බුදුන් අනුදත් තිරසර සංවර්ධනය | දිනමිණ

බුදුන් අනුදත් තිරසර සංවර්ධනය

සංවර්ධනය යන්න අපට හුරු පුරුදු වචනයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙය නිර්මාණය කර ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා විශාල වෙහෙසක් සිදුකර තිබේ. මුල් අවධියේදී සංවර්ධනය යන පදයෙන් ඉදිරිපත් වූ අදහස් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගත්තේ ප්‍රගතිය, අභිවෘද්ධිය වැනි පදය. එසේම සංවර්ධනය යන සංකල්පය ආරම්භයේදී වැඩි වශයෙන් සම්බන්ධ වූයේ ආර්ථික විද්‍යාවටය. එය ජීව විද්‍යාවෙන් හා මනෝ විද්‍යාවෙන් ලබාගත් අදහසක් සේ සමහරු සලකති.

විද්‍යාත්මක දියුණුව නොතිබූ පැරණි ලෝකය සංවර්ධනය යනුවෙන් අර්ථ දක්වා ඇත්තේ අධ්‍යාත්මික දියුණුව බව පෙනේ. අධ්‍යාත්මික දියුණුව අර්ථවත් වූයේ ආගමික ඉගැන්වීම් මඟිනි. විද්‍යාත්මක දියුණුවත් සමඟ ඇති වූ කාර්මිකකරණය හා නාගරීකරණය හේතුවෙන් මිනිසුන් වඩාත් යහපත් ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීම සංවර්ධනය යන අදහසට එම අර්ථකථනයත් එක්වීමට හේතු විය. ඒ අනුව භෞතික සම්පත් වර්ධනය සංවර්ධනය ලෙස සලකන ලදී. මහාමාර්ග, ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර හා උපකරණ වර්ධනය වීම සංවර්ධනයේ ලක්ෂණයක් ලෙස සැලකීම ආරම්භ විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1960න් ඇරඹී දශකය ජගත් සංවර්ධන දශකය ලෙස නම් කළේය. මෙතැන් සිට සංවර්ධනය යන පදය ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට විය. එහි අරමුණ වූයේ රටක දළ ජාතික නිෂ්පාදිතය හා ඒකපුද්ගල ආදායම් වැඩි කිරීමයි. මෙයට අමතරව සංවර්ධනය විවිධ ආකෘතිද ඉදිරිපත් විය. තුන්වන ලෝකයේ සමහර රටවල් ධනවාදී රටාව අනුගමනය කළ අතර තවත් රටවල් සමාජවාදී ආකෘතියක් අනුගමනය කළහ. තවත් සමහර රටවල් ධනවාදී හා සමාජවාදී යන මිශ්‍ර ආර්ථික ක්‍රමයක් යොද ගත්හ.

1974 එක්සත් ජාතීන්ගේ කොකෝයෝක් ප්‍රකාශයට අනුව සංවර්ධනයට ආහාර, නිවාස, ඇඳුම් පැළදුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා අයිතිය, වෘත්තීය අයිතිය හා වෘත්තීය තුළ සෑහීමකට පත්වීම වැනි මූලික අයිතීන් අඩංගු විය යුතුය. මේ අනුව හැත්තෑව දශකයෙන් ඇරඹි දෙවන සංවර්ධන දශකයේදී ආර්ථික වර්ධනයට වැඩිමනක් දෙයක් සංවර්ධනයෙන් අපේක්ෂා කළේය. 1980 තුන්වෙනි දශකය තුළදී මානව වර්ධනය දෙසට යොමු විය. මෙයින් අදහස් කරන ලද්දේ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පහසුකම් වැඩි දියුණු කිරීම මගින් මිනිසුන්ට තමන්ට අවශ්‍ය සංවර්ධනය ළඟා කර ගතහැකි බවයි.

කෝපන්හේගන් නුවර 1995 මාර්තු මස පැවති සමාජ සංවර්ධනය පිළිබඳ ලෝක මහා සමුළුව සමාජ සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයකි.

විවිධ සංවර්ධන අරමුණු ඔස්සේ තම ඉලක්ක ළඟාකර ගැනීමට උත්සාහ කළද එයින් පාරිසරික ගැටලු රාශියක් නිර්මාණය විය. ඒ අනුව පාරිසරික ගැටලු සමුදායට පිළියමක් ලෙස තිරසර සංවර්ධනයක අවශ්‍යතාව ඉස්මතු විය. රටක තිරසර සංවර්ධනය යනුවෙන් අදහස් කරනුයේ හුදෙක් ආර්ථික දියුණුව පමණක් නොවේ. තිරසර සංවර්ධනය යනුවෙන් අදහස් වන්නේ ආර්ථික, සාමාජික, පාරිසරික, සෞඛ්‍ය හා ආධ්‍යාත්මික ආදී සෑම ක්ෂේත්‍රයක්ම ඇතුළත් වන සංවර්ධනයකි. පරිසරය හා සංවර්ධනය පිළිබඳව ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කළ දෙවන ලෝක සංරක්ෂණ ක්‍රමෝපායන් මගින් තිරසර සමාජයක පැවතිය යුතු මූලධර්ම 7ක් ඉදිරිපත්කොට ඇත. ඒවානම්,

1. ජීවීන් කෙරෙහි ගරුත්වයකින් සැලකීම

2. මානව ජීවිතයේ ගුණය වර්ධනය කර ගැනීම.

3. පෘථිවිතලයේ ජීව ගුණය හා විවිධත්වය සංරක්ෂණය කිරීම.

4. මිනිස් ක්‍රියාකාරම් පෘථිවියට දැරිය හැකි පමණට සීමා කිරීම.

5. මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම.

6. තමන් ජීවත්වන පරිසරය පිළිබඳව උනන්දුවීමට ඉඩකඩ ලබාදීම.

7. ලෝක සහයෝගිතා වැඩපිළිවෙළක් සකස් කිරීම යනුවෙනි.

මේ අනුව මිනිසා මූලික කරගෙන තිරසර සංවර්ධනය සිදුවිය යුතු බව පැහැදිලිය. එයින්ම තිරසර සංවර්ධනයේ බෞද්ධ දෘෂ්ඨිකෝණය පැහැදිලිය. බුදුදහමට අනුව පුද්ගල සංවර්ධනය මෙලොව හා පරලොව සුගතිය පිණිස විය යුතුය. එනම් බුදු සමයට අනුව තිරසර සංවර්ධනය ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ සාකච්ඡා කළ හැකිය. එනම්,

1. අභ්‍යන්තර තිරසර සංවර්ධනය

2. බාහිර තිරසර සංවර්ධනය යනුවෙනි.

මෙයින් පැහැදිලි වන කරුණක්නම් තිරසර සංවර්ධනයේදී ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ අවධානය යොමුකළ යුතුබවයි. මිනිසා හා සමාජය සදාචාරයෙන් පිරිහුණහොත් එහි කිසිවකුටත් වාසය කිරීම උගහටය. මිනිසා සදාචාරයෙන් පරිපූර්ණ නොකොට රටක් සංවර්ධනය කිරීම තුළින් සදාචාර සම්පන්න ජන සමාජයක් ඇති තිරසර සංවර්ධනයෙන් යුතු රටක් නිර්මාණය වන්නේ නැත. අපරාධ අවමවූ ශීලාචාර දැහැමි සමාජයක් ගොඩනැගීමට තිරසර අභ්‍යන්තර සංවර්ධනය අත්‍යාවශ්‍ය වේ. එය ආධ්‍යාත්මික පැතිකඩයි.

සමාජ සුභසාධන ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය ද ඉන් අපේක්ෂා කෙරේ. මෙහිදී බෞද්ධ තිරසර ආර්ථික සංවර්ධනය, බෞද්ධ තිරසර අධ්‍යාපන සංවර්ධනය, බෞද්ධ තිරසර සෞඛ්‍ය සංවර්ධනය සහ ‍බෞද්ධ තිරසර සමාජ සංවර්ධනය යනුවෙන් මුඛ්‍ය කරුණු 04ක් යටතේ සිදුවිය යුතුව ඇත.

බුදු සමයේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛ ස්ථානයක් හිමිව ඇත. මිනිසත්කමට හෝ ජීවී අජීවී පරිසරයට බාධා නොවන ලෙස ආර්ථිකමය දියුණුව ළඟාකර ගතයුතුය. තිරසර ආර්ථික සංවර්ධනයේදී සමාජයට හෝ පුද්ගලයාට විපත් නොවන අයුරින් ධනය ඉපැයීම කළ යුතුය. සාහසික නොවිය යුතුය.

බෞද්ධ තිරසර සංවර්ධනයේ වැදගත් පැතිකඩක් ලෙස තිරසර බෞද්ධ අධ්‍යාපන සංවර්ධනය හැඳින්විය හැකිය. තිරසර බෞද්ධ අධ්‍යාපනයේ මූලික කාර්යභාරය වනුයේ කෙලෙස් දහමින් අවුරා ඇති මිනිස් සිත හික්මවා බුද්ධි වර්ධනයට පත් කිරීමයි. මෙහිදී ගුරු ශිෂ්‍ය භූමිකාව ද වැදගත් කාර්ය කොටසක් ඉටුකරනු ලැබේ. රටේ සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත සැකසීමේ පූර්ණ වගකීම ගුරුවරයා සතු ප්‍රමුඛ වගකීමකි.

ඕමල්පේ සෝමානන්ද හිමි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න