පරෙස්සමෙන්! මේ ආපදා කාලයයි | දිනමිණ

පරෙස්සමෙන්! මේ ආපදා කාලයයි

ආපදාවට ප්‍රතිචාර දැක්වීම විතරක් නෙවෙයි ආපදා අවම කිරීම සහ පෙර සූදානමටත් වැඩි අවධානයක් සහ වැදගත්කමක් ලබාදෙනවා. ආපදා අවම කිරීමේදී රුපියල් මිලියන හයසීයකට ආසන්න මුදලක් වැය කරලා, සෑම වසරකම ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති, නියඟය අවම කිරීමේ ව්‍යාපෘති , නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ජනතාව දැනුවත් කිරීමෙන් ආපදා අවම කරගැනීමේ ක්‍රියාවලියත් අප විසින් සිදු කරනවා.

ශ්‍රී ලංකාව ස්වාභාවික ආපදාවන්ගෙන් පීඩාවට පත්වන රටවල් අතර දිනෙන් දින ඉදිරියට පැමිණෙමින් සිටින රටකි. මේ වන විට වායුගෝලයේ ඇති වී ඇති තාවකාලික අවපීඩන තත්ත්වයත් සමඟ එල්ලවන තර්ජනයන්ට සාර්ථකව මුහුණ දී, ජීවිත හානි සහ දේපල හානි අවම කරගැනීමට නම් ජනතාව දැනුවත්භාවයකින් සහ පෙර සූදානමකින් සිටීම වැදගත්ය.

පවතින අයහපත් කාලගුණයත් සමඟ මේ වන විට පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව හතළිස් අටදහසකට ආසන්න වන අතර ආපදා තත්ත්වයෙන් මෙම මස තුළ සිදුවූ මරණ සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ආරක්ෂිත ස්ථාන විසි එකක් පුරා පුද්ගලයෝ පන්දහස් අටසිය තිස්හතරක් දැනට තාවකාලිකව රඳවා සිටිති. අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් මත, ආපදාවෙන් පීඩාවට පත් නිවාස සහ ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් 10000ක අත්තිකාරම් මුදල එම ස්ථානයේ දී ම කඩිනමින් ලබාදීමට මේ වන විට අඛණ්ඩව කටයුතු කරමින් සිටී. කළුතර, ගාල්ල, බදුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කවලට නායයෑම සම්බන්ධයෙන් ලබාදී තිබෙන නිවේදනය තවමත් වලංගු වන අතර රාජාංගනය, දැදුරුඔය, ලක්ෂපාන සහ පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘතකොට ඇත. මේ වන විට මිලිමීටර් 110ක් ලෙසින් වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ උතුරු මැද, මරදංකඩවලිනි. ඉදිරියේදීත් උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට තදවැසි සහිත තත්ත්වයන්, ගංවතුර සහ වෙනත් ආපදා තත්ත්වයන් ඇතිවීමේ තර්ජනයක් පවතී. විශේෂයෙන්ම මධ්‍ය කඳුකරයටත් වැඩි බලපෑමක් ඇති විය හැකිය. එම ආපදාවන්ට මුහුණ දීමට මේ වන විට සියලු කටයුතු සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.

කළමනාකරණ කමිටු

මෙහිදී අප සමඟ අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ මෙවැනි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් වර්ෂයක් පාසා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ලෙස ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දාහකට වැඩි ප්‍රමාණයක් සිදු කෙරෙන බවය. එසේම අත්පත්‍රිකා බෙදාදීම් සහ ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් වැඩසහටන් දියත්කොට ඇති බවය. ආපදා කළමනාකරණ කමිටු මඟින් ජනතාව දැනුවත් කරන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධ කරගනිමින්, දිස්ත්‍රික් මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ආපදා කළමනාකරණ ඒකක 25ක් පිහිටුවා ඇත. ඊට අමතරව ජාතික මට්ටමෙන් සියලුම දැනුවත් කිරීම් සිදු කෙරෙන බවත්, පෙරහුරු පවත්වා, නායයෑම්, සුනාමි අවස්ථාවන්වලදී ජනතාව ඉවත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ජනතාවට සුදුසු දැනුම ලබාදී තිබෙන බවත් සහකාර අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

" ඇත්තෙන්ම ආපදාවට ප්‍රතිචාර දැක්වීම විතරක් නෙවෙයි ආපදා අවම කිරීම සහ පෙර සූදානමටත් වැඩි අවධානයක් සහ වැදගත්කමක් ලබාදෙනවා. ආපදා අවම කිරීමේදී රුපියල් මිලියන හයසීයකට ආසන්න මුදලක් වැය කරලා, සෑම වසරකම ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති, නියඟය අවම කිරීමේ ව්‍යාපෘති , නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ජනතාව දැනුවත් කිරීමෙන් ආපදා අවම කරගැනීමේ ක්‍රියාවලියත් අප විසින් සිදු කරනවා. පහුගිය ගංවතුර තත්ත්වයේදී ඉවත්වෙන්න කියලා පූර්ව දැනුම්දීමේ පණිවුඩය නිසි වේලාවට ජනතාවට ලබාදුන්නා.

පොලිස් හමුදා සහාය

පොලිසිය හා යුද හමුදාව එක්ක එකතු වෙලා ජනතාව දැනුවත් කිරීමේ කටයුතු කළා. නමුත් ජනතාව ඉවත් වුණේ නෑ. ඒක අපට තියෙන විශාල ගැටලුවක්. 2018 දි ගංවතුර හින්දා එකක්වත් මරණ සිදුවුණේ නෑ. ගංවතුර තත්ත්වයේදී සැඩ වතුර පාරවල් හරස් කරන්න ගිහිල්ලා, දිය ගැලීම් බලන්න ගිහිල්ලා, බෝට්ටු පදින්න ගිහිල්ලා සෑහෙන්න මරණ සිදු වුණා. ඒ වගේම අකුණු අනතුරු හින්දාත් මරණ 6ක් පමණ සිදු වුණා. අපි හැමවෙලේම කියනවා අකුණු ගහනකොට කුඹුරු වැඩ කරන්න එපා. එළිමහන් ස්ථානවල ඉන්න එපා කියලා. ඒත් ඒ දේවලට ඇහුම්කන් දෙන්නෙ නෑ. 2017 වසරේදි නායයෑම්වලින් තමයි බොහෝ අනතුරු වුණේ. ඒ වගේම 2016, 2017 වර්ෂවලදි ගංවතුර හේතුවෙන් මරණ කිහිපයක් සිදු වුණා. හේතුව අපි දෙන පණිවුඩයට අනුව ජනතාව ඉවත් වුණේ නෑ. අන්තිම තත්පරේ වෙනකල් බඩු භාණ්ඩ ආරක්ෂා කරකර හිටියා. පණිවුඩය ලැබුණු හැටියේ ඉවත් විය යුතුයි. උදාහරණයක් විදිහට ගිං ගඟේ උඩහට වහිනකොට මිලිමීටර් තුන්සීයක් හාරසීයක් වැස්සොත් පහළ ගංවතුර තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. හැම පැයෙන් පැයම අපි නිරීක්ෂණය කරනවා. ඒ වුණත් ගඟ පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට ඒ පණිවුඩය දැනුම් දුන්නත්, ඒගොල්ලන්ට වැස්ස අඩු හින්දා අවදානමක් දකින්නෙ නෑ. ලැබෙන අවවාදාත්මක නිවේදනය පිළිබඳ දක්වන නොසැලකිලිමත්භාවය නිසා තමයි ගොඩක් වෙලාවට අනවශ්‍ය අනතුරු ඇතිවෙන්නෙ. අපි දුන්නු පණිවුඩයට අනුව 2017දි මිනිස්සු 78000ක් පමණ ආරක්ෂිත ස්ථානවලට ගියා. ගංවතුරට කොටු වුණේ 14000ක් වගේ පිරිසක්."

ලංකාවේ බොහෝ තැන්වල තියෙන ගැටලුව වන්නේ ආපදා තත්ත්වයකදී කරන දැනුම් දීම්වලට අනුව ආරක්ෂිත ස්ථාන කරා නොයෑමය. නමුත් සුනාමි තත්ත්වයක් ගැන දැනුම් දුන්විට ජනතාව ඉවත් වෙති. ඒ 2004 වසරේ ඒ අයට තියෙන අඳුරු මතකය නිසාය. අවශ්‍ය පරිදි ලැබෙන පණිවුඩවලට නිසි ප්‍රතිචාර දැක්වීමෙන් ජනතාව අදාළ අංශවලට අපිට සහය දිය යුතුය. පුහුණුවීම් සහ දැනුම ලබාදෙන අවස්ථාවලට සහභාගී වී, ඒවා නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීමත් ඉතාමත් වැදගත්ය. උදාහරණයක් ලෙස මේ ප්‍රදේශයේ, මේ කන්දේ, මේ කොටස නායයනවා යැයි හරියටම කියන්නට හැකි තාක්ෂණයක් නැත. නමුත් නායයෑම් ලක්ෂණ ඇති ප්‍රදේශ සහ ඒ ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව හඳුනගෙන තිබේ. ඒවා සිතියම්ගත කරලා තිබේ. එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඒ පිරිස දැනුවත් කරනු ලැබේ.

නායයෑම් අවදානමක් ඇතිවන විට ඉවත් විය යුතුය. තමාට තමාගේ වපසරිය තුළ කළමනාකරණය කරගන්න පුළුවන් දෙයක් නම් එය ආපදාවක් නොවේ. පිටින් උදව් අවශ්‍ය වන අවස්ථාවක් යනු ආපදාවකි. ගෙවල් කිහිපයක උළුකැට කැඩීම ආපදාවක් වන්නේ නැත. ජනතාවගේ පැත්තෙනුත් ගෘහස්ත ආපදා කළමනාකරණය සිදු විය යුතුය. තමාගේ නිවෙස අවට ගස් අතු කපාදැමීම, ආපදා මල්ල සූදානම් කොට තබාගැනීම වැනි දේ ගැන සැලකිලිමත් විය යුතුය. මගේ ගෙදර මට බලපාන ආපදා පිළිබඳ මම සහ මගේ පවුල පිළිබඳ මුලින්ම දැනුවත් විය යුතුය. ආපදාවකදී තමන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නිවාසය තුළ සාකච්ඡාවක් සිදු කෙරෙනවා නම් එය ඉතා වැගදත්ය. පසු ගිය ආපදා තත්ත්වයන්වලදී උප්පැන්න සහතිකේ නැති වුණා, ගෙදර ඔප්පු නැතිවුණා යැයි ජනතාව මැසිවිලි නැගූහ. තමන්ගෙ ගෙදර වැදගත් ලියකියවිලි, හැඳුනුම්පත්, රන් බඩු, බෙහෙත් ද්‍රව්‍ය ආදිය එක මල්ලක් ලෑස්ති කර තබා ගැනීමට, ආපදාවන්ට ලක්වන ප්‍රදේශවල ජනතාව කටයුතු කළ යුතුය. එවිට ආපදා තත්වයකදී ආරක්ෂිත ස්ථාන බලා ඉවත්වෙද්දි අනිත් සියල්ල අමතක කර, ආපදා මල්ල පමණක් රැගෙන ගියද විශාල සහනයක් ලැබේ. එහෙත් ජනතාව බඩුභාණ්ඩ රැගෙන යෑමට බොහෝ වේලාවක් මිඩංගු කරති.

ආපදාවකදී විපතට පත්වන ජනතාව වෙනුවෙන් සහන සලසන ආකාරය පිළිබඳද ප්‍රදීප් කොඩිප්පිලි මහතා අදහස් දක්වා සිටියේය.

"සහන සැලසීම සිදු වෙන්නේ සහන සේවා මධ්‍යස්ථානය මඟින්. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියන ආයතන පහම එකතු වෙලා ඉන්නවා. සහන සලසන්න වෙනම පත්කරලා තියෙන ඒකකය තමයි සහනසේවා මධ්‍යස්ථානය කියන්නෙ. ඒ හරහා ලංකාවේ සෑම පුද්ගලයෙකුටම රක්ෂණයක් ලබාදීලා තියෙනවා.

මරණයකදී රුපියල් ලක්ෂයක් ගෙවනවා. ඊට අමතරව නිවාස සහ ගොඩනැගිලි හානිවලට රුපියල් ලක්ෂ 25ක උපරිමයක් යටතේ වන්දි ලබාදෙනවා. ලංකාවේ තියෙන සෑම ගොඩනැගිල්ලක්ම සෑම පුද්ගලයෙක්ම ජාතික රක්ෂණ භාර අරමුදල ඔස්සේ රක්ෂණය කරලා තියෙන්නෙ. ආපදාවකින් පීඩාවට පත්වෙන පුද්ගලයන් පිළිබඳ මුලින්ම දැනුවත් වෙන්නෙ ග්‍රාම නිලධාරීතුමා. ඔහු සෑම නිවසකටම ගිහින් තොරතුරු ලබාගන්නවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව ආපදා සහන නිලධාරියෙක් ඉන්නවා. ඒ හරහා රුපියල් 10000හේ දීමනාව අත්තිකාරම් මුදලක් විදිහට මුලින්ම ගෙවනවා. මරණයක් සිදු වෙලා නම් ඒ අදාළ මුදල එවෙලෙම චෙක්පතකින් ලබා දෙනවා. නිවාස හානිවලට අත්තිකාරම් මුදල 10000ක් ගෙවලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් තක්සේරු නිලධාරින් එවනවා. ඒ තක්සේරු නිලධාරින් ගෙයක් ගෙයක් පාසා ගිහින් සිදුවූ හානිය තක්සේරු කරනවා. තක්සේරු වාර්තා යොමුකරන්නෙ දිස්ත්‍රික් ලේකම්තුමාට. දිස්ත්‍රික් ලේකම්තුමා සහතික කරලා, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට යොමු කරනවා. අපි ඒ තක්සේරු වාර්තා අනුව ග්‍රාම නිලධාරි සහතිකයයි, ප්‍රාදේශිය ලේකම්ගේ සහතිකයයි, දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහතිකයයි මත අපෙන් ඉල්ලුම් කරලා තියෙන මුළු මුදලම නිදහස් කරනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා, දිස්ත්‍රික් ලේකම්තුමා මඟින් තමයි ඒ මුදල බෙදාදෙන්නෙ.

වන්දි සහ සහන

මීට අමතරව කඳවුරුවලට පැමිණෙන ජනතාවට පළමුවෙනි පැය හය ඇතුළතදී අනිවාර්යෙන්ම කෑම වේලක් ලබාදෙන්න සලස්වා තිබෙනවා. පිසූ ආහාර ලබාදෙන්න, වියළි ද්‍රව්‍ය ලබාදෙන්න සහ අනිකුත් සියලු සහන ලබාදෙන්නත් අපි බැඳිලා ඉන්නවා. 2016 ගංවතුරෙදි හානිය තක්සේරු කරලා නිවාසයකට උපරිමය රුපියල් ලක්ෂ 25වෙනකල් වන්දි ලබාදුන්නා. 2016 කොළඹ ගංවතුරෙදි හානියට පත්වුණු බඩු භාණ්ඩවලටත් වන්දි ගෙව්වා. අනිත් ගංවතුර තත්ත්වයන්වලදීත් එහෙමයි. ගෙදරකට වතුර පාරක් නිකං හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ අයටත් ගේ හෝදගන්න විතරක් රුපියල් 10000ක් ගෙව්වා. එවැනි සහන දීලා තියෙනවා. ආපදා සම්බන්ධයෙන් රජයක් වැඩියෙන්ම සහන දෙන රට ලංකාව කියලා කිව්වට වරදක් නෑ."

ගංවතුර, නායයෑම් වැනි ආපදාවන්වලට ස්වාභාවික සංසිද්ධීන්වලට වැඩි බලපෑමක් එල්ල කරනුයේ ජනතාව විසිනි. අක්කර දහස් ගාණනක කැලෑ ගිනි තබන ඔවුන් පසුව මැසිවිලි නඟන්නේ, යන්තම් වැස්සටත් නායයන බව කියමිනි. කැලෑවක ඇති සම්පූර්ණ උඩ ආවරණය නිරාවරණය වූ පසු, ලැබෙන තද වැස්සට පාංශු ඛාදනය වීමෙන් නායයෑම් සක්‍රීය විය හැකිය. එසේම ගං ඉවුරුවලවල හෝ නායයෑම් බහුල ප්‍රදේශයක නොකොට බලෙන් පදිංචි වීමට ජනතාව කටයුතු කරති. ආපදා සොයාගෙන ගොස් ආපදාවලට ලක්වන ජනතාවක් හේතුවෙන් දිගින් දිගට ම දැකිය හැක්කේ ආපදා තත්ත්ව වර්ධනය වීමකි. ආපදා බහුල රටක් වශයෙන් සමීක්ෂණ වාර්තාවකට අනුව මේ වන විට ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට පත්ව ඇත. ජනතාව විසින් ඇති කරන ආපදා අවම කිරීමට ජනතාව ක්‍රියාත්මක විය යුතුය. මිනිසා ජීවත් විය යුත්තේ පරිසරයට අනුගත වෙමින්, ආපදාවන් සමඟ ජීවත්වෙමින් සහ පරිසරයට ආදරය කරමිනි. එසේ නොවුණහොත් ආපදා බහුල වනවා පමණක් නොව, ආපදාවලින් සිදුවන හානියත් වැඩි විය හැකි බව මතක් කළ යුතුය.

කාංචනා සිරිවර්ධන

අදහස් 2ක් ඇත

Gan wathure Diya Koodella gen Prawesam Weyalla, Daru Bokke Biththara danne

Ganwathure Diyakoodellagen Prawesam wenna, Un daru Bkke Biththara danne.

නව අදහස දක්වන්න