කේක් සහ සැන්ඩ්වි­ච් වගේ | දිනමිණ

කේක් සහ සැන්ඩ්වි­ච් වගේ

“උතුරේ චිත්‍රපට වාරණය ගැන උනන්දු වෙන තරමට දකුණේ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය පිළිබඳ උනන්දු නොවෙන්නේ ඇයි?“ ‍ප්‍රබල ෆේස්බුක් ජාල ප්‍රකාශකයෙක් දාල තිබුණු වාක්‍යයක් පොඩි එකා මට දමලා ගැහුවා. මායියත් ටිකක් දුර හිටියට පුතණ්ඩියාගෙ අභියෝගය ගැන ආඩම්බර වෙන බව පෙනුණා. මේ වාක්‍යය ‍‍බුකියේ එහා මෙහා සංසරණය වෙලා තිබුණේ මේකට හේතුවුණු කාරණයත් එක්කමයි. ඒ තමා ජූඩ් රත්නම්ගේ 'යක්ෂයින්ගේ පාරාදීසය' කියලා නම් කරලා තිබුණු චිත්‍රපටයක් යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලෙන් ඉවත් කිරීමට එහි සංවිධායකයින් තීරණය කිරීමයි. එහෙම කරන්නට හේතුවුණේ උතුරේ ප්‍රජාවගෙන් ඊට එල්ලවුණු විරෝධය කියලයි සංවිධායක කමිටුවේ ඇතැමුන් කියලා තිබුණේ. කොහොම වුණත් මේ සිද්ධියත් එක්ක යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලට දකුණෙන් සහභාගි වෙන්න හිටපු ගොඩක් දෙනෙක් මේක වර්ජනය කළා. ඒ වගේම එක් තරුණ චිත්‍රපටකරුවෙක් තමාගෙ චිත්‍රපටය උළෙලෙන් ගලවා ගත්තා. තවත් චිත්‍රපටකරුවකුට තමන්ගෙ එක ගලවාගන්න ඕනකම තිබුණත් ඒක කරගන්න බැරිවෙලා තිබුණා. “ජූඩ්ට ගලවන්න වුණා. මට ගලව ගන්න බෑ“ කියලා එයා සිය විරෝධය පළකරලා තිබුණා. පොඩි එකා අර වාක්‍යයෙන් දමලා ගහන්නෙ ඔන්න ඔය වගේ පසුබිමකයි.

“ඔහොම දාන ක්‍රියාකාරීන්ටත් තම තමන් පෙනී සිටින අරගලවල ප්‍රමුඛතා ලැයිස්තුවක් තියෙනවා. පුතාලටත් ඔහොමනේ?“ මං කීවා.

“නෑ අප්පච්චි. ප්‍රශ්නෙන් මඟාහරින්නයි ඔය හදන්නේ? මං අහන්නෙ සරල ප්‍රශ්නයක්. උතුරේ චිත්‍රපට වාරණය ගැන උනන්දු වෙන තරමට දකුණේ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය පිළිබඳ උනන්දු නොවෙන්නේ ඇයි?“ ‍

“හරි මං මෙහෙම කීවොත්, චිත්‍රපට වාරණය කියන්නෙ කලාවේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක්. දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය මුළුමනින්ම ප්‍රධාන ධාරාවේ දේශපාලනයත් එක්ක බැඳිලා තියෙන දේශපාලන ප්‍රශ්නයක්“ මං ලිස්සා යන වර්ගයේ උත්තරයක් දුන්නා.

මේ වෙලාවෙ මායියා තේ ජෝගුවයි, කේක් කෑලි දෙකකුයි, කෙසෙලුයි, කට්ලට් දෙක තුනකුයි, සැන්විච් එකකුයි අහුරපු ට්‍රේ එකකුත් අරන් එතෙන්ට ආවා.

“ඔයාට පාන් හොඳ නැති නිසා සැන්විච් කන්න එපා. ඒක පුතාට“ මායියා, ට්‍රේ එක තියන ගමන් වාරණයකුත් පැනෙව්වා. ගත් කටටම පුතා කීවේ “මං සැන්විච් එක පස්සෙ කන්නම්. දැන් කේක් කෑල්ල කාලා තේ එක බොන්නම්“ කියාය. මං පොඩි එකාගෙ මූණ බැලුවා.

“පුතා සැන්ඩ්විච් කන්න කැමති නැතෙයි?“

“කැමතියි ඒත් දැන් බෑ. කේකුයි සැන්ඩ්විචුයි එකට යන්නෙ නෑ“ පොඩි එකා කීවා. මං නෝන්ඩියට වගේ පුංචි හිනාවක් දැම්මා. 'ඇයි' පොඩි එකා එහෙම හැඟීමක් දනවන්න ටිකක් රවලා වගේ බැලුවා. ඉතිං මං කතා කළා.

“උතුරෙ චිත්‍රපට වාරණයයි, දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයයි දෙකම ගත්තත් ඔන්න ඔය කේක් සහ සැන්විච් වගේ. දෙකම කෙටි කෑම දෙකක් තමයි, ඒ දෙක එකට යන වෙලාවලුත් තියෙනවා. නොයන වෙලාවලුත් තියෙනවා. ඒ වෙලාවට දෙකම කන්නෙ නැතිව තමන් වඩා කැමති දේ ඉස්සරලාම තෝරා ගන්නවා. හරියට පුතා කේක් තෝරාගෙන සැන්විච් පස්සට කල් දැම්මා වගේ.“ මං කීවා.

“මේක එහෙම සරල සිල්ලර ප්‍රශ්නයක් නෙවෙයි“ පොඩි එකාගෙ ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාරයේ නායකයින්ගේ මුහුණ මට ඒ වෙලාවෙ මතක් වුණා.

“පුතා නොදන්නව වුණාට ඔය වාක්කිය ‍ඔහොම දාපු මහත්තයටත් ඔය වගේම ප්‍රමුඛතා ලැයිස්තුවක් තියෙනවා. එයා සයිටම් ප්‍රශ්නෙදි උනන්දු වෙන තරමට නවකවදය ප්‍රශ්නෙදි උනන්දු නෑ. හැබැයි ඒ කරුණු දෙකම සිසුන්ගේ අධ්‍යාපනය කියන පොදු කාරණයේදී එක වගේ වලංගුයි.“ මං කීවා.

“එක්කොත් මං සැන්ඩ්විච් එකත් කනවා.“ එහෙම කියන ගමන් පොඩි එකා කේක් කෑල්ල ඉවර කරපු අතින් සැන්ඩ්විච් කෑල්ලත් අරන් කටේ ඔබා ගත්තා.

“අන්න එහෙම ගත්ත වුණත් ඉස්සරලාම කේක් කෑල්ල කාලා ඊට පස්සෙ තමා සැන්විච් කන්න වෙන්නෙ. මොකද එක වෙලාවෙ කෑම දෙකකට එකම කටේ ඉඩ නැතිවෙන්න පුළුවන්.“ මං ආයෙම කීවා.

ඒ කතාවට නම් මායියටත් හිනා ගියා. ඒත් ඉතිං එයා මටත් වඩා පුතණ්ඩියට ආදරේ නිසා මොකුත්ම කීවෙ නෑ. හිනාවෙලා බිම බලාගෙන නිකං හිටියා.

“අනිත් එක දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය වුණත් වැලිකඩ සිරකරුවො ගැන තරමට අනුරාධපුරේ සිරකරුවො ගැන කතා කරන්නෙ නෑ. එකම ප්‍රශ්නය වුණත් එහෙමත් වෙනස් වෙනවා. ඒකෙදි විරෝධය දක්වන උද්ඝෝෂණය කරන අයත් පිල් බෙදිලා ඒකට තම තමන් අවංක වෙන තරම ගැන වෙන වෙනම නිවේදන නිකුත් කරනවා.“ මං උත්සාහ කෙරුවෙ ඒ ප්‍රශ්නය, ආයෙත් කවදාවත් ප්‍රශ්නයක් නොවන තරමට ලෙහා දමන්නයි. ඒත් අන්තිම වචන ටික කියද්දී පොඩි එකාවත්, මායියවත් හිටියෙ නෑ. මට පතීගේ 'බඹරු ඇවිත්' චිත්‍රපටයේ කොස්තා මතක් වුණා. අන්තිමේදි කොස්තා විතරයි. බස් එකේ මොකෙක්වත් නෑ.

බණ්ඩි රාල

 


නව අදහස දක්වන්න