ලුහු­බ­ඳින මිනි­සාගේ භූමි­කාව | දිනමිණ

ලුහු­බ­ඳින මිනි­සාගේ භූමි­කාව

එය, 70 දශකයේ මැද භාගයයි

බොරැල්ල නගරයත්, කෝට්ටේ පාරත් යාවන තැනට නුදුරින් ලොකු මිදුලක් ඇති, බැලූ බැල්මට පැරණි තාලේ නිවසක් සේ පෙනෙන අවන්හලකි. එය එකල විසූ ප්‍රකට හා නවක කලාකරුවන් නිතර යන එන තැනකි. එනිසාමදෝ 70 දශකයට පොදු දිළිඳු, දුක්බර, අඳුරු ස්වභාවය යම් තරමකට හෝ මැඬලමින් ප්‍රීතිමත්, උණුසුම් බවක් එතුළ දක්නට ලැබුණි.

එක් තැනක, සිරිලාල් කොඩිකාර තාලයට කියන සංස්කෘත ශ්ලෝකයක අර්ථය උස් හඬින් විවරණයෙහි යෙදෙන ටයි මහත්තයා (ටයිටස් ‍තොටවත්ත) ය. ඊට ඈතින් පොතක පිටු පෙරළන සයිමන් නවගත්තේගමය. තවත් මේසයක, පතිරාජ එල්. එස්. දයානන්ද, සොමී රත්නායක හා ජයසේකර අපොන්සු නාට්‍ය කතිකාවකය. ඔවුන් සැමගෙන් දුරස් තැනක ගුණසිරි සිල්වා, රනිල් ඇල්විටිගල, ජී. එල්. ආරියපාල, ටී. එන්. නිහිෂාන් වැනි නව පරපුරේ නි‍යෝජනයකි. මෙම පරිකල්පිත චිත්‍රයේම තැනක, සිහින්, උස, තළෙලු තරුණයෙක් හිඳ, මධුවිතක් තොලගාමින් සිටී. ඔහු නිහඬය. කල්පනාකාරීය.

එකල රජයේ මුද්‍රණාලයේ සෝදුපත් අංශයෙහි රැකියාවක යෙදුණු මෙම තරුණයා පුවත්පත් ලේඛකයෙක්, කෙටිකතාකරුවකු හා නාට්‍යකරුවකු ද වශයෙන් නමක් දිනාගෙන සිටියේ ය.

සාහිත්‍ය සමාජය තුළ, එක් සැණින් සිහියට නැ‍ඟෙන “විතාන’ලා තිදෙනෙකි. ඉන් දෙදෙනෙක්, ගුණසේන විතාන හා ජයවඩු විතානය. අනෙකා ආරියරත්න විතාන නම් වූ ඉහතකී තරුණයා ය. මිත්‍ර සමාජයෙහි කවුරුත් ඔහු ඇමතුවේ “ආරි” නමැති කෙටි නමිනි.

ආරි නොහොත් ආරියරත්න විතාන පිළිබඳව මෑතකදී පළ කෙරුණු කෘතියක් නම් කෙරු‍ණේ “ලුහුබඳින මිනිසා” යනුවෙනි. එය ඔහුගේ පුවත්පත් ලිපි එකතුවකි. තරුණ ලේඛකයකු වන ශක්තික සත්කුමාර විසින් සංස්කරණය කරන ලද එම කෘතියෙන්, මා ඉහතින් ගොඩනැඟූ 70 දශකයේ ‘අවන්හල් සිතුවම’ තුළ සිටි නිහඬ, කල්පනාකාරී කෙසඟ තරුණයාගේ කලා, සංස්කෘතික හා දේශපාලන දැක්මෙහිද පිළිබිඹුවක් මතු කෙරෙයි.

ශක්තික සත්කුමාර, තම සංඥාපනයෙහි ලා සඳහන් කරන අන්දමට, ආරියරත්න විතාන යනු සමාජ, ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික හා සංස්කෘතික ගැටලු ලුහුබැඳ ගිය දුලබ ගණයේ මිනිසෙකි.

ආරිගේ ලුහුබැඳීම ලේඛන කලාවටම සීමා නොවූ අතර, එය නාට්‍ය වේදිකාව හරහා සිනමාව තෙක්ම දිගුවුණි. ගොගොල්ගේ ‘විවාහය” (The Marriage) නාට්‍යයේ අනුවර්තනයක් ලෙසින් ඔහු අධ්‍යක්ෂණය කළ “මඟුල් හටන” 1973 ජාතික නාට්‍ය උළෙලෙහි අවසාන වටයටද තෝරා ගැනුණි. පසු කලෙක මෙම නාට්‍යය “සිකුරු යුද්දේ” නමින් නැවත නිෂ්පාදනය වුණි. ආරිගේ දෙවෙනි නාට්‍යය වූ ‘රං කූඩුව” නාගරික පැල්පත්වාසීන්ගේ ජීවිතය වටා ලියැවු‍ණකි. පසුව ආරි විසින්ම “සෙලිනාගේ වලව්ව” නමින් තිරනාටකයක් බවට පත් කරන ලද්දේද, මෙම නාටකයයි. එය රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තිරනාටක බැංකුව විසින් තෝරා ගැනුණු ප්‍රථම තිර නාටකයද විය. එහෙයින් එකල එයට විශාල ප්‍රචාරයක් ද ලැබුණි. “සෙලිනාගේ වලව්ව” අධ්‍යක්ෂණය කළේ පතිරාජ එල්. එස්. දයානන්දය. පතිරාජගේත්, ආරිගේත් යාළු මිත්‍රයෝ බොහෝ දෙනෙක් එහි ප්‍රධාන - අප්‍රධාන චරිත රංගනයට එක්වූහ. මමද එහි විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ සුළු චරිතයක් “රඟපාමින්”, “සිනමා නළුවකු” බවට පත්වීමි. එසේම එය මගේ ප්‍රථම හා අවසාන රංගනයද විය.

සමකාලීන සිංහල සිනමාව තුළ වෙනස් මඟක් ගත් තිර රචනයක් වූ “සෙලිනාගේ වලව්ව”, ජනප්‍රිය චිත්‍රපට ධාරාව තුළ හැලහැප්පීම්වලට ලක්ව යටපත් වුවද ලාංකීය සිනමාව හදාරන්නකු විසින් මඟනොහැරිය යුතු කලාත්මක නිර්මාණයකි.

මැදපෙරදිග රැකියාවකට යන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මුලින්ම අවධානය යොමු කළ නාට්‍යකරුවා ලෙසද ආරියරත්න විතාන හැඳින්විය හැක. ඔහුගේ “තෙල් දෝතක්” නාට්‍යයට තේමා වූයේ මැදපෙරදිගට “ගොදුරු” වන මිනිසුන්ගේ ශෝකාන්තයයි.

1976දී ශිෂ්‍යත්වයක් ලබා, සිනමාව පිළිබඳ ප්‍රායෝගික පාඨමාලාවක් හැදෑරීම පිණිස ජර්මනියට යන ආරි, එහිදී බාබල්ස්බර්ග් සිනමා පාසලට ඇතුළු විය. ආපසු ලංකාවට එන ආරි, “අතුරු මිතුරු” නමැති ළමා චිත්‍රපටය නිපදවීය. ඔහු ස්වීඩනයේදීද ළමා චිත්‍රපට පිළිබඳ කෙටිකාලීන අධ්‍යයනයක යෙදුණේය. එම හැදෑරීම් තුළින් ළමා චිත්‍රපටකරණය කෙරෙහි පෙළඹුණු ආරි 2003දී “ඉරැස්මා” නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය ක‍ෙළ්ය. එයට ඉතාලියේ “ප්‍රින්ස් ලියානාර්දෝ” සිනමා උළෙලෙහිදී කුසලතා සම්මානයක් හිමිවිය. චිත්‍රපට තිරනාටක හතරක් රචනා කර ඇති ආරි, වාර්තා චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ද වශයෙන් සිය හැකියාව ප්‍රදර්ශනය කොට ඇත. එහෙත්, ආරි නමැති සිනමාකරුවාට තවත් වැඩක් කළ හැකිව තිබුණත්, “ශ්‍රී ලාංකීය තත්ත්වයන්” ඔහුට හරස්වූ බව පැහැදිලිය. තවත් බොහෝ දෙනකුට ද එම ඉරණමම අත්විය.

ආරි නමැති කෙටිකතාකරුවා අපට හමුවන්නේ ඔහුගේ “කාවල්කාරයා” (1971) නමැති කතා එකතුව තුළිනි. ඉන්පසු ඔහු කෙටිකතා සංග්‍රහ දෙකක් පළ කළේය. ඔහුගේ දෙවෙනි කෙටිකතා එකතුව වූ “අවිගත් සමයක” පළවීමෙන්, තිස්එක් වසරකට පසු 2017දී “ප්‍රභාකරන් ඉන්නවා” නමින් තෙවෙනි කතා සංග්‍රහය පළවිය.

දිගු කලක් නිහඬව සිටියද, ආරි කෙටිකතාව අතහැරියේ නැත. ඔහුම පවසන අන්දමට කලාවේ සහ සාහිත්‍යයේ වෙනත් ඉසව්වල නියැළී සිටින අතරම සිතට එබිකම් කරන අත්දැකීම් හා වස්තු කොතැනක හෝ කුරුටුගා තැබීමේ පුරුද්දක් ඔහු තුළ විය. “ප්‍රභාකරන් ඉන්නවා” හි කතා බිහිවන්නේ එකී “කුරුටු ගෑම්” මසින් ලෙයින් පිරි, කාලීන ස්ඵන්දනයක් මුසු ජීවයක් ලබමිනි.

මෙම කතා සංග්‍රහයේ මුල්ම කතාව වන ‘සඳුන් සුවඳ’ ශ්‍රී ලංකාවෙ එක් දේශපාලන යුගයකට අප ගෙනයයි. වෙනත් නම් ගම්වලින් පෙනී සිටියද එහි එන චරිත 80 – 90 දශකයන්හි කලා ක්ෂේත්‍රයේ සිටියවුන් බව අපට වැටහී යයි. ඔවුන් හා බැඳි සිදුවීම් ද කතාවේ වස්තු බීජයද, එකල රහසක් නොවීය. එහෙත් කිසිවෙකු ඒවා ගැන ප්‍රසිද්ධියේ කතා කළේ නැත. දිගු කලකට පසු එම අත්දැකීම් සියතට ගන්නා ආරි, දේශපාලනික උත්ප්‍රාසයකින් පිරි අගනා කෙටිකතාවක් නිර්මාණය කරයි. කතාව ඇරඹෙන්නේ මෙසේ ය.

‘සැන්දෑවට රන්දෝලිය රොනට ඇදෙන මීමැස්සන්ගෙන් පිරෙයි. මී මැස්සන් තනි තනියෙන් ද, දෙතුන් දෙනා බැගින් ද එහි රොද බඳින්නට එන්නේ, අහල පහල ගුවන්විදුලියෙන්, පත්තර කන්තෝරුවලින් සහ රජයේ කන්තෝරුවලිනි. නාට්‍ය හා සිනමා සංගීතකාරයන්ද එතැනට එන බැවින් එය රසිකයනට ද ඔවුනොවුන් මුණගැසෙන අපූරු ආපනශාලාවකි. බාර් කීපර් විල්මන් හඳුන්වන අන්දමට එය කලාබරයන්ගේ ස්පොට් එකය.’

රන්දෝලියට එන සඳුන් අල්විස් මෙහි කතා නායකයාය. ඔහුට එහිදී මුණගැසෙන හිතමිතුරන් අතර, පුවත්පත් කලාවේදී ජයසීල, බෞද්ධ ගුවන්විදුලියේ මැණික්දිවෙල සහ වේදිකා නළු විමල් අරුණද වෙති. කතාව කියැවෙන දවසේ සඳුන් අල්විස්, තමාගේ පරණ ණයක්ද ගෙවා දමා කට්ටියටම සංග්‍රහ කරයි. වෘත්තියෙන් ලිපිකරුවෙකු වන සඳුන්, ගීත රචකයකු ලෙසද ප්‍රකටය. සාමාන්‍යයෙන් ඔහු අත මුදල් නැත. එහෙත් මේ දිනයේ ඔහු රන්දෝලියේ වෙස්සන්තර වී සිටී. එය කාගේත් පුදුමයටද හේතුවෙයි.

“අශ්වයො තුන්දෙනෙක් වැඩ කෙරුවා”

සඳුන් සිය මිතුරන්ගේ කුතුහලය සංසිඳුවයි. එහෙත් ගාණට රත්වෙද්දී, සැබෑ කතාව පිටතට එයි. ඔහුට ජනාධිපති මන්දිරයෙන් කොන්ත්‍රාත්තුවක් ලැබී ඇත. ඒ, දුටුගැමුණු ගැන ඓතිහාසික නවකතාවක් ලිවීමටය. ඒ සඳහා පනස්දාහක අත්තිකාරම් මුදලක් ද ලැබී ඇත.

ජනපති අණින්, රාජකාරි නිවාඩු ද ලබන සඳුන් අල්විස් තම මිතුරෙකුගේ නවාතැනට වී පොත ලියයි. මද කලකට පසු එය මුද්‍රණයෙන් පිටවෙයි. සඳුන්ටද පොතක් තිළිණ කෙරෙයි. “ගීත රචක සඳුන් අල්විස්ට කර්තෘගෙන් තිළිණයකි.” එයට යටින් “කර්තෘගේ අත්සනය. එයටත් යටින් ජනාධිපතිගේ නිල මුද්‍රාවය. සඳුන්ගේ යටි සිත “දරුවා උඹේ, උප්පැන්නෙ අනුන්ගේ” යැයි සරදම් කරයි.

කතාව අවසානය, උත්ප්‍රාසයෙන් පිරි නාටකීය අවස්ථාවකට පත්කිරීමට රචකයා සමත් වෙයි. ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම නවකතාකරුවා ලෙස සම්මානයට පාත්‍රවන්නේ ජනාධිපතිය. ඔහුට එය පිරිනමන ආරාධිතයා සඳුන් අල්විස්ය. සඳුන් වේදිකාවට ගොඩවෙද්දී, අත්පොළසන් නද ශාලාව පුරා ගිගුම් දෙයි. ඒ සමඟම ජනාධිපතිවරයා සම්මානය ලබද්දී “ශාලාවේ බිත්තිද, අවකාශයද, බඩු බාහිරාදිය ද, මිනිසුන් සමඟම පාෂාණභුතවී ගොළුවතක් රකින්නට වෙයි.”

“ප්‍රභාකරන් ඉන්නවා” කතාවෙහිදී ද, ආරි අප ගෙනයන්නේ ශ්‍රී ලාංකීය දේශපාලන වංශයේ එක් සුවිශේෂි අවස්ථාවකටය. ප්‍රභාකරන් මරා දමා ඇත. සිංහලකම හැම අගුපිලකින්ම පණ ගැහෙන්නට ගනී.

“ක්‍රිකට් ක්‍රීඩකයන් අඳින නිල්පාට ටීෂර්ට් ඇඳගත් තරුණ පිරිසක් ජාතික කොඩි වනමින් ත්‍රීවිලර් තුනක ගමන් කරති. සමහරු ත්‍රීවිලර් රාමු එක අතකින් අල්ලාගෙන අනිත් අතින් කොඩි වනති. එක ත්‍රීවිලරයකින් ඇසෙන්නේ මෝලම් හඬකි. එයට වශීවූ උක්කුංජි නමැති ගැහැනිය අත්පුඩි ගසන්නට පටන්ගනී. ජාතික කොඩි ලෙළදෙනු දකින සොත්ති සිරාගේ දෑස් දීප්තිමත් වෙයි.”

මේ කතාව තුළ, ජවනිකා කීපයක් වශයෙන් (ආරි තිරරචකයකු බව අප අමතක කළ යුතු නැත) ගොඩනැ‍ඟෙන්නේ සොත්ති සිරාගේ පංතියේ මිනිසුන්, යුද ජයග්‍රහණයද, ජාතියේ නාමයෙන්, තම බඩවියත රැකගැනීම සඳහා යොදාගත් ආකාරයයි. ආරි අපට ඉඟි කරන්නේ සිංහල සමාජයෙහි ප්‍රභාකරන් ලා මැරුණේ නැති බවක් වුව, ඔහුගේ දෘෂ්ටිය සානුකම්පිත යැයි අපට හැ‍ඟේ. ප්‍රභූන්ගේ මෙන්ම නිර්ප්‍රභූන්ගේද යථාව ආරිගේ ආලෝක ධාරාවෙන් හෙළිදරව් කෙරෙති.

“ඉඩම” නමැති කෙටිකතාවෙන් ද වර්තමාන ශ්‍රී ලාංකීය සමාජයෙහි එක් පැතිකඩක් විදහා දැක්වෙයි. සියලු සාරධර්ම අභිබවා මුදල රජයන පැවැත්මක් තුළ ඊට ගොදුරුවන මධ්‍යම පංතිකයකුගේ ඛේදවාචකය ආරි අප ඉදිරියෙහි තබන්නේ ඉතා දක්ෂ ලෙසය. ඉන් අප කම්පනයට ලක්කෙරෙයි. ‘ඉඩම’ කතාවෙහිදී ආරි තම නාටකීය බස් වහරින් උපරිම ඵල නෙළා ගනී. මේ ඊට නිදසුන් කීපයකි.

“සිරස්තලය සොයා එහෙ මෙහෙ දුවන දෑස හදිසියේම තිරිංග තද කළේය.”

“ටීපෝව මතවූ ජංගම දුරකථනය කට අරී”

“ජයන්ත අන්දුන්කුන්දුන් වී බිත්තිවලින් හා වහලයෙන් පිළිතුරක් සොයනවිට, එහා කොනෙන් යළිත් ප්‍රශ්නයක් ආවේය.” (ඉඩම)

“මැක්සිට හොඳට ම වැඩිය. තටන්නට ආසාව ඇත. නටන්නට තැතනුවත් නටා ගන්නට බැරිය...

... කළු අක්කා මැක්සිට වැටෙන්නට නොදී හෙමිහිට බිමට පාත්කරගත්තාය. ඔහු හතරගාතෙන් බිමය. මූණ පාත්වී ඇත්තේ සිංහ කොඩියක් අද්දරටය. මැක්සි ඕක් ගෑවේය. කොඩියේ සිංහයා වමනයෙන් මැකී ගියේය.

“ජය පැන් වැස්සෙන් මාක්ස‍්ගේ ගෙදර ද තෙමිලාය.”

(- ප්‍රභාකරන් ඉන්නවා)

ආරි, පරිවර්තකයකු වශයෙන්ද දස්කම් පෑවේය. විශේෂයෙන්ම රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ්ගේ නාට්‍ය පරිවර්තන‍ෙයන් ඔහු කළ මෙහෙවර බෙහෙවින් අගය කළ යුතුය. එසේම “චෙකෝෆ් චරිතාපදානය” සහ “චෙකෝෆ් නාටක අනන්‍යකරණය” ඔහු විසින් රචිත හරවත් කෘතීන් දෙකකි. නාට්‍ය හා රංග කලාව හදාරන සිසු සිසුවියනට ද උගන්වන ගුරු භවතුනටද ඉන් විපුල ඵල නෙළාගත හැකිය.

ආරි, චෙකෝෆ් විශේෂඥයෙකි. එහෙයින්, ඔහු චෙකෝෆ් පිළිබඳව දක්වන මේ අදහස අපගේ අවධානයට ලක්විය යුතුය.

“චෙකෝෆ්ගේ ජීවන හා කලා දෘෂ්ටීන් පිළිබඳව සෝවියට් සහ ඉංග්‍රීසි විචාරකයන් අතර බොහෝ පරස්පරයන් ඇත.

මාක්ස්වාදී විචාරයෙහිදී පමණටත් වඩා චෙකෝෆ් තමන්ගේ කර ගැනීමට දරන තැතක්ද, ඉංග්‍රීසි විචාරයෙහිදී පමණටත් වඩා චෙකෝෆ් ස්වාධීනයෙකු කර ගන්නට දරන තැතක්ද හමුවෙයි. චෙකෝෆ්ගේ කෘති හා ජීවිතය සංයමයෙන් හා තීක්ෂණව විමසන්නකුට නම් පෙනෙන්නේ ඔහු, සමාජවාදී ධජය ඔසවා නොගත් සමාජවාදියකු ලෙසය.”

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න