ඔළුවිල් වරායේ වැලි ඉවත් කිරීමේ ස්ථීර විසඳුමකට | දිනමිණ

ඔළුවිල් වරායේ වැලි ඉවත් කිරීමේ ස්ථීර විසඳුමකට

ඇමැති මහින්දගෙන් සැලසුම් මාස තුනකින් ධීවර බෝට්ටු වරායට ඇතුළු කිරීමේ අවස්ථාව

ඔළුවිල් වරාය තුළ ගොඩගැසී ඇති වැලි ඉවත් කිරීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් ඉදිරි මාස 03ක් තුළ දී ක්‍රියාත්මක කර ධීවර බෝට්ටු වරාය තුළට ගැනීමට අවස්ථාවක් ලබා දීමට වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා සැලසුම් කර ඇත.

වරාය තුළ ගොඩගැසී ඇති වැලි ඉවත් කර ගන්නා ලෙස ධීවරයන් පවසන අතර, මේ වැලි ඉවත් නොකර වරාය වසා දමන ලෙසට ගම්වාසීහු ඉල්ලති.

මේ ප්‍රශ්නය විසඳීම පිණිස පසුගිය දා (03) ඔළුවිල් වරාය රැස්වීම් ශලාවේ දී වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ. මේ සාකච්ඡාව තරමක් උණුසුම් තත්ත්වයක් ගනු ලැබුවේ මේ දෙපාර්ශ්වය විසින් කළ යෝජනා අනුවය. තාවකාලික පියවරක් වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැලි ඉවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දියකොවුලා යාත්‍රාව ඔළුවිල් වරායට රැගෙනවිත් ඇති අතර, මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා ඉදිරි මාස 3 ඇතුළත ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව ඇමැතිවරයා මෙහි දී පැවැසීය.

මේ වරායේ වැලි ඉවත් කිරීමට සැලසුම් සකස් කර තිබූ අතර, පසුගිය මාසයේ දී පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ රැස්වීමෙන් පසු මැති ඇමැතිවරුන් විසින් කරනු ලැබූ ඉල්ලීම් නිසා මේ කටයුත්තට වහාම තාවකාලිකව විසඳුමක් ලබා දීමටත් ඉන් අනතුරුව මාස 4ක් ඇතුළත ස්ථීර විසඳුමක් ලබා දීමටත් සූදානම් කර ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

තාවකාලික යෝජනාවක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ධීවරයන් සහ ගම්වාසීන්ගේ විරෝධතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස රජයේ නිලධාරීන් සහ මේ පුද්ගලයන් ඇතුළත් කමිටුවක් පත් කර දින 2ක් ඇතුළත තමන්ට වාර්තා කරන ලෙස අට්ටාලචේන ප්‍රාදේශීය ලේකම් ජේ. ලියෝකට් අලි මහතාට ඇමැතිවරයා උපදෙස් දෙනු ලැබීය.

අමෙරිකන් ඩොලර් මිලියන 50ක් වැය ඉදි කරනු ලැබූ මේ වරාය වසා දමන්න බැහැ. එම ණය මුදල් තවමත් ගෙවනවා. මේ ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබා දී වරාය කාර්යක්ෂම බවට පත් කර වරාය අවට කර්මාන්ත ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින විදේශික ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකි ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකිවීම අරමුණ බව ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා,-‘ඔලුවිල් වරාය තුළ කියුබික් මීටර් මිලියන 2ක් වැලි ගොඩ ගැසී තිබෙනවා. මේ වරාය ඉදිකරනු ලැබූ ඩෙන්මාක්, ඩැනීඩා සමාගමට අපි මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් මේ වරාය සඳහා වැය කළ මුදලින් අඩක් එනම් යුරෝ මිලියන 42ක් (රු.මිලියන 3400) ලබා දීමට සූදානම් බවට කැමැත්ත පළ කළ ලිපියක් ලැබුණා. තාවකාලික විසඳුමක් ලබා දීමෙන් අනතුරුව ස්ථීර විසඳුම ඉදිරි මාස 4 තුළ දී ආරම්භ කරනවා. දිනපතා වැලි ඉවත් කිරීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට සූදානම්ව සිටින බව පැවැසීය.

 

දිගාමඩුල්ල සංචාරක
පියසේන වතුදුර

නව අදහස දක්වන්න