සහෝ­ද­ර­ත්වයේ සංක­ථන | දිනමිණ

සහෝ­ද­ර­ත්වයේ සංක­ථන

සැප්තැම්බර් 21 වැනිදා බණ්ඩාරනායක සමරු ශාලා භූමියේ ඇරැඹුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිමා වුණේ 30 වැනිදායි. වෙනදා වගේම පොතටපතට ඇළුම් කරන රසික පාඨක පිරිස් මෙවරත් එහි ගොඩවැදුණා. පොත් ප්‍රදර්ශනයට සමගාමීව සිදුවන විවිධ සංස්කෘතික ක්‍රියාකාරකම්ද සුපුරුදු පරිදි මෙවරත් ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් ලංකා ලේඛක සංවිධානය මෙහෙය වූ “සාහිත්‍ය සංකථන මණ්ඩපය”ද එම ක්‍රියාකාරකම් අතරින් එකක්.

“සාහිත්‍ය සංකථන මණ්ඩපයේ” විශේෂ ලක්‍ෂණයක් වුණේ දෙමළ සාහිත්‍ය වෙනුවෙන්ද ඉඩකඩක් වෙන් කර තිබීමයි. එම ඉඩකඩින් උපරිම ප්‍රයෝජන ගනිමින් දෙමළ හා මුස්ලිම් සාහිත්‍යකරුවන් අපූරු වැඩසටහන් දෙකක් ඉදිරිපත් කළා. සැප්තැම්බර් 26 වැනිදා සවස් භාගයේ පැවැති “දරුවන් සමඟ කතන්දර” ඉන් එකක්. එදිනම උදේ වරුව වෙන් කර තිබුණේ “දරුවන් සමඟ කතන්දර” සිංහල වැඩසටහනටයි. එයද ඉතා ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්වූ බව ඊට දායක වූ ළමා සාහිත්‍ය උදෙසා සම්මාන ලද තනූජා අයගම, විපුලි නිරෝෂීණී හෙට්ටිආරච්චි හා වසන්තා මිහිඳුකුලසූරිය යන ලේඛිකාවන්ට ප්‍රශංසා කරමින් සඳහන් කළ යුතුයි.

එදින සවස් භාගයේ සම්මන්ත්‍රණශාලා භූමිය දෙමළ හා මුස්ලිම් දරුවන්ගේ රැඟුම් හා ගැයුම්වලින් වර්ණවත් වුණා. බම්බලපිටියේ පොන්නම්බලම් රාමනාදන් බාලිකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය වන සුබාෂිණී ප්‍රාණවන් මෙහෙය වූ මේ වැඩසටහන උත්සව ශාලාවේ සිටි දෙමළ භාෂාව නොදන්නා රසිකයන්ගේ පවා මහත් ආස්වාදයට හේතු වූ බවක් දකින්නට ලැබුණා. ආමර්වීදියේ ෆාතිමා කාන්තා විද්‍යාලය, මට්ටක්කුලියේ හම්සා පිරිමි පාසල හා ශ්‍රීමත් රසීක් ෆරීඩ් කාන්තා විදුහල යන පාසල්වල දෙමළ හා මුස්ලිම් දරු දැරියන් රැසක් සුබාෂිණී ගුරුතුමිය හා එක්ව වේදිකාව අලංකාර කළා.

අධ්‍යාපන උපදේශිකාවක මෙන්ම ළමා ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂඥ දැනුමකින් යුත් රම්‍යා නවරත්න ගුරුතුමිය උදෑසන සිංහල දරුවන් මෙහෙය වූ ආකාරයටම සුබාෂීණී ඇදුරුතුමියද හවස් භාගයේ දෙමළ හා මුස්ලිම් දරු දැරියන් මෙහෙය වූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. නිසි මඟ පෙන්වීමක් ලැබෙන්නේ නම් සිංහල, දෙමළ හෝ මුස්ලිම් ආදී සියලුම ජනකොටස්වලට අයත් දරුවන් සෞන්දර්යාත්මක වශයෙන් පිරිපුන් පරපුරක් බවට පත් කළ හැකි බව “දරුවන් සමඟ කතන්දර” වැඩසටහනට සහභාගී වූ සිසු සිසුවියන් දැක් වූ ඉහළ ප්‍රතිචාරවලින් අපට තේරුම් ගියා.

සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වුණු “දෙමළ කවි හා ජන ගායනා” වැඩසටහනද අති රමණීය එකක් වූ බව සඳහන් කළ යුතුයි. මේ වැඩසටහන සඳහා දෙමළ හා මුස්ලිම් ලේඛක ලේඛිකාවන් ඇතුළු ගායක ගායිකාවන් රැසක්ද සහභාගී වී සිටිනු දක්නට ලැබුණා. මේ වැඩසටහනේ සම්බන්ධීකාරකයා වශයෙන් කටයුතු කළේ ප්‍රකට කවියකු හා සාහිත්‍ය ක්‍රියාකාරිකයකු වන මේමන් කවි ලේඛකයා. ඔහුගේ ආරාධනයෙන් දෙමළ සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත ගණනාවක්ම උත්සව ශාලාව වෙත පැමිණ සිටියා.

වැඩසටහන අරඹමින් දෙමළ කලාකරුවන් ඉදිරිපත් කළ නාට්‍ය මගින් කියාපෑවේ භාෂාව නිසි ලෙස ඉගෙන ගැනීමේ වටිනාකමයි. එම නාට්‍ය නිෂ්පාදනය කර තිබුණේ යෝගරාජන් සුසිලා නම් කිවිඳියක්. තම්බිඅයියා දේවදාසන් නම් ප්‍රවීණ දෙමළ ලේඛකයා සිනමා කලාව හා ජනමාධ්‍ය අලළා ලියූ අලුත් පොත දොරට වැඩීම සිදුවුණේද සංකථන මණ්ඩප වේදිකාවේදියි. දෙමළ ගී රසවින්දන හා කවි ගායනා වැඩසටහන ඇරඹුණේ මේ කටයුතුවලින් අනතුරුවයි. දෙමළ රසිකයන් අතර ජනප්‍රිය වූ ගීත කිහිපයක් රසිකයන්ට ශ්‍රවණය කිරීමට සලස්වා ඒවා පිළිබඳව ඇගයීමක්ද වේදිකාව මතදීම සිදු කෙරුණා. මේමන් කවි, රවීන්‍ද්‍රන් හා තම්බිඅයියා දේවදාසන් යන ප්‍රවීණයන් තිදෙනා මේ වැඩසටහන ඉතා සිත්ගන්නා සුළු ආකාරයෙන් ඉදිරිපත් කළා.

දෙමළ සාහිත්‍ය සංකථනය නිමාවුණේ කවි ගායනා පෙළකින්. මේ කවි ගායනය කරනු ලැබුවේ ඒවායේ රචකයන් විසින්මයි. එම රචකයන් අතරින් බහුතරයක් දෙමළ සාහිත්‍යයේ දිස්වන තරුණ මුහුණු බවත් මෙහි දී විශේෂයෙන් සඳහන් කිරීම වැදගත්. මාක්ස් ප්‍රභාකර, රත්නම් ජෙගනාදන්, කවි කමල්, යෝගරාජන් සුසිලා හා මේමන් කවි මෙහි දී කවි ගායනා ඉදිරිපත් කළා. මේ සෑම කවියකම පාහේ අරුත සිංහලට නඟා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබීමද අගය කළ යුතුයි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයේම හසළ දැනුමක් සහිත හේමචන්ද්‍ර පතිරණ ලේඛකයා ඉතා රමණීය ආකාරයට මේ කවි සිංහලට නඟා ඉදිරිපත් කළා. එකම රටක පුරවැසියන් වශයෙන් එකට අත්වැල් බැඳගෙන සිටීමේ වටිනාකම කවි කිවිඳියන්ගේ ප්‍රධාන තේමාව වූ බවක් දක්නට ලැබුණා. ඒ වගේම අන්තවාදී බලවේගවලට නොරැවටී මවුබිම රැක ගනිමු වැනි තේමාවන්ද ඇතැම් කවියකට පාදක වී තිබුණා.

පොතපත මිල දී ගැනීමට පැමිණි ප්‍රබුද්ධ රසික රසිකාවියන් දහස් ගණනකගේ සවන්පත්වලට මේ කවි හඬ ශ්‍රවණය වූවාට කිසිම සැකයක් නැහැ. එහෙත් කඩිමුඩියේ එහෙ මෙහෙ දුවමින් සිටි ඔවුන් අතරින් කී දෙනෙක් දෙමළ කවියන් උස් හඬින් ප්‍රකාශ කළ පණිවිඩය තේරුම් ගත්තාද කියන එක ප්‍රශ්නයක්. දහසකුත් එකක් ප්‍රශ්න මැද ඉතා සංකීර්ණ දිවිපෙවෙතක් ගෙවන පාඨක රසික ප්‍රජාව ප්‍රදර්ශන භූමියේ ඉදි කර තිබූ මේ ශ්‍රවණාගාරය වැඩි වශයෙන්ම භාවිත කළේ ගිමන් නිවාගන්නා මධ්‍යස්ථානයක් හැටියට බවත් දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඒ රසික ජනයා අතරින් අතළොස්සක් හෝ මේ යාන්ත්‍රික දිවිපැවැත්මේ කිසියම් වෙනසක් සිදුවිය යුතු බව තේරුම් ගත්තා නම් මෙවර ජාත්‍යන්තර පොත් සල්පිලේ පැවැති “සාහිත්‍ය සංකථන මණ්ඩපය” යම් ප්‍රමාණයකින් හෝ සාර්ථක වූ බව හිතන්න පුළුවන්.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...