මාතා සහ හද ලෙන්දොර | දිනමිණ

මාතා සහ හද ලෙන්දොර

සුපුරුදු පරිදි හැම බිනර මසකම මවෙත එල්ල වන ඒ අතිශය සොඳුරු ප්‍රශ්නය “මේ පාර පොත් ප්‍රදර්ශනේට ගියාම මොකක්ද ඔයාට මම ගන්න ඕන පොත?“

මගේ ආදරණීය යෙහෙළිය දමයන්ති ප්‍රියදර්ශනී දිගු කලක් මුළුල්ලේ අසන ඒ ප්‍රශ්නය කොතරම් ළඟන්නා සුළු ද.... මෙවර මා ඉල්ලා සිටි පොත මට තිළිණ කරමින් ඇය ඇගේ හද පිරි ළෙන්ගතුකම විදහා පෑවාය. ඇය මෙන් නොව තුෂාරි අබේසේකර කලක් තිස්සේ දැන සිටියද යාම්තම් සිවුමසක් වූ අපේ ඇසුර වඩාත් හෘදයාංගම වූයේ ‘මාතා‘ නවකතාව මා අත පත්වූ මොහොතේ විය යුතුය. ලේඛිකාවක හා ගායිකාවක, සිත්තරාවියක මෙන්ම අධ්‍යක්ෂවරියක ද වන තුෂාරි අබේසේකරගේ ‘මාතා‘ ද රාවය පුවත්පතේ ටිරන් කුමාර බංගගමආරච්චිගේ ‘හද ලෙන්දොර‘ පිළිසඳර එකතුව ද සැබැවින්ම අපූරු තිළිණයක්ම විය.

2017 සම්මාන උළෙලවලදී නොතකා හළ ‘මාතා‘ ඕනෑම හදවතක් පාරන අවදි කරන හා ජීවයෙන්, ගුණයෙන් හා රසයෙන් ද පිරිපුන් කෘතියකි. ඇතැම් වියතුන් හා විචාරකයන් පොත් ගෙඩියකැයි අවමන් කළද කිසියම් කෘතියක පිටු සංඛ්‍යාව එහි අන්තර්ගතය නොසලකා බැහැර කරන්නට ඉවහල් වේ නම් විශ්ව සාහිත්‍යයේ සම්මානනීය කෘතීන් කීයක් නම් ඒ මුග්ධ කෙවිටෙන් පසෙකට තල්ලු කරන්නට සිදුවනු ඇත්ද? කෘතියක පිටු සංඛ්‍යාව ද එය රචනා කළ අය අයත් ලිංගය ද බරපතළ ලෙස සලකා බලන විස්මිත විචාරකයන් අපේ මේ අරුම පුදුම දිවයිනේ මිසක වෙනත් කිසිදු රටක නැතුවා වියහැක. කෙසේ හෝ වේවා තුෂාරි අබේසේකර සුලලිත බස්වහරින් ද අපූරු ශෛලියකින්ද සුමධුර ලෙස ගෙත්තම් කරන මාතාහරිගේ ජීවන අන්දරය හුදෙක් තවත් එක් ගැහැනියකගේ ශෝකාන්තයක් පමණක් නොවේ. එය එක් යුගයක හා එක්තරා ජනකොටසකගේ වෘතාන්තයකි. ‘මාතා‘ කිසිසේත් සරල හා සාමාන්‍ය කතාවක් නොවේ. එහි ගැඹුර මෙන්ම යටිපෙළ ද පාඨක සිත් සතන් කම්පා කරමින් මනුෂ්‍යත්වය පිළිබඳව නොනැසෙන භක්තියක් ජනිත කරවයි. චිත්ත සන්තානයේ උත්තම හා අධම හැඟීම් පමණක් නොව දරිද්‍රතාව ද පුරුෂාධිපත්‍යය ද ප්‍රේමයේ රමණීයත්වය මුසු වූ වියෝගයේ දැරිය නොහැකි වේදනාව ද සමඟ වෙනස් පරිසරයක ලේ මස් නහරින් සැදුම්ලත් ගැහැනු මිනිසුන් සමඟ චාරිකාවකට මෙන්ම ඔවුන් හුස්ම ඉහළ පහළ හෙලන හඬ පවා අසන්නට අපට ඉඩහසර ලබාදෙන බව සඳහන් කළ යුතුය. තුෂාරි ‍අබේසේකර සහෝදර ලේඛිකාව ‘මාතා‘ තුළින් ශාරීරිකව මාතාවක නොවුණද මව්වත් ගුණය දරන්නට ගැහැනියකට අඩුම තරමින් ගැහැනියක නොවූ ගැහැනු දරුවෙකුට පවා හැකිවන බව අවධාරණය කරන්නීය.

තමන් නොදැරූ දරුවෙකු වෙනුවෙන් නොදැරිය හැකි වේදනාවක් දුෂ්කරතාවක් නැතැයි අපට පසක් කරන මාතාහරි ජයප්‍රධා නාරායන් මාතෘත්වයෙහි මෙන්ම මනුෂ්‍යත්වයෙහිද උදාරත්වය පසක් කරයි. ආත්ම ශක්තියෙන් අනූන, අනේක අභියෝගයන් අබියස වඩ වඩාත් ධෛර්යය සම්පන්න වූ මාතාහරි නිර්මාණය කළ තුෂාරි අබේසේකර ‘මාතා‘ නවකතාව තුළින් පළකරන ප්‍රතිභාව හා විශිෂ්ටත්වය ඇගයීමට ලක්විය යුතුය. ඇයට සුබපතන අතරේම ඇය වෙතින් තව තවත් අගනා නිර්මාණ අපේක්ෂා කරමි.

පිළිසඳරක් හැම විටම හෘදය සංවාදයක් නොවිය හැකිය. දෙදෙනකු අතර පිළිසඳර හෘදය සංවාදයක් වීමට නම් එය අරඹන්නා සතුව වෙසෙස් කුසලතාවක් තිබිය යුතුය. අනෙකාගේ හද ලෙන්දොර විවර කරන්නට තරම් බුහුටි හා ආදරණීය නොවන්නේ නම් කිසි විටෙකත් ඒ ලෙන්දොර විවර නොවෙනවා නිසැකය.

‘හද ලෙන්දොර‘ පසු සටහන තබන ‘අනිද්දා‘ ප්‍රධාන සංස්කාරක ‍කේ. ඩබ්ලිව්. ජනරංජන සඳහන් කරන පරිද්දෙන්ම රටක් රසවත් කළ සුවපත් කළ රසවත් හදවත් හාරා පාරා අවුස්සා ගැනීමේ හෘදය සංවාදී කුසලතාව ඕනෑම මාධ්‍යවේදියකු වෙත නැත්තේය. ඒ විරල කුසලතාවෙන් පිරිපුන් ටිරන් කුමාර බංගගමආරච්චි මාධ්‍යවේදියා මේ සාහිත්‍ය මාසයේදී සාහිත්‍යකාමීන් වෙත තිළිණ කරන ‘හද ලෙන්දොර‘ කෘතියේ අපූර්වත්වය ද එයමය. විවිධ ක්ෂේත්‍ර තුළ දක්ෂතා දැක්වූ කලාකරුවන්ගේ ජීවිතය පමණක් නොව හදවත ද පාඨක නෙතට ගෙන හැරපාන මේ පිළිසඳර එකතුව අපේ සාහිත්‍ය පොහොසත් නොකරයිද? සාහිත්‍ය වූ කලී නවකතාව කෙටිකතාව හා කවිය පමණක් නොවේ. එය විවිධ ශානරයන්ට අයත්වන සංචාරක සටහන්, හාස්‍ය දනවන කෘතීන්, රහස් පරීක්ෂක හා විද්‍යා ප්‍රබන්ධ ආදියෙන් ද සමන්විත විය යුතුය. එහෙයින් ටිරන් කුමාර බංගගමආරච්චිගේ ‘හද ලෙන්දොර‘ කෘතිය අපූර්වත්වයෙන් ද චමත්කාරයෙන් ද උතුරා යන බව සඳහන් කළ යුතුය.

ඉතා කෙටි ප්‍රශ්න මඟින් වුව ඉලක්කයට විදින දක්ෂ දුනුවායකු පරිද්දෙන් අනෙකාගේ හදවත විවර කරන්නට සමත්වන ලේඛකයා ඒ හදගැබ ආලෝකය ද අන්ධකාරය ද ගෙනහැරපායි. ඒ බොහෝ ජීවන අත්දැකීම් ජීවිතය ද ප්‍රබන්ධයක් තරමටම නිර්මාණශීලී බව කියාපායි. සුඛ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම මිහිර අමිහිර මනුෂ්‍ය ජීවිතය හා වෙළී බැඳී පවතින බව ද ශෝකයෙන් මුසපත්ව හඬා වැටීම හෝ පිරිහුණු ධෛර්යයෙන් කඩාවැටීම වෙනුවට නොසැලී, ඇතැම් විට සැලි සැලී වුව ජීවිතයට මුහුණදිය යුතු ‍බවද අවධාරණය කරන ‘හද ලෙන්දොර‘ පාඨකයාට නැවුම් අත්දැකීමකි. විවර කළ යුතු ලෙන්දොර තවත් මේ බිම පණ ගැහෙන බව ලේඛකයා හට සිහිපත් කරන අතරේම ඔහුගේම පෙරවදනේ අවසන් වැකිය උපුටා දක්වමින් ඔහුට සුබ පතමි.

“හැම හදවතකටම ඇතුළුවිය හැකි දොරක් ඇති මුත්, ඒ ඇතුළු වුවද හැමදේම දකින්නට හැකි නොවනු නියතය.“

- හද ලෙන්දොර - ටිරන් කුමාර බංගගමආරච්චි

ශාන්ති දිසා­නා­යක

නව අදහස දක්වන්න