ඇත්ත නැත්ත සහ ප්‍රබන්ධ | දිනමිණ

ඇත්ත නැත්ත සහ ප්‍රබන්ධ

මඟ හැරුණු මිනිසා 93

“ශ්‍රීමතී සහෝදරී රෝහණ සහෝදරයා සමග විවාහ වූ පසුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන පංතිවලට සහභාගි කරවා ගෙන තිබුණා. රෝහණ සහෝදරයා සමග දේශපාලන සාකච්ඡාවලට සහභාගි වීමට මොරටුවේ රාවතාවත්තේ ඔවුන්ගේ නිවසට ආගිය සියලු දෙනාට ඇය සහෝදරත්වයෙන් යුතුව හැකි ආකාරයෙන් සත්කාර කළා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට පක්‍ෂපාතී ලෙස කටයුතු කළා. රෝහණ සහෝදරයා ජීවත් ව සිටිය දීත්, ඔහු ඝාතනයට පත් කළ පසුවත් තම දූ දරුවන් මුළු ධෛර්යය යොදා රැක බලා ගනිමින් ශ්‍රීමතී සහෝදරිය කටයුතු කළ බව අපි හොඳින් ම දන්නවා.

ලයනල් බෝපගේ යළිත් වරක් ශ්‍රීමති චිත්‍රාංගනී සහ අගේ දරුවන් මුණගැසු‍ණේය.

“අනූ ගණන්වල අග භාගයේ දී හෝ 2000 මුල් භාගයේ දී රාගම නාවික හමුදා කඳවුරේ දී අපි නැවතත් ශ්‍රීමතී සහෝදරියත් දරුවනුත් බලන්නට ගියා. පසු කාලයක චන්ද්‍ර‍්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිනියගේ ආණ්ඩුවේ ඇමතිවරුන් වූ මහින්ද රාජපක්‍ෂ මහතාත් මහින්ද විජේසේකර මහතාත් ඒ අයට ආධාර උපකාර කර තිබුණ බව අපි දැන ගත්තා. රජයේ සමහර ඇමතිවරු, විශේෂයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රීමතී සහෝදරිය සහ ඇගේ දරුවන් ඔස්ට්‍රේලියාවට යවන්නට අවශ්‍ය කටයුතු සූදානම් කර දෙන බවට පොරොන්දු වුණ බවත් ඇය අපට දැන්වුවා. 1994 දී යළිත් ප්‍රසිද්ධ දේශපාලනයට ඇවිත් සිටි ජනතා විමුක්ති පෙරමුණෙන්, මූල්‍ය සහ වෙනත් ආධාර ශ්‍රීමතී සහෝදරියට ලැබෙන බවත් ඇය කියා සිටියා. 1994 පටන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ඔහුගේ බිරිඳ පෞද්ගලිකව ම වාගේ ශ්‍රීමතී සහෝදරිය සහ දරුවන් පිළිබඳව සොයා බැලූ බවත් ඇය අපට කිව්වා.”

බෝපගේ පවසන අන්දමට කරුණු දෙකක් ගැන සළකා බලන්නට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඉන් පසුවත් සූදානම්ව සිටියහ.

“පළමුව, ශ්‍රීමතී සහෝදරිය ඉදිරියේ දී අනතුරට පාත්‍ර විය හැකි කාන්තාවක් (A woman at risk) ලෙස සළකා විදේශයක පදිංචි කළ හැකි දැයි සළකා බැලීම. මේ කරුණ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ යුතුව තිබුණේ සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරයාගේ කාර්යාලයට. මම ලංකාවේ බොහෝ දෙනෙකුට මේ පිළිබඳව දුරකතනයෙන් කතා කළා. කවර විදියේ දේශපාලන අදහස් දැරුවත් මා කතා කරපු සියලු දෙනාම පාහේ මේ ගැන සහයෝගය දෙමින් කරුණු ඉදිරිපත් කරන්නට සූදානම්ව සිටියා. ඒ සියලු දෙනාට මගේ අවංක ස්තුතිය පුද කරන්නට කැමතියි. මා කතා කළ එක් අයෙක් තමයි රධිකා කුමාරස්වාමී මහත්මිය. ඇය ඒ කාලයේ එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ විශේෂ නියෝජිතවරිය හැටියට කටයුතු කළා.

“ශ්‍රීමතී සහෝදරිය ගැන කරුණු පැහැදිලි කළ විට ඇය ඒ පිළිබඳව ඔස්ට්‍රේලියාවේ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරයාගේ කාර්යාලයට ශ්‍රීමතී සහෝදරියට ලංකාවේ සාමාන්‍ය ජීවිතයක් ගත කළ නොහැකි තත්වයක් පවතින බවත් ඉදිරියට ඇයට බොහෝ සෙයින් වධ වේදනාවලට ලක් වීමේ අවදානමක් පවතින බවත් ඒ හේතුවෙන් ඇයට පිළිසරණය ලබා දෙන ලෙසත් ප්‍රබල නිර්දේශයක් කළා. නමුත් සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරයාගේ කාර්යාලය ඒ නිර්දේශය ප්‍රතික්ෂේප කළා. මා මේ සම්බන්ධයෙන් සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරයාගේ දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ ස්ථානාධිපති ස්ටීවන් වුල්ෆ්සන් මහතා දෙවරක් හමු වුණා. මට හැඟුණේ ඒ මහතා සරණාගතයන් පිළිබඳව ඒ තරම් අනුකම්පාවක් දක්වමින් කටයුතු කළ කෙනෙක් නොවන බවයි.

“දෙවැනි ව, ශ්‍රීමතී සහෝදරිය විදේශීය රටකට ගොස් එහි දී සරණාගතයකු ලෙස පිළිගන්නා මෙන් අයැදුම් පතක් ඉදිරිපත් කළ හොත් ඒ ගැන සළකා බැලීමට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව හිටියා. තරමක හෝ ප්‍රායෝගික වලංගු භාවයක් තිබුණේ දෙවැනි කරුණේ විතරයි. එහෙත් තනිවම දරුවන් සමග වෙනත් රටකට යන්නට තරම් මානසික සුවයක් ශ්‍රීමතී සහෝදරියට තිබුණේ නැහැ. වෙනත් රටකට ටික කලකට හෝ පහසුකම් සහිතව යන්නට සැලසුම් කළත් ඇයව ඊට එකඟ කරවා ගත හැකි වූණේ නැහැ.

“මෙම තත්වයෙන් ඔබ්බට ගමන් කරන්නට වෙනත් ආකාරයේ විකල්ප නීත්‍යානුකූල ක‍්‍රියා මාර්ගයක් සොයා ගැනීමට අපට අපහසු වුණා. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඔස්ට්‍රේලියානු රජයට ඉදිරිපත්කළ වාර්තාවෙන් පසුවත්, ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් මෙම කරුණ ගැන සානුකම්පිකව සළකා බැලූ බව ඔවුන්ට ගරු කිරීමක් වශයෙන් සඳහන් කරන්න ඕනේ.

“මේ සිදුවීම්වලින් වසරකට පමණ පසුව, ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් ශ්‍රීමතී සහෝදරිය සම්මුඛ සාකච්ඡාවකට කැඳවා තිබුණා. ඇයත්, ඇගේ සොහොයුරියත් තවත් කීප දෙනෙකුත් මේ පිළිබඳව ඔවුන් කළ යුත්තේ කුමක්ද කියලා අපෙන් විමසුවා. එම සම්මුඛ සාකච්ඡාවට අනිවාර්යයෙන් සහභාගී වන ලෙස අපි ඔවුන්ට උපදෙස් දුන්නා. ස්විට්සර්ලන්තය වැනි නන්නාඳුනන දේශයකට අලුතින්ම ගොස් තනිවම ජීවත් වීමට සිදු වේය යන බියෙන් ඒ අය එම සම්මුඛ සාකච්ඡාවට සහභාගී නොවන්නට අදහස් කර ගෙනයි හිටියේ. ඒත්, ඊට සහභාගි වූ බව දැන ගන්න ලැබුණා. ඒත් සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයෙන් ඉදිරිපත් කළ අදහසට සමාන කරුණු ඉදිරිපත් කරමින්, ස්විට්සර්ලන්තය විසිනුත් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන ලද බව තමයි අපට දැන ගන්නට ලැබුණේ.

“ඔවුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්න කළ ඉල්ලීම අපට ඉටු කළ නොහැකි වූ බැවින් සහ රාජ්‍ය බලය දැරූ වගකිව යුතු කොටසක් ඔවුන්ට ආධාර කරන්නට පොරොන්දු වී තිබුණ නිසාත් වන්නට ජනතා විමුක්ති පෙරමුණත් රෝහණ සහෝදරයාගේ පවුලේ අය හොඳින් බලා ගන්න බව පෙනුණ නිසාත් අපි තව දුරටත් ඒ ගැන මැදිහත් වෙන්නට ගියේ නැහැ. ඒත් ඊට වසර කිහිපයකට පස්සේ අයෙමත් ඔස්ට්‍රේලියාවට ඒමට හැකි දැයි සොයා බලන්න ඒ අය උත්සාහ දැරූ බව මට දැන ගන්න ලැබුණා. ඒ නිසා සමහර දෙනෙක් කියන විදිහට - ‘රජයේ වගකීම යටතේ ත්‍රිකුණාමලයේ නාවික හමුදාව බාරයේ තව දුරටත් ජීවත් වීම මැනවැයි චිත්‍රාංගනී විජේවීර තීරණය කළාය’ යන ප්‍රකාශය ඉතාමත් අසම්පූර්ණ, පදනම් විරහිත, නොමග යවන සුළු ප්‍රලාපයක්.

“ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය හෝ ඉවත් කළ සමහර දෙනෙක් ‘චිත‍්‍රාංගනී ප‍්‍රනාන්දු සහෝදරී ජ.වි.පෙ. නායකයාගේ බිරිඳ මිස, ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මගට කිසිම අයුරකින් අවතීර්ණ නොවූ, පක්‍ෂයට මොනම අයුරකින් හෝ බලපෑම් නොකළ තැනැත්තියක් බව ප්‍රකාශ කරනවා මම දැකලා තියෙනවා. ශ්‍රීමතී සහෝදරියගේ මව්පියන් ඇතුලු පවුලේ සියලු දෙනාම ලංකා සම සමාජ පක්‍ෂයේ සාමාජිකයන්, ක‍්‍රියාකාරිකයන් හෝ ආධාර කරුවන්. පසුව ඔවුන් සියලු දෙනාම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයන් සහ ක‍්‍රියාකාරිකයන් බවට පත් වුණා. ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා ව සිටි ශ්‍රීමතී සහෝදරියගේ වැඩිමහල් සොහොයුරු නැසී ගිය එච්. එන්. ප‍්‍රනාන්දු සහෝදරයා ඇතුලු පවුලේ සහෝදරවරු සියලු දෙනාම ජ.වි.පෙ. දේශපාලන ක‍්‍රියාකාරිකයන් මේ සියලු දෙනා උපතින් ක්‍රිස්තියානි ලබ්ධිකයෝ.

“ශ්‍රීමතී සහෝදරී රෝහණ සහෝදරයා සමග විවාහ වූ පසුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන පංතිවලට සහභාගි කරවා ගෙන තිබුණා. රෝහණ සහෝදරයා සමග දේශපාලන සාකච්ඡාවලට සහභාගි වීමට මොරටුවේ රාවතාවත්තේ ඔවුන්ගේ නිවසට ආගිය සියලු දෙනාට ඇය සහෝදරත්වයෙන් යුතුව හැකි ආකාරයෙන් සත්කාර කළා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට පක්‍ෂපාතී ලෙස කටයුතු කළා. රෝහණ සහෝදරයා ජීවත් ව සිටිය දීත්, ඔහු ඝාතනයට පත් කළ පසුවත් තම දූ දරුවන් මුළු ධෛර්යය යොදා රැක බලා ගනිමින් ශ්‍රීමතී සහෝදරිය කටයුතු කළ බව අපි හොඳින් ම දන්නවා. ඒ නිසා ඇය ජවිපෙ නායකයාගේ බිරිඳ මිස, ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මගට කිසිම අයුරකින් අවතීර්ණ නොවූ, පක්‍ෂයට මොනම අයුරකින් හෝ බලපෑම් නොකළ තැනැත්තියක් යන්න රෝහණ සහෝදරයා ළඟින් ම ඇසුරු කළ කෙනෙක් හැටියට මම අනුමත කරන්නේ නෑ.

“ශ්‍රීමතී සහෝදරිය ‘පරිවාර ළඳුන් අතර සිටි සිටු කුමරියක සේ කැපී පෙනුණාය. යනුවෙන් කරන නිග්‍රහ අන්දමේ ප්‍රකාශ මම දැක තියෙනවා. ගැහැනු අය ස්වභාවයෙන් රන් අබරණවලට ආශා කරන බවට ඊනියා දේශපාලන නිගමන ඉදිරිපත් කරන සමහරු ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරියන් ඒ ස්වාභාවික ආශාව යටපත් කර ගෙන සිටින බවත් පවසනවා. ධනේශ්වර ක්‍රමය තුළ හැම දෙයක් ම මිලට ගත හැකි වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කර හෝ කරමින් ඇති බව අප කවුරුත් දන්නා කාරණයක්. කාන්තාවන් රන් අබරණවලට ආශා වන්නේ ඔවුන්ගේ ස්වභාවයක් නිසාම නෙමෙයි. සමාජමය පෙළඹවීම, අනුකරණය සහ කාන්තාවට සමාජයේ උරුම කොට දී තිබෙන තැන යනාදී හේතු ගණනාවක් නිසා.

“මාතෘ මූලික ගන ගෝත්‍ර සමාජයට පසු ඇති කරන ලද පීතෘමූලික සමාජය තුළ රජ කළේත්, රජ කරන්නේත් පුරුෂයාගේ ආධිපත්‍යය. ඒත් තවමත් ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාවේ සිටින මීනන්කබෞ (Minangkabau) වගේ ගෝත්‍ර පදනම් වෙලා තිබෙන්නේ මාතෘ මූලික ක්‍රමය මත. එවැනි මාතෘ මූලික සමාජ යටපත් කර දමා පීතෘමූලික සමාජ බිහි කර ගැනීමත් සමගයි, කාන්තාවන් සම්බන්ධයෙන් සමහර දෙනෙක් නිශේධනාත්මකව දක්වන එවැනි තත්ත්වයන් කාන්තාවන් තුළ දෘශ්‍යමාන වන්නට පටන් ගත්තේ.

“ධනේශ්වර පාරිභෝගිකවාදයේ ලක්‍ෂණයන් වෙන්නේ, වෙළෙඳ භාණ්ඩ අධි නිෂ්පාදනය කිරීමත්, මුදල් කර ගැනීමට එම භාණ්ඩ පාරිභෝගිකයා අතට පත් කිරීමත් සඳහා ධනේශ්වර ව්‍යාපාර අතර ඇති වන තරඟය. විවාහ යෝජනාත්, විවාහය සඳහා පෙර සූදානම් වීමත්, විවාහයත් අද කාලයේ රැඳී තිබෙන්නේ කාන්තාවන් වෙළෙඳ භාණ්ඩ බවට පත් කර තිබෙන සමාජයකය යන්න අමතක කරන්නේ හෝ එසේ කරන්නට හැකි වන්නේ මොන සමාජවාදියාට ද? මේ නිසා, ‘ගැහැනු ස්වභාවයෙන් රන් අබරණවලට ආශා ඇත්තෝය.’ යන ප්‍රකාශයෙන් කරන්නේ සමාජයේ පවතින විෂය මූලික කාරණා අමතක කරන්නට සලස්වා, සැබෑ කරුණු විකෘති කොට, ඒ වෙනුවට මනෝමූල ප්‍රවේශයක් ආදේශ කරන්නට සැලැස්වීම. ඒ නිසා ශ්‍රීමති සහෝදරිය වගේම ජ.වි.පෙ. හි සිටි සහ අදටත් සිටින සහෝදරියන් ගැන උලුප්පා දක්වන එවැනි මනෝමූල ප්‍රවේශ සහ විකෘති කිරීම්වලට වඩා, අමතරව බලපා තිබුණු විෂයමූල වන කාරණා තිබුණු බව මම අදත් දකිනවා.

“ඇත්ත තත්වය නම් ජනතා විමුක්ති පෙරමුණේ අර්ධ කාලීනව හෝ පූර්ණ කාලීනව වැඩ කටයුතු කළ සහ කරන සහෝදරියන් බොහෝ දෙනෙක් ම පාරිභෝගිකවාදයට ගොදුරු නොවී සිටිය අය. නැත්නම් එසේ සිටින අය. ඒ සහෝදරියන් ලබා ගන්නා ලද දේශපාලන අවබෝධය අනුව එවැනි දේවල්වල සහ ඇබ්බැහිකම්වල නිරර්ථක භාවය තේරුම් ගෙනයි බොහෝ වෙලාවට ඔවුන් එහෙම කරන්නේ. රන් අබරණ වැනි දේ පෞද්ගලිකව අත්පත් කර ගැනීමට තරම් වූ ආර්ථික තත්ත්වයක් ඔවුන් බොහෝ දෙනෙකුට තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහරකුට එහෙම තත්වයක් නැති වෙන්නටත් පුළුවන්. ඒත් පක්ෂයට සම්බන්ධ බහුතරයක් සහෝදරියන් අබරණ පැලඳීම හෝ පෞද්ගලිකව අත්පත් කර ගැනීම කළේ නැහැ.”

සිසිර යාපා

‍හෙට - ලන්ඩන් නුවරින් ඉල්ලීමක්.....

නව අදහස දක්වන්න