අපිට ආණ්ඩු බලය ලැබුණේ රාජ්‍ය මූල්‍ය බෝම්බය සමඟයි | දිනමිණ

අපිට ආණ්ඩු බලය ලැබුණේ රාජ්‍ය මූල්‍ය බෝම්බය සමඟයි

සිතාරා සේනානි

2015 වසරේ දී ආණ්ඩුවට ලැබුණේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බයක් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

කඩා වැටුණු රාජ්‍ය ආදායමක්, අපනයනයක් පමණක් නොව පහළ යමින් තිබූ ආර්ථික වර්ධන වේගයක් ද සමග භාර ගත් ආණ්ඩුව මේ වන විට සියලු අර්බුදයන්ට මුහුණ දෙමින් ශක්තිමත් වෙමින් පවතින බවද ඇමැතිවරයා සඳහන් කරයි.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවේදී ය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා, 2015 ජනවාරි මස 8 වැනිදා අපට ලැබුණේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බයක්. අද ඊයේ ඉපදුණ අතදරුවෝ වගේ විපක්ෂයේ අය කතා කරන නිසා මේ ගැන ටිකක් මතක් කරන්න ඕනෑ. 1990 දී 20%ක් වුණ රටේ ආදායමට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2014 දී 11.4% දක්වා කඩා වැටුණා. ඒ වගේ ම තමයි රාජ්‍ය ආදායම වාර්ෂික වැඩිවීම 2006 දී 25.8% සිට 2015 දී 5.1% දක්වා කඩාගෙන වැටුණා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම වැඩි වුණා.

අද ආර්ථිකේ ගැන කතා කරන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා මුදල් ඇමැති කාලේ 2012 දී මාස තුනක් තුල රුපියල 14%කින් අවප්‍රමාණය වුණා. ඒක වලක්වා ගන්න බිලියන 4.1ක් වියදම් කළා. අපනයන අඩපණ වුණේ එතුමගේ කාලේ. 2000 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 33%ක් වුණ අපනයනය 2014 වෙද්දි 14%ට බැස්සුවා.

අපි මේ අර්බුදය වෙනුවෙන් වැයකර තියෙන්නේ ඩොලර් මිලියන 250ක් විතරයි. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ 10%කින් විතරයි. අපි තමයි මේ අර්බුදයට හොඳින්ම මුහුණ දීල තියෙන රට. පකිස්තානය, ඉන්දියාව වගේ රටවල් අපට වඩා අර්බුදවල ඉන්නේ.

රුපියල කඩාවැටීම කියන්නේ ආර්ථිකය කඩා වැටීම නෙවෙයි. අපි ගමන් කරමින් ඉන්නේ අපනයන ආර්ථිකයක් කරායි. මේ අර්බුදය හමුවේ ඉතාම පැහැදිලිව පේනවා අපි නිවැරැදි මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටින බව. මේ සියලු දේ හමුවේ අපි සංවර්ධන අඩු කරලා නෑ. අධිවේගී මාර්ගවල කටයුතු කෙරෙනවා. බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය අවසන් අදියරට ළගාවී තිබෙනවා.

පසුගිය රජයෙන් අපට උරුම වුණේ මහා ණය කන්දක්.රුපියල් ට්‍රිලියන 1.9ක් මේ වසරේ ඒ වෙනුවෙන් ගෙවන්න තිබෙනවා. ලබන වසරේ රුපියල් ට්‍රිලියන 2කට වඩා වැඩි මුදලක් ද වශයෙන් ඉදිරි වසර දෙකේදී රුපියල් ට්‍රිලියන 4ක පමණ මුදලක් ගෙවීමට තිබෙනවා. මේ වසරේ ගෙවන්න තිබෙන සම්පූර්ණ ණය ප්‍රමාණයෙන් 83%ක් රාජපක්ෂලා ලබා ගත් ණය. මේවා ගැන මේ අය කියන්නේ නෑ. අමතක කරලා ජනතාව නොමඟ යවන්න හදනවා. ඒ අය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගත් කොමිස් කුට්ටි නිසා ආර්ථිකයට තවත් විශාල බරක් පැටවී තිබෙනවා.

හම්බන්තොට වරායේ අලාභය 2016දී රුපියල් බිලියන 46යි. බොහෝ අමාත්‍යාංශවලට අවුරුද්දකටවත් එවැනි මුදලක් ලැබෙන්නේ නෑ. මත්තල ගුවන්තොටුපළ අපි ලබා ගන්නා විට 2016 දක්වා අලාභය රුපියල් බිලියන 8.3යි. මිහින්ලංකා අපට බාර දෙන විට අලාභය බිලියන 17.3යි. 2017 මාර්තු මාසය වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමුච්චිත අලාභය රුපියල් මිලියන 169යි. 2019, 20,21 ලංකාවේ වැඩියෙන් ම ණය ගෙවීමට සිදුවන වර්ෂ ලෙස අපට භාර ගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම විදේශ ණය ගෙවීමේදී විදේශීය සංචිත කෙරෙහි විශාල පීඩනයක් එල්ල වෙනවා. රුපියල අවප්‍රමාණය වීමට බලපෑ තවත් ප්‍රබල කරණක් තමයි අපේ විදේශ සංචිචත කෙරෙහි ඇතිවූ මේ මහා පීඩනය. 2014 ආර්ථික වර්ධන වේගයක් ඇතිවුණත් යුද්ධය නිමාවීමෙන් පසුව ඇතිවූ ඒ තත්ත්වය රටේ වාසියට හරවා ගන්න බැරිවුණා. ඒ අය ක‍ළේ රාජපක්ෂ පාලනය සදහට ම තියාගන්න සැලසුම් හදන එක මිස එහි වාසිය රටට දෙන්න හැදුවේ නෑ.

කවුරුන් මොනවා කීවත් මේ ආර්ථිකය සාර්ථකව ශක්තිමත්ව අභියෝග ඉදිරියේ ඉදිරියට යනවා. ආර්ථිකය කඩාවැටිලාත් නෑ. කඩා වැටෙන්නේත් නෑ. රනිල් වික්‍රමසිංහ මහතා හා අපි ඉන්නතෙක් මේක කඩා වැටෙන්න දෙන්නේ නැ. කවුරු මොනවා කිව්වත් ඒ ආර්ථික තත්ත්වය අද ශක්තිමත්ව තිබෙන බව පේනවා. පසුගිය වසර වනවිට නියඟයකුත්, මහා ගංවතුරකුත් තිබුණා. එයත් එක්ක සංවර්ධන වේගය 3.1 දක්වා අඩුවුණා. ඒක අපි පිළිගන්නවා. නමුත් මේ වනවිට පසුගිය කාර්තුවේ වර්ධන වේගය 3.7% දක්වා වැඩිවී තිබෙනවා. මේ වසරේ වර්ධන වේගය 4% දක්වා දක්වා වැඩිකර ගැනීමට හැකිවේවි කියලා අපි විශ්වාස කරනවා. උද්ධමනය මේ වනවිට අඩුවී තිබෙනවා.

රටේ ආදායම අපි රජය භාර ගන්නා අවස්ථාවේ පහළ ගොස් තිබුණත් මේ වනවිට මේ වසරේ පළමු කාර්තුවේදී පමණක් 12.3% දක්වා වැඩිවී තිබෙනවා. ඒ වගේම අලුත් දේශීය ආදායම් බදු පනත යටතේ බදු ෆයිල් සංඛ්‍යාව ලක්ෂය දක්වා වැඩිකිරීමට අපි කටයුතු කළා. ඒක සාමාන්‍ය ජනතාවට දැනෙන දෙයක් නෙවෙයි. මීට පෙර බදු ෆයිල් ලක්ෂයක් තිබුණේ නෑ. තවමත් මේ රටේ වෘත්තිකයන්ගෙන් 18%යි බදු ගෙවන්නේ. 82%ක් අය කරන්නේ වක්‍ර බදු. සාමාන්‍ය ජනතාවත් ඒ බද්දට අයත්. අපේ අරමුණ වන්නේ මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩි අයගෙන් ආදායම් බදු අය කර ගැනීම සහ සාමාන්‍ය ජනතාවට සහන සැලසීමයි. මේවා ගැන වැඩිපුර කෑගහන්නේ බදු නොගෙවන අයයි.

බදු අයකිරීම ගැන චෝදනා කරන බන්දුල ගුණවර්ධන මහතාටත් ආදායම් බදු ගෙවීම ගැන නඩුවක් තිබෙනවා ද කියාලත් මම දන්නේ නෑ. මේ කලාපයේ අඩුවෙන් ම ආදායම් බදු අය කරන රටක් අපේ රට. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නෑ. පෞද්ගලික අංශයේ සමහර අය රජය හැම දේම නොමිලේ ලබා දිය යුතුයි කියලා සිතනවා. අපි සල්ලි තිබෙන අයට ආදායම් ලබන අයට නොමිලේ ලබා දෙන යුගය අපි අඩුකරනවා. අපි නොමිලේ ලබා දිය යුතු අයට ලබා දෙනවා. එසේ ලබා දෙන ප්‍රමාණය වැඩිකරන්න ඕනෑ. දුප්පත් අයට ලැබෙන්න තිබෙන ආදායම පොහොසතුන් අය සතු කරන්න බෑ. ඒකයි අපේ ප්‍රතිපත්තිය. මේ රටේ ඉතිහාසයේ හොඳම අපනයන වර්ෂය 2017 වසරයි. අපි අපනයන ආර්ථිකයකට යාම ඉතාමත් ම අවශ්‍යයි.

ඉතිහාසයේ වැඩිම මුදලක් අපි ගම සංවර්ධනය වෙනුවෙන් වෙන් කරල තියෙනවා. මේ මොහොත වන විට ගම්පෙරළිය යටතේ ව්‍යාපෘති 33,875ක් ක්‍රියාත්මකයි. සෑම ගමකම කුමන හෝ සංවර්ධන කටයුත්තක් දෙකක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. නොවැම්බර් මාසය දක්වා වන මාස 4ට පමණක් රුපියල් බිලියන 20ක් ඒ වෙනුවෙන් වෙන් කරල තියෙනවා. 2019 අයවැයෙන් ගම්පෙරළියේ ඊළඟ පෙරළිය පටන් ගන්නවා.

ගමේ ව්‍යාපාරිකයන්ට නැගී සිටින්නට ශක්තිය දෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ මස 01 දා වන විට අලුත් ම ව්‍යවසායකන් 26,978කට මේ ණය පහසුකම් ලබා දීල ඉවරයි. රුපියල් බිලියන 5.4ක මුදලක් එසේ ලබා දී තිබෙනවා. මේ සියල්ල හමුවේ මේ වසර අවසන් වෙද්දි 4%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන්නට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙමඟින් ඉදිරියේදී නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීම අපේ අරමුණයි.

පසුගිය රජය හම්බන්තොටට කෝටි ගණන් වැය කර පාරවල් හැදුවා. ඒත් හම්බන්තොට තිබෙනවා වැසිකිලි නැති ගෙවල් 15,000ක්. වැව් තිබෙනවා දෙදාහක් විතර තිබෙනවා හදන්න. පාසල් පවා තිබෙනවා වැසිකිලි නැති. නාමල් බේබිලා රේස් පැද්දා ඒත් කවදාවත් තමන්ගේ දිස්ත්‍රික්කයේ දුප්පත් මිනිසුන්ගේ සංවර්ධනය ගැන සිතුවේ නෑ. මේ වගේ ආණ්ඩුවක් තමයි අපි පරාජය කළේ.

දැන් ගහන්න පුළුවන් හැම තුරුම්පුවක් ම ගහලා අර 16 දෙනාගෙ කල්ලිය දවල් හීන දකිනවා. දැන් කියනවා භාරකාර ආණ්ඩුවක් ගැන. කලින් විශ්වාසභංගයක් ගැන කීවා. ඊට කලින් තව ආණ්ඩුවක් ගැන කීවා. මේවා දවල් සිහින විතරයි. දේශපාලන වශයෙන් නන්නත්තාර වූ දේශපාලන සෙල්ලක්කාරයන් පිරිසක් ඉන්නවා 16 කල්ලිලය කියලා. ඒ අයගේ දවල් සිහින විතරයි මේවා. මේ අය මේවා කියන්නේ මොඩකමට විතරක් නෙවෙයි. මේවා නිතර ලියනවිට පිටරටවල බලන් ඉන්න අය බය වෙනවා. ආයෝජනය කරන්න ඉන්න අය බය වෙනවා. මොකද රජය අස්ථාවරයි කියලා ඒ අය සිතනවා. ඒ අය දන්නේ නෑ මේ මී හරක් රැළක් කියලා. පත්තරේ බලනකොට හිතන්නේ මේ ප්‍රබල අභියෝගයක් කියලා. අපි තමයි විතරයි දන්නේ මේ ජෝකර්ලා විතරක් කියලා. ඒත් ඒවා දැක්කාම ආර්ථිකයට තවත් බලපානවා. මේ වැරදි ප්‍රවෘත්ති සොයා බලා මාධ්‍ය වාර්තා කළ යුතුයි.

විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

ඡායාරූපය- හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න