ටක­රන් කඩේ මාමාගේ දඟ කාලේ | දිනමිණ

ටක­රන් කඩේ මාමාගේ දඟ කාලේ

“මොකක්ද ටොම්සන් මහත්තයා ඔය උදේම අතට ගත්තු පොත? “ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

“මේක මේ බොහොම වටිනා පොතක්...“ කියා ටොම්සන් මහත්තයා බොහොම ආඩම්බරයෙන් කීවේය.

“ඒ කියන්නේ බොහොම මිලයිද?“ කියා උන්නැහේ පැත්තක සිට ඇසුවේය.

“නෑ... මිල නම් එහෙමට නෑ. ඒ වුණාට මේ පොත හේතු දෙකක් හින්දා මට නම් හරියට වටිනවා.“ කියා ටොම්සන් මහත්තයා පොතේ පිට කවරය ඔසොවා පෙන්නුවේය. පොතේ නම දඟ කාලේය. කර්තෘගේ නම රත්නපුලි පියදාසය. පිට කවරයේ චිත්‍රයේ තිබුණේ ගමක කුඩා ඇල පාරක් උඩින් දැමූ ඒදන්ඩක් දිගේ ඇවිදගෙන යන පිරිමි ළමයකුගේ ඡායාරූපයකි.

“දඟ කාලේ කියන්නේ කාගේ දඟ කාලේද ටොම්සන් මහත්තයා...? “ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

“ඔන්න අහ ගන්නකෝ පොතේ එක කොටසක්.“ කියා ටොම්සන් මහත්තයා පොතේ පිටුවක් පෙරළා ගෙන කියවන්නට පටන් ගත්තේය.

“ඔන්න ඔන්න රාජෝ... අර අනින තොප්පි ගොනා පිඹ පිඹ දුව ගෙන එනවා.... ඒ එන්නේ රත්තාට අනින්න. උඹ ඉක්මනට බිමට පැනලා ඔය ඉණේ ඔතාන ඉන්න ලණුව ගලවා දාන්න. නැත්නං රත්තා බය වුණ ගමන් උඹවත් ඇද ගෙන වැව් පිටියේ දුවාවි...“ කියා කෑ මොර දෙන්නට විය.

ඒ හඬ ඇසුණු සැණින් හැරී බැලුවද පිම්මේ දුව ආ තොප්පි ගොනා එන්නට පෙර මට රත්තා පිටින් බිමට පනින්නට කාලයක් තිබුණේ නැත. පිම්මේ දුව ගෙන ආ තොප්පියා රත්තාගේ පිටුපසට වේගයෙන් ඇන්නේය. එවිට රත්තා උඩින් විසි වී ගොස් බිම නොවැටී බේරුණේ ඉතා අමාරුවෙනි. මමද උඩින්ම ගොස් වැව් පිටියේ තණ බිම මත වැටුණෙමි. දෙවන වර තොප්පියා අනින්නට පනින විට රත්තා වැව් පිටියේ දුවන්නට විය. උගේ කරේ බැඳි ලණුව ලිහා ගන්නට මට වේලාවක් ලැබුණේ නැත.

“එ්ක නම් අපූරු සිද්ධියක්. දඟ කාලේ කියන්නේ අපි කාගෙත් දඟ කාලේ තමයි. ඒක ඉතින් කවුරුත් ගෙවාපු සුන්දර ළමා කාලයක් නේ. මේ පොතේ තියෙන අපූරුව තමයි රත්නපුලි පියදාස ලේඛකයා තමන්ගේ දඟ කාලේ බොහොම අව්‍යාජව, සුන්දරව ලියලා තියෙන එක. ඒක කියවන කොට මට නම් හිතෙන්නේ ඒවා ඇත්තම තමයි කියලා. ඒ තරම් අව්‍යාජව ලියලා තියෙන්නේ.. ඒක හින්දා මේ පොතට මං හරි කැමතියි. තවත් එක කාරණයක් තියෙනවා. “ කියා කියමින් ටොම්සන් මහත්තයා පොත උකුලේ තියා ගත්තේය.

“ඒ මොකක්ද ටොම්සන් මහත්තයා...“

“රත්නපුලි පියදාස ලේඛකයා ජීවත් වෙන්නේ කොළඹින් බොහොම දුර බැහැර වීරවල ජනපදයේ. ඒකේ කාලයක් කඩයක් පවත්වා ගෙන ගිහින් තියෙනවා. ඒ හින්දා ගමේ අය කියන්නේ ටකරන් කඩේ මාමා කියලා... එතකොට මේක මේ ටකරන් කඩේ මාමාගේ දඟ කාලේ කිව්වාම හරියට හරි.“

“ටකරන් කඩේ මාමාගේ දඟ කාලේ... හරිම අපූරු නම... ටොම්සන් මහත්තයා ටකරන් කඩේ මාමා දැකලා තියෙනවාද?“ කියා ඇසුවේ උන්නැහේය.

“ඔව්.. මං දැකලා තියෙනවා... මාස කීපෙකට ඉස්සෙල්ලා මේ පොත පිට වෙන වෙලාවේ මං ඒ උත්සවේට ගියා.. ඒක හරිම දුක හිතෙන කතාවක්. ඇම්බන් මහත්තයාට කියන්න ටකරන් කඩේ මාමා අවුරුදු ගාණක් තිස්සේ ඉන්නේ රෝද පුටුවේ... හොඳට දුව පැන ඇවිදලා හිටපු මනුස්සයාට ආබාධයක් හැදිලා. ඉතින් අත් දෙක වුණත් හරියට එහා මෙහා කරන්න බෑ.. මේ වගේ ආබාධිත වෙච්චි බොහෝ දෙනා කරන්නේ ඔහේ ජීවත් වෙන එකනේ. ඒ වුණාට ටකරන් කඩේ මාමා පොත් ලියන්න පටන් ගත්තා. බොහොම අමාරුවෙන්.. ඒවා කාටවත් ලේසියෙන් කියවන්නත් බෑ... පවුලේ අනෙක් අය තමයි ටකරන් කඩේ මාමා ලියන ඒවා ආයෙම පොත්වල ලියන්නේ.. මේ පොතත් පළ කරලා තියෙන්නේ ඒ විදිහට තමයි. කාටත් උදව් කරන ගොඩගේ මහත්තයා තමයි මේක පළ කරලා තියෙන්නේ..තව මේ වගේ පොත් කීපයක්ම ලියලා තියෙනවා. ඒවා පළ කර ගන්න තමයි බලා ගෙන ඉන්නේ.“

“එතකොට ටකරන් කඩේ මාමාට දැන් කොච්චර වයසද?“ කියා උන්නැහේ අතුරු ප්‍රශ්නයක් ඇසුවේය.

“මං හිතන්නේ හැත්තෑ දෙකක් විතර. රෝද පුටුවට වැටිලත් අවුරුදු පහළොවක් විතර වෙනවා. සමන්පුර ඉස්කෝලේ තිබුණු ඔය දඟ කාලේ පොත පිට වෙන උත්සවේට අඩු ගණනේ වීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කිසිම නිලධාරියෙක් සහභාගි වුණේ නෑ. ඒ විදුහල්පතිතුමා තමයි බොහොම ජයට උත්සවේ සංවිධානය කළේ. අන්න එහෙමයි හැටි. මං කියන්නේ ඇම්බන් මහත්තයා... එදා උත්සවේදී මයික්‍රෆෝන් එක අතින් අල්ලා ගන්නවත් පියදාස මහත්තයාට බැරි වුණා. එහෙම අතකින් තමයි මේ පොත් කුරුටු ගාන්නේ. . අනික ඇම්බන් මහත්තයා දන්නවාද? ටකරන් කඩේ මාමාගේ ඒ කඩේ ගමේ පුස්තකාලයකට පරිත්‍යාග කරන්න රත්නපුලි පියදාස මහත්තයා තීරණය කරලා තියෙනවා. කොච්චර වටිනා මනුස්සයෙක්ද එහෙම බැලුවම. සම්මාන දෙන්න ඕනෑ ඔහොම අයට...“

බන්දුල පී දයාරත්න


නව අදහස දක්වන්න