබුණා.
“ මේ පුංචි දැරිය ඇගේ වයසට දරන්න බැරි තරම් වධ හිංසා විඳලා. දරුණු ලෙස අපහරණයට ලක් වෙලා.” වෛද්‍යවරුන් පැවසුවා.

රාජකීය රෝහලේ වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළත් පසුදා සැවොම අතහැර මිල දෑස් පියා ගත්තේ රෝහලේ කාගේත් නෙතඟට කඳුළක් එක් කරමින්.
මිලීගේ මරණය ගැන වහාම පරීක්ෂණ ආරම්භ වුණා. මේ පුංචි කෙල්ලට දී තිබූ වධ හිංසා ගැන පොලිසිය මුලින්ම සැක කළේ බැරීවයි. බැරී අත්අඩංගුවට පත් වුණා.

මිලී ප්‍රථමයෙන් රෝහලට රැගෙන ආවේ ඔහු නිසා පොලිසිය මුලින්ම ඇය ඇතුළත් කළ අර්නේ රෝහලෙන් තොරතුරු විමසුවා. අර්නේ රෝහලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කරද්දී දක්නට තිබුණේ බැරී දැරිය වඩාගෙන රෝහලට දුවගෙන එන අන්දමයි.

“ ඔහු දැරිය හරහට වඩාගෙන ඔහුගේ මුවින් ඇයට කෘත්‍රිම ශ්වසනය දෙමින් රැගෙන ආ බවක් පෙනුණා.”

පොලිසිය පැවසුවා. එසේ වුවත් මේ සියල්ලේ තිබූ භයානක තත්ත්වය හෙළි කර ගැනීමට පොලිසියට වැඩි කලක් ගත වූණේ නෑ. මිය යද්දී මිලීට මාස 15 යි. බැරී ඔවුන්ගේ ජීවිතයට එක් වී මාස 03 ක් ගත වී තිබුණා.

ඒ ගත වූ තෙමසක කාලයේදී ඔහු ඉතා දරුණු ලෙස දැරිය දැඩි ලෙස අපහරණයට ලක් කර තිබුණේ ඇගේ මවට සිතිවිල්ලකින්වත් නොදැනෙන ආකාරයට ඇයට කර තිබූ ඉතා අමානුෂික වධ හිංසා සියල්ල ස්වභාවිකව සිදු වූ අනතුරු ලෙස ඔහු රේචල්ට අඟවා තිබුණා. කෙසේ වුවත් ප්‍රදේශයේ ළමා සෞඛ්‍ය නිලධාරින්ටත් මේ සියල්ල ඇස නොගැසීම ප්‍රශ්නයක් වුණා.

මිලීගේ කැඩුණු ඉළ ඇට අතරින් හතක් කැඩී ඇත්තේ ඇගේ මරණය සිදුවීමට දින 10 කට පමණ පෙර බවද අනාවරණය වුණා. ඇගේ යටි බඩට ද ඉතා දරුණු ලෙස තුවාල සිදුවී තිබුණා.
මවගේ ඇසකට නොපෙනී දරුවකුට මෙලෙස වධ හිංසා සිදුවිය නොහැකි නිසා බලධාරීන් රේචල්ට මිලීගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා. එහෙත් බැරී පැවසුවේ මේ කිසිවක් තමන් නොදන්නා බවක්.
“ මේ සියල්ල කළේ රේචල්. මිලීට වධ හිංසා කළේ ඇගේම මවයි.” බැරී පැවසුවේ එලෙසයි.

රේචල්ට එසේ චෝදනා කළ බැරී තම නීතිඥවරුන් නොමැතිව ඉන්පසු වදනක්වත් කතා කළේ නැහැ. එහෙත් මිලීට වධ හිංසා පැමිණුවේ කවුරුන්දැයි කෙළින්ම චෝදනා කිරීමට තරම් මරණ පරීක්ෂණ සාක්ෂි තිබුණේ නැහැ. එසේ වුවත් නඩු විභාගයේදී ජූරිය බැරී පවසන දේ බැහැර කරමින් අමනුෂ්‍යයෙක් සිය නිවෙසට වැද්ද ගැනීම ගැන රේචල්ට චෝදනා එල්ල කළා.

දස දිනක් තිස්සේ පැවැති නඩු විභාගයේදී රේචල් සාක්කි දුන්නේ අදහාගත නොහැකි අන්දමේ ශෝකයෙනි. ඇය සාක්කි කූඩුවේ සිට හඬා වැළපුණා.
“ මට මගේ මුළු ජීවිතයම ගත කරන්න වෙන්නේ මේ දුකත් සමඟයි. මට මගේ දුවට වෙච්ච දේ දරාගන්න බැහැ. එය මේ ලෝකේ කිසිම දරුවකුට සිදුවෙන්නෙ එපා.” රේචල් හඬමින් පැවසුවා.
නීතිඥයන් බැරී පිළිබඳ විමසද්දී රේචල් කෝපයෙන් පිළිතුරු දුන්නා.

“ මා ඉතා භයානක සිහිනයක ගිලී සිට ඉන් අවදි වුණා. මෙලොව සිටින පිළිකුල් සහගත අමානුෂ්‍යයකුට හැර වෙනත් කාටවත් මෙවැනි අපරාධයක් කළ නොහැකිය.”
සිය දියණිය හඬා වැළපුණු අන්දම සිහිපත් කරමින් වැළපුණු රේචල් සිය දියණිය හඬා වැටුණේ නිවෙසට යාමට ඇති අකමැත්ත නිසා යැයි සිතූ බව පැවසුවා.

“ මෙතැැන සිදුවන දේ මං දැනගත යුතුව තිබුණා. එහෙත් මට එය දැනුණේ නැහැ. ඒත් මෙය කළේ කවුද කියා මා දැන් දන්නවා. ඒ ඔහුයි...”

මිලීගේ ඝාතනය ඇතුළු වරද තුනකට වරදකරු වූ බැරී 2011 ජනවාරි මුල් සතියේ ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වුණා. තීන්දුව දීමට පෙර විනිසුරු පැය 3 ක් තිස්සේ ඒ ගැන කල්පනා කර තිබුණා. රේචල් සියලු චෝදනා වලින් නිදහස් කර තිබුණා.

(සේමාලි කැල්ලපත)

 

නව අදහස දක්වන්න