දුම්රිය ගාස්තුවේ වරදක් ඇත්නම් නිවැරැදි කරනවා | දිනමිණ


 

දුම්රිය ගාස්තුවේ වරදක් ඇත්නම් නිවැරැදි කරනවා

වැඩි වූ දුම්රිය ගාස්තුව රට තුළ මහත් ආන්දෝළනයක් ඇතිකර තිබේ. කලින් නිවේදනය කළ අනුපාතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ නංවා ඇති බවද සමහරු කියති. එකී තත්ත්වය ඇතුළුව ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු ගැනත්, දුම්රියේ, ගමනාගමන මණ්ඩලයේ, සිවිල් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය, ගැටලු සහ අනාගතය පිළිබඳත් අදහස් දක්වමින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැති හමුවට එක්වේ.

දුම්රිය ගාස්තු වැඩිවීම ගැන විවිධ චෝදනා එල්ලවෙනවා. ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය 15%ක් වුණත් 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් ගාස්තු වැඩිවෙලා නේද?

ගාස්තු වැඩිවීමේ ක්‍රමවේදය හදන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවෙන්. ඔවුන් කියන්නෙ මේ වැඩිවීම මේ ආකාරයෙන්ම වියයුතුයි කියල. ගාස්තු වැඩිවීමේදී යම් අසාධාරණයක් වෙලාද කියල පරීක්ෂණයක් කරන්න අමාත්‍යාංශ ලේකම්වරයට මම නියෝග කළා. යම් අසාධාරණයක් වෙලා තියෙනවනම් ඒක නිවැරදි කරන්න පියවර ගන්නවා.

ජීවන ගැටලුවක හිරවෙලා ඉන්න රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් මේ ගාස්තු වැඩිවීමත් එක්ක දැඩි පීඩනයකට ලක්වෙලා. මේ ගාස්තු වැඩිවීම මේ වෙලාවෙ නොකළ යුත්තක් හැටියටත් මත පළවෙනවා?

මම එහෙම හිතන්නෙ නැහැ. දුම්රිය ගාස්තුයි බස් ගාස්තුයි අතර ලොකු වෙනසක් තියෙනවා. දුම්රිය ගාස්තු අවුරුදු 08කින් වැඩිවුණේ නැහැ. බස් ගාස්තු හැම අවුරුද්දකම වැඩිකරනවා. දුම්රිය දුවන්නෙත් තෙල්වලින්, දුම්රිය වතුරෙන් දුවන්නෙ නැහැ. දුම්රිය සේවක පඩිනඩිත් වැඩිකළා. සීසන් ටිකට් කොච්චර ලාභද? දුම්රියෙ යන එක බස් එකේ යනවට වඩා 50%ක් තවමත් ලාබයි.

ඔබ කිව්ව වසර අටකින් දුම්රිය ගාස්තු වැඩිවුණේ නැහැ කියල. ඒත් දුම්රිය මඟීන් කියන්නෙ මීට වසර අටකට පෙර මඟීන්ට තිබුණු පහසුකම් ටිකවත් දැන් දුම්රියෙ නැහැ කියලයි?

ඒක මම පිළිගන්නෙ නැහැ. දැන් යාපනයෙ යන්න කොච්චර ලස්සන දුම්රියක් තියෙනවද? දුම්රියෙන් යන්න අවස්ථා ගණන වැඩිකරල තියෙන්නෙ. දුම්රියෙන් යන්න මගීන් කැමතියි දුම්රියෙ දියුණුවට විශාල වැඩකොටසක් අපි කළා. උඩරට දුම්රිය ධාවනයට අලුත් දුම්රිය දැම්මා. තවත් දුම්රිය මැදිරි 160ක් මිලදී ගන්න ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මකයි. තව අවුරුද්දක් යනකොට අපිට තව දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් ලැබෙනවා.

දුම්රිය ධාවනය නිසි තත්ත්වයක නැහැ. අඩුම තරමින් කාර්යාල දුම්රිය ටිකවත් නියමිත වෙලාවට ගමනාන්තයට ළඟාවෙන්නෙ නැහැ කියන චෝදනාව ගැන ඔබ මොකද කියන්නෙ?

ලංකාවෙ දුම්රියට වඩා එංගලන්තෙ දුම්රිය ගාස්තු කොච්චර වැඩි ද? තුට්ටුදෙකට අශ්වය අරගෙන හිතන තරම් උඩින් පන්නන්න බැහැ. අපේ දුම්රිය සේවය ඉතාම ලාභදායි. ඒ මුදලෙ හැටියට කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවෙ වෘත්තීය සමිති අරගල හින්ද තමයි ඔය කාර්යාල දුම්රිය හරියට එන්නෙ නැත්තෙ. ඔය වෘත්තීය සමිති අතර ප්‍රශ්න තියෙනවා. ඒව විසඳන්න අපි පුළුවන් තරම් උත්සාහ ගත්තා. මේ තියෙන වෘත්තීය සමිති සංස්කෘතිය එක්ක සේවා සපයනකොට අපහසුතා ඇතිවෙනවා. අලුත් දුම්රිය ගෙනාවත් වෘත්තීය සමිති සංස්කෘතිය වෙනස් වෙනතුරු ඕවට පිළියම් නැහැ.

ඔබ වෘත්තීය සමිතිවලට දොස් නැඟුවත් දුම්රිය වෘත්තීය සමිති කියන්නෙ ඔබ වෘත්තීය සමිති එක්ක කතාකරන්නෙ නැහැ කියලයි?

කවදද ලෑස්තිවෙලා නැත්තෙ? සාකච්ඡා කොච්චර දුන්නද? සාකච්ඡා සම්මන්ත්‍රණ මේව ඔක්කොම තියලත් ඒගොල්ලො ස්ට්‍රයික් කරනවනම්, මට ගිහිල්ල කෝච්චි එලවන්න බැහැනෙ. මට ගාඩ් කෙනෙක් වෙන්න බැහැනෙ. ඔය චෝදනාව මම පිළිගන්නෙ නැහැ.

අපහසුතාවන්ට පත්වෙන මගීන්ට සහනයක් වෙන්න, ඔබේ වැඩපිළිවෙළ මොකක් ද?

දුම්රියෙ තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රියදුරු ප්‍රශ්නය. මේ අමාත්‍යාංශය මම බාරගත්තට පස්සෙ දුම්රිය රියදුරන් 150ක් බඳවාගත්තා. රියදුරෙක් පුහුණුකරන්න අවුරුදු 4ක් යනවා. දැන් ඒ අය පුරුදු වෙනවා. ගාඩ්ල 200කට වැඩි සංඛ්‍යාවක්, දුම්රිය ස්ථානාධිපතිවරු 200කට වැඩි සංඛ්‍යාවක් ගත්තා. ප්‍රථම වතාවට තාක්ෂණික අංශයට ජර්මන්ටෙක්නිකල් එකෙන් පාස්වෙච්ච 180ක් ගත්තා. දුම්රිය සේවක උසස්වීම් දෙනවා. වෙන ඇමැතිවරු මොකද කළේ. කාන්තාවො දුම්රිය කම්කරුවො හැටියට ගත්තා. ඒ අයට සිල්බරකොටයක්, රේල් පීල්ලක්, ගල් තාච්චියක් උස්සගන්න බැහැ. නිකන් ඉන්නවා. මේ අය මට වැඩක් නැහැ. වෙනත් අමාත්‍යාංශවලට ගන්න කියල මම කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළා. ඒත් කිසිකෙනෙක් මේ අයව ගන්න ඉදිරිපත් වුණේ නැහැ. වැඩකරන්න පුළුවන් මිනිස්සු මට දෙන්නෙ නැතුව මම කොහොමද වැඩකරන්නෙ.

ඉන්දියාවෙන් ගෙන්නපු දුම්රිය බලවේග කට්ටල ඉතා කෙටිකාලයකදී අබලන් තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නෙ?

නැහැ... නැහැ... එහෙම වෙලා නැහැ. ඒක බොරුවක්.

ඔබ එහෙම කිව්වත් මගීන් කියන්නෙ...

නෑ... නෑ... මට ගිහින් පෙන්නන්නකො කොයි මැදිරි ද අබලන්වෙලා තියෙන්නෙ කියල.

ඉන්දියාවෙන් මෑතක ගෙන්වපු රතු පැහැ දුම්රිය...

නෑ... නෑ... දැන් අපි පාවිච්චි කරන්නෙ අවුරුදු 30කට ඉස්සර‍ ගෙන්වපු රුමේනියානු මැදිරි. අලුතින් ගෙනාපු දුම්රිය මැදිරි හොඳ තත්ත්වයෙ තියෙනවා.

දුම්රිය ස්ථාන නවීකරණය ඉතාම මන්දගාමී තත්ත්වයක තියෙන්නෙ. මේ නිසා මගීන් බොහෝ අපහසුතාවන්ට ලක්වෙනවා?

පර්ස් එකේ සල්ලි තියෙන හැටියට එපැයි බඩුගන්න. දුම්රියට ලැබෙන මුදල් ප්‍රමාණයෙ හැටියට තමයි ඒව කරන්නෙ. තුට්ටු දෙකට අපි දුවල මේව කරන්න ඕන. මෙහෙම දුවලත් අවුරුද්දකට මිලියන 6000ක් පාඩුයි. රජයේ අය-වැයෙන් අපිට දෙන මුදලින් මේව කරන්න ඕන. ඒහින්ද ප්‍රාතිහාර්යපාන්න අපිට පුළුවන් කමක් නැහැ.

දුම්රිය දෙපාර්තමේන්තුවෙ බිඳවැටීමක් තියෙනවා. විනයක් නැහැ. දුම්රිය අතරමග දාල යන තත්ත්වයට දුම්රිය දෙපාර්තමේන්තුව පත්වෙලා. මෙහෙම වුණේ ඇයි?

ඒක ඇත්ත. එහෙම වෙන්නෙ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හින්ද.

විදුලි දුම්රිය ගැන බොහොම කාලෙක ඉඳන් කතාවෙනවා. මෑතකත් මේ ගැන කතාවුණා. මේ දුම්රිය කවදද අපේ රටට එන්නෙ...?

විදුලි දුම්රි‍ය නෙවෙයි. සමහර ලයින් ඉලෙක්ට්‍රිසිටි කරල විදුලියෙන් දුවන්න කටයුතු කරන්නයි හදන්නෙ. දැනට ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර ලබාගෙන ශක්‍යතා අධ්‍යයනය කරනවා. මේව මේ දවසින් දෙකෙන් කොත්තුරොටි හදනව වගේ පැය දෙකෙන් තුනෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ශක්‍යතා අධ්‍යයනය කරන්න ඕන. ට්‍රැක් හදන්න ඕන. සිග්නල් සිස්ටම් වෙනස් කරන්න ඕන. මේව දන්නැති මිනිස්සු කයිවාරු ගහල කතා කළාට, විෂය ගැන දන්න අය මේ ගැන දන්නවා.

මේ විදුලි දුම්රිය කතාව එක්ක කොමිස් මුදල් කතාවකුත් කියවෙනවා. ඒ කතාවෙ ඇත්ත මොකක් ද?

ඒක මගෙ අමාත්‍යාංශයට අයිති නැහැ. ඒ ව්‍යාපෘතිය කරන්නෙ මගෙ අමාත්‍යාංශයෙන් නෙවෙයි.

සිවිල් ගුවන්සේවා අධිකාරියෙ වැඩි පිරිසක් විදෙස්ගත වෙන්නෙ ප්‍රදර්ශන, සැණකෙළි, සංදර්ශනවලටලු. මේ විදේශ සංචාරවලින් ලංකාවට ලැ‍බිච්ච දෙයක් නැහැ කියලයි කියන්නෙ?

සිවිල් ගුවන් සේවය ගැන නොදන්න මෝඩයො තමයි ඕව කියන්නෙ. අයිකාවෝ කියල සංවිධානයක් ලෝකයෙ තියෙනවා, මේ සංවිධාන‍ෙයන් රටක සිවිල් ගුවන් සේවාවේ ප්‍රමිතීන් නියම කරල තියෙනවා. ඒ ප්‍රමිතීන් අනුව අපේ නිලධාරීන් අවශ්‍ය පුහුණුව, අවශ්‍ය අත්දැකීම් ලබාගන්න ඕන. අයිකාවෝ එකට අනුව ගිය අවුරුද්දෙ අග්නිදිග ආසියාවේ පළවෙනිය වුණේ අපි. එහෙම කරන්න පුළුවන් වුණේ මේ පුහුණුවීම් හරහා නිලධාරින්ගෙ තාක්ෂණික හා වෘත්තීය මට්ටම ඉහළ නංවපු හින්දයි. ලංකාවෙ ඉඳන් ඒ අත්දැකීම් ලබාගන්න බැහැ.

විගණන වාර්තාවලින් කියන්නෙ ඔය කතාව නෙවෙයි. මේ පුහුණුවීම් ලබාගෙන තියෙන්නෙ අදාළ අංශවල අය නෙවෙයි. ඒ නිසා මේ පුහුණුවීම්වලින් ආයතනයට පලදායී ප්‍රතිලාභ ලබාගන්න බැරිවුණා කියලයි.

විගණනයෙන් කරන්න ඕන මුදල් අවභාවිතාවක් වුණානම්, මේ ආයතනයෙන් පිටරට යන අයගෙ ප්‍රමාණය වැඩියි. අයිකාවෝ නීතිරීති රෙගුලාසිවලට අනුව විදෙස් සම්මන්ත්‍රණ වැඩමුළුවලට අපි සහභාගීවෙලා නිලධාරීන්ගේ දැනුම වැඩිකරන්න ඕන.

මේ පුහුණුවීම්වලට යන්නෙ අදාළ වෘත්තීන්වල අය නෙවෙයි කියලත් චෝදනාවක් තියෙනවා?

නෑ... නෑ... ඒ... ඒ... ක්ෂේත්‍රවල අදාළ අය තමයි යවන්නෙ. තවමත් සිවිල් ගුවන්සේවාවේ නිපුණත්වයෙන් සමන්විත නිලධාරීන් අපිට නැහැ. ඒ හින්ද සභාපතිතුමාට තුන්වෙනි වතාවටත් සේවා දිගුවක් දුන්නා. එතුමගෙ සුදුසුකම්වලට අදාළ කෙනෙක් පිටරටින් ගෙනාවොත් රුපියල් මිලියන දෙකකට වැඩි පඩියක් දෙන්න ඕන. ලංකාවෙ අය අඩු පඩියකට රටට වැඩ කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕන.

ඔබ ඔය කියන කතාවට අදාළ චෝදනාවකුත් තියෙනවා. පසුපෙළක් හදන්නෙ නැතුව සේවා දිගු දෙමින් නිලධාරීන් තියාගෙන ඉන්නව කියලයි කියන්නෙ?

පසුපෙළක් හදන්න බැහැනෙ. ඔයැයි දන්නැහැනෙ පසුපෙළක් හදන්න තියෙන ප්‍රශ්න. ඔක්කොම මහ ලොකුවට කියනව පසුපෙළක් හැදුවෙ නැහැ කියල. හදන හදන මිනිහ පිටරට යනවා. මෙහෙ රුපියල් ලක්ෂයෙ පඩිය ගන්න කෙනාට පිටරට ගුවන් සේවාවෙ ලක්ෂ 25ක් පඩි හම්බවෙනවා. ඉතිං පසුපෙළක් හදන්න විදියක් නැහැ. මේක තමයි බුද්ධිගලනය. මේ සේවාවෙ බුද්ධිගලනය වැඩියි. ඒවට පිළිතුරු හොයන්න අමාරුයි.

මුදල් අමාත්‍යාංශය, වැටුප් කොමිසමේ නිර්දේශවත් නැතුව අඩුම තරමින් කැබිනට් අනුමැතියක්වත් නැතිව සිවිල් ගුවන්සේවාවෙ නිලධා‍රීන් 15 දෙනෙකුගෙ ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් වැඩිකරල තියෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඒ ගැන පැමිණිල්ලක් ආවොත් මට හොයල බලන්න පුළුවන් එහෙම වුණොත් වැරදිකරල තියෙන අයට දඬුවම් ලැබෙයි.

ගුවන්තොටුපළ සේවා සඳහා පුරප්පාඩු තිබියදීත් බඳවාගැනීම් කරන්නෙ නැහැ කියල චෝදනාවක් තියෙනවා?

වෙන ඇමැතිවරු වගේ දේශපාලන හෙංචයියො දාගෙන ආයතන පුරවන්න මම වැඩකරන්නෙ නැහැ. බොහොම අරපිරිමැස්මෙන් මම වැඩ කරන්නෙ. ගුවන්තොටුපළේ පිරිස අඩුයි කියල කිසිම පැමිණිල්ලක් අපිට නැහැ.

ලංකා ගමනාගමන මණ්ඩලය ඔබේ කාලයේ යම් ප්‍රගතියක් ලබන බව කියනවා. ඒ ගැන මොකද කියන්නෙ?

දසක දෙකකට විතර පස්සෙ ලංගම ලාභ ලබන්න පටන්ගත්තා. ඉස්සර ලංගම සේවකයන්ට නියම වෙලාවට පඩි දුන්නෙ නැහැ. දැන් අපි වෙලාවට පඩි ගෙවනවා. අර්ථසාධක, ප්‍රසාද දීමනා වෙලාවට ගෙවනවා. මිලියන 12ක් විතර වෙච්ච හිඟ අර්ථසාධකය අපි ගෙව්වා. දැන් ඩිපෝ ලාභ ලබනවා. වෙන ඇමැතිවරු වගේ අනවශ්‍ය විදියට ලංගමට මිනිස්සු රිංගවල මම ලංගම විනාශ කළේ නැහැ.

මේ තත්ත්වයට ලංගම ‍ගේන්න ඔබ මොකද ක‍ළේ?

වැඩක් නැතුව රස්තියාදුවෙමින් හිටපු වැඩිපුර සේවකයින් 3500ක් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම යටතේ දීමනා දීල අයින් කළා. පරිපාලනය ප්‍රතිසංස්කරණය කළා. ටිකට් වංචා නැති කරන්න මැෂින් දුන්නා. ඒත් තවමත් වංචා වෙනවා. මේ වංචා නැතිකරගත්තොත් තවත් ලාභ ලබන්න පුළුවන්.

වඩාත් හොඳ මහජන සේවාවක් සපයන්න ලංගමට ප්‍රමාණවත් බස් රථ නැහැ කියලත් කියනවා?

රාජ්‍ය අංශයෙ 40%යි පෞද්ගලික අංශයෙ 60%යි අපේ රටේ ගමනාගමන නිර්ණායකය මේක තමයි. වැඩිපුර බස් තියෙනවනම් වැඩි සේවාවක් අපිට දෙන්න පුළුවන්. අලුත් බස් ගන්න සල්ලි ඕනනෙ. දැන්නෙ ලාභ ලබන්න පටන්ගත්තෙ.

දුමින්ද සම්පත්
ඡායා - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න