යක්ෂයා කවුද රටට කියන්න | දිනමිණ

යක්ෂයා කවුද රටට කියන්න

ජූඩ් රත්නම්

යාපනේ පැවැත්වෙන හතරවන අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා ඉදිරිපත් කළ ඔබේ ‘පාරාදීසයේ යක්ෂයෝ’ (Demons in Paradise) වාර්තා චිත්‍රපටය ඉවත් කර තිබෙනවා. මේ චිත්‍රපටය මෙම උලෙළට ඉදිරිපත් කරන්න කියන ආරාධනාව ලැබුණෙ කොහොමද?

චිත්‍රපට උලෙළ සංවිධානය කරන එක් පාර්ශ්වයක් වන ජර්මන් ඩිවලොප්මන්ට් කෝපරේෂන්( G.I.Z ) ආයතනයේ කෙනෙක් මට කතා කළා. ඔහු මගෙන් “ ඔයා ජැෆ්නා ෆිල්ම් ෆෙස්ටිවල් එකට චිත්‍රපටය දෙන්න කැමති නැද්ද?” කියලා ඇහුව්වා. “ මගේ අකමැත්තක් නැහැ. ඇයි එහෙම අහන්නේ” කියල මම කිව්වා. ඔයා ෆිල්ම් එක දෙන්න කැමැත්තක් නැහැ වගේ කියලා අනෝමා කිව්වා, ඒකයි කතා කළේ ” කියලා. ගිය අවුරුද්දේ අනෝමා මගෙන් ෆිල්ම් එක ඉල්ලුවාම මම කිව්වා. “ ඒක දැන් ජාත්‍යන්තරව රවුමක් යනවා. ජාත්‍යන්තරව තිරගතවන නිසා මට දෙන්න විදිහක් නැහැ. ලබන අවුරුද්දේ(2018) අනිවාර්යයෙන්ම දෙන්නම්” කියලා. නමුත් මේ අවුරුද්දේ අනෝමා මට කොල් කළේවත් නැහැ. මම චිත්‍රපටිය පෙන්නන්න කැමතියි කියල G.I.Zට කිව්වට පස්සේ අනෝමා මට කතා කළා. “ඔයා ෆිල්ම් එක දෙන්න කැමතියි කියල තිබුණා. එහෙම නම් ෆිල්ම් එක ගෙනත් දෙන්න” කියලා. ඊට පස්සේ ඇගේ ඉල්ලීම පරිදි මම මහජන ප්‍රදර්ශනයට මුදාහරින විට ලබා දිය යුතු සහතිකය ඇයට ලබා දුන්නා. ඊට පස්සේ මට ජැෆ්නා යන්න කෝච්චි ටිකට් බුක් කරලා එව්වා. මං අපහු එන්න ටිකට් බුක් කළා. මට පවුලත් එක්ක එන්න කිව්වම “ මම යාළුවෙක් එක්ක එන්නේ කිව්වාම” මට හොටෙල් ගාස්තුත් ඒ අය දෙන්නම් කිව්වා. ඒ විදියට ඔක්කොම සූදානම් කරල තියෙද්දි G.I.Z ආයතනයෙන් කතා කරල “ පොඩි ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. කට්ටියක් ඇවිත් ෆිල්ම් එක පෙන්නන්න එපා කියල. ෆෙස්ටිවල් එකේ කට්ටිය දෙකකට බෙදිලා. ‘Demons in Paradise’ පෙන්නන්න එපා කියනවා. ඒ නිසා මේ ෆිල්ම් එක පෙන්නන්න වෙන්නෙ නැහැ” කිව්වා. එතනින් තමයි මේ ප්‍රශ්නය පටන් ගත්තේ.

ඊට පස්සේ G.I.Z ආයතනයේ අයට ඔබ මොකක්ද කිව්වේ?

මම මුලින්ම ඇහුව්වේ මේ කට්ටිය කවුද කියලා. ඒකට නිශ්චිත උත්තරයක් ලැබුණෙ නැහැ. ඊට පස්සේ මං කිව්වා පොලීසිය දාලා හරි පෙන්නන්න බැරිද කියලා. ඒක සංවිධායකයින් එක්ක කතා කරලා කියන්නම් කිව්වා. පස්සේ කතා කරලා කිව්වා පොලිසිය දාලා මේක කරන්න බැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි මෙහෙම යෝජනාවක් කළා “නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් සංවාදයක් ඇති කරන්න අවස්ථාව දෙන්න” කියලා. ඊට පස්සේ G.I.Z ආයතනයේ අය ඒ ගැන සංවිධායක මණ්ඩලයත් එක්ක කතා කරල ආයත් මට කතා කළා “ සමාවෙන්න අපිට ඒ අවස්ථාවත් ඔයාට ලබාදෙන්න විදියක් නැහැ. මේ චිත්‍රපටිය ගැන මොනව කළත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා ඒ අය කියනවා” කියලා. ඒත් මට ෆෙස්ටිවල් කමිටි එකේ කවුරුවත් කතා කළේ නැහැ.

සිකුරාද(30 වෙනිදා) වෙනකම් වෙබ්සයිට් එකේ තිරගත වීමට නියමිත චිත්‍රපටියක් බවට කාලසටහනට ඇතුළත් කර තිබූ ‘පාරාදීසයේ යක්ෂයෝ’ චිත්‍රපටය සඳුදා වෙද්දී අයින් කර තිබෙන දැනගත්තට පස්සේ ඔබ මොකද කළේ?

ඒක දැක්කට පස්සේ මම අනෝමට කෝල් එකක් ගත්තා. ඒකට එයා ආන්සර් කළේ නැහැ. පස්සේ මම ටෙස්ට් එකක් යැව්වා. ඒකටත් රිප්ලයි එකක් ආවේ නැහැ. අයිත් පැයකට විතර පස්සේ අනෝමට කතා කළා. එතකොට එයා අනසර් කළා.

“මට තේරෙනවා, ඔයාලා වැඩේ කරගෙන යන්න ඕන නිසා මේක ගැලෙව්වා කියලා. ඒකට කමක් නැහැ. කරුණා කරලා මට පැහැදිලිව කියන්න මේක පෙන්නන්න එපා කියලා කියපු අය කවුද? ” කියලා මම ඇහුවා.

“පෙස්ටිවල් කමිටි එකේ චෙයාර් පර්සන් ආචාර්ය එස්. රගුරාම්ට මේක පෙන්නන්න එපයි කියලා කට්ටියකගෙන් තර්ජනයක් ඇවිත් තියෙනවා.” කියලා එයා කිව්වා.

හැට දෙනෙක් විතර අත්සන් කරපු ලියවිල්ලකුත් අරන් ආවලු.

සිනමා කරුවෙක් විදියට මේ බලපෑම ඔබ දකින්නේ කොහොමද?

මේ තමයි දෙමළ සමාජයේ දේශපාලන සංස්කෘතියේ ස්වරූපය. මම මෙතන සංස්කෘතිය කියල අදහස් කළේ යුද්ධය ඇති වෙන කාලෙට ටිකක් කලින් ඉඳල හැදී වැඩුණ දෙමළ සංස්කෘතිය. එල්.ටී.ටී.ඊ එක තියෙන කාලේ මේ තත්ත්වයට ඍජුවම ඔවුන් දායක වුණා. ඒ ස්වරූපයේ පශ්චාත්කාලීන ස්වරූපය තමයි මේ. මම කියන්නේ මේ ගැටලුව විවෘතව කතා කරන්න ඉඩ දෙන්න කියලා. මේ මොහොතේ ඒ අය ඉන්ටර් නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් මෙහෙයවන මට්ටමට පැමිණෙනො කියන්නෙ ලොකු ප්‍රශ්නයක්.

ඔබ දකුණට පෙන්නපු චිත්‍රපටිය ඇයි උතුරෙ පෙන්නු‍වේ නැත්තෙ කියලා ප්‍රශ්නයක් තියෙනවා

මේ කියන්නෙ, දෙමළ සමාජය ඇතුළේ වැඩෙන මේ කුණු දේශපාලන සංස්කෘතිය ගැන කතා කරන්න මම මේ අන්තවාදී පිරිසගෙන් පර්මිෂන් ගන්න ඕන කියන එකද? මට තේරෙන්නේ නැහැ. ඇත්තටම විශ්වවිද්‍යාල ආචාර්යවරු, අධ්‍යාපනික සංස්ථාව, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ජනමාධ්‍ය වගේම කලාකරුවනුත් මේකට වගකියන්න ඕන. මේ ගැන කතිකාවක් ඇති කරන්න, මේ ගැන සංවාදයක් ගොඩනගන්න මේ හැමෝටම වගකීමක් තියෙනවා. අපි අපේ සමාජය දිහා විවෘතව බලන්න ඕන. මේක වහගෙන කුණු කර කර මේ ප්‍රශ්නය කවදාවත් විසඳන්න බැහැ. මේ ෆිල්ම් ෆෙස්ටිවල් එක, පැවැත්වීමේ අරමුණ ෆෙස්ටිවල් එකක් පැවැත්වීම පමණක්ද?. එතකොට අපි මේ කතා කරන මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මානව අයිතිවාසිකම්වලට මොකද වෙන්නේ? කියන ප්‍රශ්නය මට ඒ අයගෙන් අහන්න වෙනවා. ඒ නිසා කරුණා කරල මේ භූතය කවුද කියල සමාජයට කියන්න.

මෙවැනි චිත්‍රපටියක් හදන්න ජූඩ්ට තියෙන ඓන්ද්‍රීය සම්බන්ධය මොකක්ද?

මම හැදී වැඩුණේ මේ ප්‍රශ්නෙත් එක්කමයි. මම උපන්නෙ කොළඹ නුගේගොඩ. අවුරුදු පහක් වෙද්දි මට අපේ අම්මා කියනවා "කටවහපන් මීට පස්සේ දෙමළෙන් කතා කරන්න එපා අපිව මරාවි" කියලා. මම ෆිල්ම් එක පටන් ගන්නෙ එතනින්. ඊට පස්සේ අපි කොළඹ අතඇරලා 1983 මඩකලපුවට පළා යනවා. ඊට පස්සේ ආයුධ සන්නද්ධ කල්ලි දකිනකොට ඒකත් එක්ක ඇතිවන ආශාව. අපි ඔක්කොම එකවගේ සටන් කරමු කියන අදහසත් එක්ක හිටපු හැටි. අපි කොල්ලො තුන්දෙනෙක් නිසා අපිත් ඒ සන්නද්ධ කල්ලිවලට බැදිලා ආයුධ අතට ගනියි කියලා අපේ අම්මා බය වුණා. එයා අපිවත් අරන් ඉන්දියාවට යනවා. නමුත් අපේ රටේ වගේ අපිට එහෙ ඉන්න නිදහසක්, ආශාවක් නැහැ. අපහු අපි ලංකාවට ඇවිත් නුවර පදිංචිවෙනවා. මගේත් සහෝදරයන්ගෙත් තරුණ අවධිය ගතවෙන්නේ නුවර. 77දී වෙච්ච සිද්ධි නිසා අපේ ආච්චි මානසිකව දුර්වල තත්ත්වයට පත්වෙලා තිබුණා. ඒ සිදු වීමෙන් පස්සේ මාමා සන්නද්ධ සටනට සම්බන්ධවෙලා තිබුණා. මම නුවර ඉද්දි මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. එහෙම තියෙද්දි මාව කොටියෙක් කියල සැක කරල අල්ල ගත්තා. කලින් අපි දෙමළ කතා කරල ඒකෙන් බේරෙන්න මඩකලපු දිව්වා. ඊට පස්සේ කොටින්ගෙන් බේරෙන්න ඉන්දියාවට ගියා. ඊට පස්සේ නුවර ඇවිත් සිංහල හොඳට ඉගෙන ගෙන ඉද්දී කොටියෙක් කියල අල්ලල කූඩුවට දැම්මා. එතකොට මට අවුරුදු 19ක් විතර ඇති. පස්සේ මම කල්පනා කළා මම අයිති කොහේටද? මම කවුද? කියලා ඒ තමයි මේ චිත්‍රපටියට මගේ තියෙන ඓන්ද්‍රීය පසුබිම.

නමුත් ‘Demons in Paradise’ චිත්‍රපටිය විවේචනය කරන බොහෝදෙනා කියන්නේ මෙය ඒක පාර්ශ්වීය චිත්‍රපටයක් කියලා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

 

මේක ඒකපාර්ෂවීය චිත්‍රපටියක් කියල මට චෝදනා කරන අයට කියන්න ඕන. මේ චිත්‍රපටිය පටන් ගන්න තැන ඉඳල විනාඩි පනහක් ඉක්ම යනකම්ම මම පෙන්නන්නේ දෙමළ මනුෂ්‍යයා දකුණෙන් බැටකාපු විදිහ. ඒ පසුබිම පෙන්නන්න මම විශාල වෑයමක් අරන් තියෙනවා. ඒක කවුරුවත් කතා කරන්නේ නැහැ. මේකේ දෙවන භාගයේ මම ඍජුවම එල්.ටී.ටී.ඊ ක්‍රියාදාමය පිළිබඳව විවේචනයක් ගේනවා. ඒක තමයි මේ අය හයිලයිට් කරන්නේ. මම මේ චිත්‍රපටිය කැනඩාවේ පෙන්නද්දිත් දෙමළ ඩයස්පොරා එකෙන් විශාල විරෝධයක් ආවා. ඒත් සංවිධායකවරු මැදිහත්වෙලා ඉස්සෙල්ල චිත්‍රපටිය බලමු. ඊට පස්සෙ කතා කරමු කියලා, චිත්‍රපටිය පෙන්නුවා. මේ ප්‍රශ්නය ඇති වුණ විදිය ගැන මං කතා කරන මුල් මිනිත්තු 45-50 අතර කාලයේ මීක් සද්දයක් නැතුව බලන් හිටපු කට්ටිය දෙවන භාගය පටන් ගත්ත විතරයි කුණුහරුප කිය කිය විශාල විරෝධයක් දක්වන්න පටන් ගත්තා. දැන් තේරෙනවද ඒක පාර්ශ්වීය කවුද කියලා. මේ අයට බයේද මේ චිත්‍රපටිය ගලවන්නේ. කවද්ද අපි මේ සංවාදය එළියට ගේන්නේ. ඒ කියන්නේ වෙනස් මතයකට ඇහුම්කන් දෙන්න, ගෞරව කරන්න උතුරේ සමාජය සූදානම් නැද්ද? මේක කතා කරන්න එපා. මේක තාම අපේ සමාජයට උචිත දෙයක් නොවෙයි කියලා එක කට්ටියකට කියන්න බැහැ. ඒ තීරණය ගන්නේ කවුද?, කුමන පදනමකින්ද? මගේ ප්‍රශ්නය ඒකයි. අනික මෙවැනි මතයකට එන්න කවුද ඔවුන්ට බලය දුන්නේ කියන ප්‍රශ්නය මෙතනදි මතුවෙනවා.

නමුත් බී.බී.සී ආයතනය සමඟ පවත්වපු සම්මුඛ සාකච්ඡාවකදි දෙමළ ජනතාව මියගිහින් හෝ මේ යුද්ධය නිමාවිය යුතු බව ඔබ ප්‍රකාශ කර තිබුණා.

 

ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. මම එහෙම දෙයක් ඒ සම්මුඛ සාකච්ඡාවේදී කියා නැහැ. ඒ ප්‍රකාශය අඩංගු වන්නේ මගේ චිත්‍රපටයේ. එය කිසියම් සන්ධර්භයක් මත පිහිටා කළ ප්‍රකාශයක්. ඒක උපුටා දක්වමින් විවිධ මත ප්‍රකාශ කිරීම වැරදියි. ඒක කතා කළ යුත්තේ සිනමා කෘතියේ අන්තර්ගතයට සාපේක්ෂවයි. මගේ අදහස වුණේ වසර තිහක් තිස්සේ කාලකන්නි විදිහට පැවති මනුෂ්‍ය ඝතනය කවරාකාරයකින් හෝ නිමාව විය යුතු බවයි. නැතිව දෙමළ ජනතාව ඝාතනය කරන්න ඕන කියන එක නෙමෙයි. දෙමළ ජනයා අතර එල්ටීටීඊ සංවිධානය පිළිබඳ විවෘත සංවාදයක් ඇතිවීම වැලැක්වීමට උතුරේ දෙමළ ප්‍රභූ පන්තිය පමණක් නෙමෙයි දකුණේ සාමය වෙනුවෙන් හඬ නගන ලිබරල් යයි හඳුන්වා ගන්නා පිරිසෙන්ද බාධා එල්ලවී තිබෙන බව මේකෙන් ම පේනවා. මේ ප්‍රශ්නය විවෘත්තව සාකච්ඡා කළ යුතු බව මම මුලින්ම සඳහන් කළේ ඒකයි.

අශෝක හඳගම කියා තිබුණා ඛාන්ස් සිනමා උලළේ ජෆාර් පනායිට හිස් පුටුවක් තිබ්බ වගේ ඔබටත් මෙම සිනමා උලළේ පුටුවක් තබා තිබෙන බව. ඒකෙන් මේ ප්‍රශ්නය විසඳෙනවද?

 

ජෆාර් පනායිව එයාගෙ රට තුළ වාරණයට ලක් වුණාම එයාට සිනමා උලළෙට සහභාගිවෙන්න බැරිකමක් තිබුණා. නැතිව චිත්‍රපටි උලළේදී එයාව වාරණය කළේ නැහැ. ඒනිසා තමයි ඔහු වෙනුවෙන් වෙන් කළ ආසනයක් පනවන්නේ. නමුත් යාපනේ පවත්වන චිත්‍රපට උලෙළ විසින් තමයි මාව වාරණයට ලක් කළේ. එහෙම කරලා මට අසුනක් වෙන් කරලා ඒක ජෆාර් පනායි සම්බන්ධයෙන් කළ දේට සමාන කිරීම කොයිතරම් බුද්ධිමත්ද කියලා ඔබම හිතල බලන්න. මේ අවස්ථාවේ මාලක දේවප්‍රිය සහෘද මිත්‍රයාට මම ගෞරව කරනවා. මේ වෙනුවෙන් පෙනී ඉන්න ගත්ත උත්සාහය පිළිබඳව. මට නැවතත් කියන්න තියෙන්නේ විකාර කිය කිය ඇත්ත ප්‍රශ්නය යටගහන්න එපා. මේ භූතයා කවුද කියලා රටට කියන්න. මේ සංවාදය රටට අවශ්‍යයි. ඒක මඟහරින්න එපා.

 

රසික කොටුදුරගේ


නව අදහස දක්වන්න