තවත් නිල නොවන දෙපාර්තමේන්තුවක් | දිනමිණ

තවත් නිල නොවන දෙපාර්තමේන්තුවක්

විජයානි එදිරිසිංහ

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව හෙවත් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යනු මේ රටේ රජයට ආදායම් ලබා දෙනු ලබන ප්‍රධාන දෙපාර්තමේන්තු කිහිපය අතරින් එක් දෙපාර්තමේන්තුවකි. ඈත අතීතයේ සිටම මේ දෙපාර්තමේන්තුව කැපී පෙනෙන දෙපාර්තමේන්තුවක් ලෙස මහජනතාව අතර ප්‍රචලිතව ඇත්තේ එම දෙපාර්තමේන්තුවෙන් සිදුවන කර්තව්‍ය හෙවත් වාහන ලියාපදිංචිය සහ රියැදුරු බලපත් නිකුත් කිරීම සිදුවන බැවිනි.

විශේෂයෙන් දුෂණ වංචා සහ අල්ලස් සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රචලිතව ඇති මේ දෙපාර්තමේන්තුවේ එම වංචාවලට සම්බන්ධ නොවු පුද්ගලයාට පවා එම බෝඩ් ලෑල්ල එල්ලා තිබේ.මේ දෙපාර්තමේන්තුව ගැන හරියටම දැන ගැනීමට නම් එම දෙපාර්තමේන්තුවේ වැඩි කාලයක් සේවය කිරීම හෝ එම දෙපාර්තමේන්තුව සමඟ නිතර නිතර ගනුදෙනු කිරීම අවශ්‍ය වෙයි .

මේ දෙපාර්තමේන්තුව දුවන්නේ මහජනතාවගේ මුදල්වලිනි. නැතිව එම දෙපාර්තමේන්තුව මගින් උපයන ආදායමක් නොමැත.එම මුදල් රජයට ලබාදීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු කරුණකි.

එය එසේ සිදුවෙයි.එහෙත් මෙහිදී පැහැදිලිවම දක්නට ඇති දෙය නම් එය ශ්‍රී ලංකා රජයේ මෝටර් රථ දෙපාර්තමේන්තුව එසේම පවතිද්දී එම දෙපාර්තමේන්තුව යටතේ තවත් නිල නොවන මෝටර් රථ දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාමයි. මේ දෙපාර්තමේන්තුවේ ආදායම් යැවෙන්නේ රජයට නොව එම දෙපාර්තමේන්තුවේම ප්‍රධානීන් ඇතුළු ඔවුන්ගේ සමීපතමයන් හරහා පහළ සේවකයන්ගෙන්‍ කොටසකටද ඉතාමත් සුළු සොච්චම් දීමනාවක් ලැබෙන ලෙස එම ආදායම් බෙදා හැරීමේ නිල නොවන මෙන්ටලි චක්‍රලේඛයක් ක්‍රියාත්මක වෙයි.

මේ චක්‍රලේඛයේ වාසිය ඇත්තේ ඉහළ නිලධාරීන්ට මිස සාමාන්‍ය සේවකයන්ට නොවේ. කාලයක් තිස්සේ එම දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල සිටින පිරිස් විසින් විවිධ ක්‍රම ඔස්සේ මුදල් එකතු කර ඔවුන් පමණක් භුක්ති විදිමින් සිටියදී එක්තරා අතිරේක කොමසාරිස්වරයකු විසින් මේ මුදල්වලින් කොටසක් සුළු සේවකයන් අතටද හිමි වන පරිදි යම් සැළසුමක් සකස් කරනු ලැබිණි. ‍එම නිලධාරියා නොවන්නට අදටත් සුළු සේවකයන් අතට කීයක් හෝ ලැබෙන්නේ නැත.

වසරකට වරක් රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු ලේඛනය ඉදිරිපත් වන විට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට මාරුව හදා ගැනීමට පොරකන පිරිස අප්‍රමාණය. එහෙත් එසේ මාරුවීම් ලැබෙන්නේ එහෙමත් පිරිසකට පමණි. කෙසේ වෙතත් මේ දෙපාර්තමේන්තුවේ විවිධ ශාඛා ගණනාවක් ඇතත් ඉන් ආදායම් උපයා ගත හැකි ශාඛා ඇත්තේ කිහිපයක් පමණි. එනම් නව වාහන ලියාපදිංචිය සිදු කරන කාර් යතුරු පැදි සහ වෙනත් නව වාහන ලියාපදිංචි කරන ශාඛාවලටය. ඒවාට ඇති ‍ඉල්ලුම බොහෝය. ඒ අතරින්ද මෝටර් කාර් ත්‍රිරෝද සහ යතුරුපැදි ලියාපදිංචි කරන ශාඛාවලින් යම් ආදායමක් ලැබෙන බවට ප්‍රචලිතය.

ඒ හැර වෙනත් විවිධ කර්තව්‍යයන් හරහා යම් කිසි වාහනයකට අදාළ වැඩක් කර දී සුළු ආදායමක් ලබා ගන්නා පිරිස මෙන්ම කීයක්වත් නොලැබෙන විශාල පිරිසක්ද මේ දෙපාර්තමේන්තුවේ සිටින බව කිව යුතුය.

දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන වාර්ෂික මාරුවීම් ලේඛනය කාගේත් අවධානයට ලක්වන අවස්ථාවකි. තමාට කොයි මොහොතක හෝ ප්‍රතිලාභ ලැබෙන ශාඛාවක් ලැබේද යන බලා‍පොරොත්තුව මත සිටින පිරිස අතරින් වසර තිහක කාලයක් එම දෙපාර්තමේන්තුවේ සිටියත් එම ප්‍රතිලාභ ලබන ශාඛාවක සේවය කිරීමට අවස්ථාව නොලැබු බොහෝ පිරිස් වෙති. විශේෂයෙන් එම දෙපාර්තමේන්තුවට මීට වසර තිහක පමණ කාලයක සිට සේවයට බඳවා ගනු ලැබුවේ එම දෙපාර්තමේන්තුවටම සීමා වී සේවය කරන වෙනත් දෙපාර්තමේන්තුවලට මාරුවීම් ලබාගත නොහැකි වු කෙටියෙන් හඳුන්වන පරිදි ක්ලෝස් ඩිපාට්මන්ට් යන සංකල්පය යටතේ වු පිරිසකි. ‍එම දෙපාර්තමේන්තුවේ කටයුතුවලට පමණක් විදෙස් රටවලට පවා පුහුණුව ලබා දුන් පිරිසක්ද ඒ අතර වෙති. වසර ගණනාවක් මේ ආකාරයෙන් එම දෙපාර්තමේන්තුවේ සේවය කළැයි කියන විට වැඩි පිරිසක් සිතන්නේ කියන්නේ එම දෙපාර්තමේන්තුවෙන් විශාල මුදලක් හම්බ කරගෙන කෑ පුද්ගලයන් ලෙසය. එසේ සිතා වාර්ෂික ස්ථාන මාරුවලදී එම පිරිසට ප්‍රතිලාබ ලැබෙන ශාඛා අහිමි වෙයි. මේ ප්‍රතිලාභ ලැබෙන ශාඛාවන්ට ඇතුළුවීම පි‍ණිස දේශපාලනඥයන්ගේ ලිපි ගෙන එන පිරිස මෙන්ම ඒකාබද්ධ සේවයේ මාරුවීම් ලබා මේ දෙපාර්තමේන්තුවේ වසර පහක සේවා කාලය අවසන් වු පිරිස තවදුරටත් එම දෙපාර්තමේන්තුවේ සිටිම සඳහා දැඩි උත්සාහයක යෙදෙති.

ඒ කෙසේ වෙතත් මේ ප්‍රතිලාභ ලැබෙන ශාඛාවලට ඇතුළුවීමට නම් එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ හිතවත්කම් විශේෂයෙන් බලපායි. එසේ නොමැති නම් එම ශාඛාවකට මාරුවීමක් ලැබේනම් ඒ අහඹු සිදුවීමක්මය. මේ ආකාරයෙන් එම ප්‍රතිලාභ ලැබෙන ශාඛාවක සේවය කරන පිරිසට ආදායම් ලැබෙන්නේ කෙසේද යන්න කාටවත් රහසක් නොවේ. දිනකට මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි දහස් ගණනක් ලියාපදිංචි කෙරේ. වාහන සේල්කරුවන් විසින් එකවර වාහන සිය ගණනින් එම වාහන ලියාපදිංචි කරති. මේ වාහන ලියාපදිංචියේ ආදායම රජයටය. ඒ හැර මේ කාර්යාලයේ සිදුවන දෙයක් වන්නේ එම වාහන කඩිනමින් කරදීම පිණිස සේල්කරුවන්ගෙන් හෝ වෙනත් පුද්ගලයන්ගෙන් වැඩිපුර මුදලක් අය කරති .සාමාන්‍යයෙන් එක් වාහනයක් වෙනුවෙන් රුපියල් පන්සියයත් දහසත් අතර මුදලක් අය කරනු ලබයි. වාහන සියයක් ලියාපදිංචි කිරීමට එන පුද්ගලයා විසින් එම එක් වාහනයකට ඉහත සඳහන් පරිදි රජයට ගෙවිය යුතු මුදලට අමතරව ඉහත සඳහන් අමතර මුදල ගෙවිය යුතු වෙයි. එසේ එකතු කරන අමතර මුදල එකතු කර සාමාන්‍යයෙන් දිනකට රුපියල් ලක්ෂ ගණනක් එකතු වන අතර ඉන් වැඩි කොටසක් හිමිවෙන්නේ එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාටය. ඉන් දෙවැනි වැඩිම කොටස හිමි වෙන්නේ එම නව ලියාපදිංචි කිරීම් ශාඛාව බාර සහකාර කොමසාරිස්වරයාටය. තෙවැනිව එම ශාඛාවේ එස්. ඕ. හෙවත් විෂය බාර නිලධාරියට වන අතර ඉන් අනතුරුව එම ශාඛාවේ සිටින සෙසු සේවක පිරිස අතර ඉතිරි මුදල සමානව බෙදා හරිනු ලබයි. මෙහිදි වැඩි වෙහෙසක් දරන්නේ එම දෙපාර්තමේන්තුවේ සේවක පිරිස වුවත් ආදායමින් සුළු කොටසක් හිමි වන්නේද ඔවුන්ටය. මේ පිරිස රාත්‍රි හත අට වන තෙක්ම සේවය කරති. ඇතැම් කාලවලදී කොමසාරිස්වරයා විසින් එම දෙපාර්තමේන්තුව බාර ඇමැතිවරයාට කියාද ලක්ෂ ගණනක මුදලක් එකතු කරනු ලැබුවත් එම මුදල එම ඇමැතිවරයාට දෙනවාද නැද්ද යන්න දන්නේ දෙපාර්තමේන්තු කොමසාරිස්වරයා පමණි.

මේ නව ලියාපදිංචි ශාඛාවල සිදුවන කර්තව්‍ය ඉතා කෙටියෙනි. ඒ අතර තවත් ශාඛා රැසක් ඇත. එම ශාඛාවන්ගෙන් ප්‍රතිලාභ ලැබෙන ශාඛාවලින් තරම් විශාල මුදල් එකතු නොවුවත් ඒවායින් එකතු වන යම් මුදලක් ඇතොත් ඉන් කොටසක්ද දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ලබාදිය යුතු වෙයි. මේ ආකාරයෙන් දිනකට විවිධ ශාඛාවලින් එකතු වන මුදලින් දෙපාර්තමේන්තු කොමසාරිස්වරයාට මසකට රුපියල් ලක්ෂ ගණනක මුදලක් එකතු වෙයි. එම මුදල ඉතාමත් සුක්ෂම ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ලැබෙන ක්‍රමවේදයක් ඇත. මොන තරම් යහපත් පුද්ගලයකු එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වී පැමිණියද මේ මුදල් ලබා ගැනීම නම් කිසිදු දෙපාර්තමේන්තු ප්‍රධානියකු විසින් ප්‍රතික්ෂේප කළ බවට කිසිදු තොරතුරක් මෙතෙක් කාලයක් වාර්තා වී නොමැත.

එහෙත් එම දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙන්ම අදවන විටත් ආයතනයෙන් ලැබෙන ප්‍රතිලාභ මුදල් ප්‍රතික්ෂේප කළ සහකාර කොමසාරිස්වරු මෙන්ම ආයතන සේවකයන්ද සිටින බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය. නැති බැරිකම් හමුවේ මෙන්ම ආර්ථික ප්‍රශ්න හමුවේ කීයක් හෝ සොයා ගැනීමට යම් සේවකයෙක් උත්සාහ කරයි නම් එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු වන්නේ එම සේවකයා වෙතටය.එසේම අල්ලස් විමර්ශන නිලධාරින් මෙන්ම විගණනයද පිටුපස ලුහුබඳින්නේ ලක්ෂ ගණන් හොර රහසේ මෝටර රථයේ ඩිකිය අස්සේ සඟවාගෙන සැප වාහනවලින් යන පිරිස පිටුපස නොව කවදාවත් ප්‍රතිලාබ ලැබෙන ශාඛාවල සේවය නොකර කාගෙන් හෝ ඉතා සුළු සන්තෝසම් මුදලක් ලැබු සේවකයා වෙතටය.

‍එහෙත් මේ ආකාරයෙන් ඇතැම් පිරිස මුදල් මත කටයුතු කරද්දී ඉතාමත් ගරු ගාම්භිර ලෙස කිසිවකුටත් හිස නොනමා තම රාජකාරිය අකරටම ඉටු කරන පිරිස මෙන්ම මේ ආයතනයේ සේවකයන් අතරින් වැඩි පිරිසක් කිසිදු මුදලක් අය නොකර අදාළ රාජකාරිය නිසියාකාරව කරන බවද මෙහිදි මතක් කර දිය යුතු වෙයි.

මේ දෙපාර්තමේන්තුවට ඉහළ තනතුරුවලට පැමිණෙන පිරිස අතරින් වැඩි පිරිසක් ආයතන ප්‍රධානියාගේ හිතවතුන් වෙයි.එම ආයතන ප්‍රධානියා එම තනතුරට පැමිණෙන විට ඔහු ඊට පෙර සේවය කළ දෙපාර්තමේන්තුවේ ඔහුගේ හිතවතුන් පිරිසද රැගෙන ඒම සාමාන්‍යයෙන් සිදු කරන දෙයකි.එසේ පැමිණෙන පිරිස යම් කර්තව්‍යයක නියැළුණා හෝ නැතුවා හෝ ඔහුටද එම ආයතන ප්‍රධානීන්ට ලැබෙන ආදායමින් කොටසක් හිමිවීම සාමාන්‍ය දෙයකි.

මෙසේ ලක්ෂ ගණනින් ආදායම් ලබන ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් වසර තිහක කාලයක්වත් ප්‍රතිලාභ ලැබෙන ශාඛාවක නොව වෙනත් සුළු හෝ ආදායමක් ලැබෙන ශාඛාවකට මාරුවක් ඉල්ලා ඉල්ලීමක් ඉදිරිපත් කර වසර ගණනාවක් ගත වුවත් එම මාරුව නම් තුට්ටුවකටවත් පිළි නොගන්නා අවස්ථා බොහෝය. එපමණක් නොව මොනතරම් ස්ථාන මාරු සිදුවුවත් චක්‍රයක් සේ එකට කැ‍රකෙන්නේ එකම පිරිසක් වටාය.ඉහත සඳහන් පරිදි එම චක්‍රයෙන් පිට වෙනත් අයකුට එම ශාඛාවක සේවය කිරීමේ අවස්ථාව හිමිවේ නම් ඒ අහඹු සිදුවීමක් විය හැකිය. විශේෂයෙන් එම ඇතැම් පිරිස් එම ප්‍රතිලාභ හෙවත් මුල්‍ය වාසි ඇති ශාඛාවල අවස්ථා ගණනාවක් සේවය කර ඇතත් අදටත් වසර තිහක් සේවය කළත් එම අවස්ථාව උදා නොවු බොහෝ අය සිටිති. වසර තිහක එකම ආයතනයක ‍සේවය කිරීම යනුවෙන් මින් අදහස් කරන්නේ ඉහත සඳහන් පරිදි ක්ලෝස් ඩිපාට්මන්ට් යන්න යටතේ මේ ආයතනයට බඳවා ගත් පිරිස වෙයි. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැඩිම වශයෙන් පීඩනයටත් මුල්‍ය වාසි අහිමි වීමටත් ලක් වු කොටසක් වී ඇත්තේ එම ක්ලෝස් ඩිපාට්මන්ට් යටතේ බඳවා ගත් පිරිස වෙයි. එහෙත් පිටස්තරයන් සලකන්නේ මේ පිරිස තරම් වසර ගණන් එම දෙපාර්තමේන්තුවෙන් හම්බ කර කෑ පිරිසක් තවත් නැති තරම්ය. එහෙම පිරිස් නැතුවා නොවේ. නමුත් වැඩි පිරිසක් සිටින්නේ මේ පීඩනයට හසු වු අය වෙති.

මෝටර් රථ දෙපාර්තමේන්තුව යනු නීත්‍යානුකුල නොවන කර්තව්‍යයන් ඔස්සේ දිනකට රුපියල් ලක්ෂ ගණන් හම්බ කළ හැකි ආයතනයකි. වැරදි වැඩ යනු වාහනවලට ‍ව්‍යාජ පොත් සකස් කිරීම බඩ් වාහන වලට පොත් සකස් කිරීම රේගු බදු ලිපි ගොනු නොමැතිව ව්‍යාජ ලේඛන ඔස්සේ ඇත්ත වාහන මෙන් සකස් කිරීම ආදි වශයෙන් බොහෝ දේ සිදු කිරීමට හැකියාව ඇත. එහෙත් මෙවැනි වැරදි දේවල්වලින් මුදල් හම්බ නොකරන පුද්ගලයන් කියා සිටින්නේ එවැනි දේවලින් මුදල් හම්බ කළා වගේ නොවේ රාත්‍රියට නිදා ගෙන සිටින විට ගෙදර බල්ලාගේ නට්ට දොරේ වැදී සද්දයක් ආවත් බයෙන් අවදි වන බවයි. ඒ තරමටම එවැනි වැරදි දේවල් සිදු කළ විට සිත දෙගිඩියාවෙන් බියෙන් ගැහෙමින් සිටින්නට සිදු වෙයි.

එහෙත් ඒ අදහස් එසේ ප්‍රකාශ වුවත් එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් හරහා මෙවැනි හොර වැඩ අප්‍රමාණවත් සිදු වෙයි .එහෙත් ඒ කිසිදු පුද්ගලයකු විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුවා හෝ එසේත් නොමැති නම් නීතියෙන් දඩුවම් වින්දා යැයි කිවහොත් ඒ කෝටියකට එකක් වැනි වෙයි. ඒ තරමටම එම හොර වැඩවලට නීතිය ක්‍රියාත්මක නොවීමද රහසකි. එහෙත් රුපියල් දාහක මුදලක් ලබා ගත් පුද්ගලයකු අල්ලස් දැලට හසු වී සිය ගණනක් පිරිස ඉදිරියේ එම පුද්ගලයා රැගෙන යද්දි ඉහළ නිලධාරින්ගේ සුපිරි වාහනවල ඩිකියේ කාපට් එක යට හෝ එසේත් නොමැති නම් අමතර ‍ටයරය යට සඟවාගෙන ගියත් මෙතෙක් එවැනි පුද්ගලයකු නම් නීතියට හසුවු බවට කිසිම තොරතුරක් නැත.

පසුගිය වකවානුවක හිටපු ඉහළ නිලධාරියකු විසින් එම ආයතනය එකම මුල්‍ය වංචා සිදු කරන ආයතනයක් බවට පත් කර තිබුණි. වාහන එංජින් කෑල්ලට හෝ පොතක් හදා ලක්ෂ ගණනක් ලබා ගැනීම සිදු කරයි. විශේෂයෙන් වෙන්දේසි වාහන බඩ් වාහන පමණක් නොවේ. වෙනත් ඕනෑම ක්‍රමයක් ඔස්සේ සොයා ගන්නා වාහනවලට පොත් සෑදීම පමණක් නොව පන්සල්වලට රජයෙන් ලබා දී තිබු තීරු බදු රහිත වාහන ගෙන්වීමට දුන් ෆර්මිට්වලට පවා ඒවාට අදාළ කොන්දේසිවලට පටහැනිව යමින් සම්පුර්ණයෙන්ම මුදල් හම්බ කිරීමේ ක්‍රියාවලියක් මේ පුද්ගලයා සහ ඔහුට හිතවත් කාණ්ඩයක් සමඟ සිදු කරගෙන ගොස් තිබු අතර මේ කාලයේදී එම ආයතනය තුළ ආයතනයේ දෝෂ සෙවීමට සිටි රාජ්‍ය විගණනය මගින් මේවා පිළිබඳව සොයා ඒවා සම්බන්ධයෙන් නීතිය මගින් කටයුතු කිරීමට පවා සුදානම් වෙද්දි ඒ කිසිදු දෙයක් තකන්නේ නොමැතිව සිය මුදල් හම්බ කිරීමේ කර්තව්‍ය දිගටම ක‍රගෙන ගොස් තිබුණේ මහා බලයක් අතට ගෙනය. එපමණක් නොව එම කාර්යාලයේ සේවිකාවකට එළිපිට පහර දුන්නත් මේ කිසිවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පුදුමයකි. එපමණක් නොවේ .ඒ කාලයේ මේ ආයතනයේ කිසිවක් මාධ්‍යයට යාමට නොදී සිරකරගෙන සිටි මේ පිරිස මාධ්‍යටද මුදල් දෙමින් ඔවුන්ද හිතවතුන් බවට පත් කරගෙන තිබුණි . එක්තරා මාධ්‍යයක මේ වංචා දුෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම පළවෙද්දි ඒවා පළ කළ මාධ්‍යවේදිනියගේ සැමියා එම දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි අතර මාධ්‍යයෙන් පළි ගැනීමට නොහැකි වු කල ඔහු මේ කිසිවකටත් සම්බන්ධ නොවු ඇගේ සැමියාට පුටුවක් මේසයක් පවා නොදී කපා දමා තිබුණි. අනතුරුව තවදුරටක් නොකඩවා එම මාධ්‍ය වාර්තා පළවෙද්දි එම ඉහළ නිලධාරියා විසින් වෙනත් පිරිස් යොදා එම මාධ්‍ය වාර්තා නවත්වා ගැනීමටත් ඔහුට අවශ්‍ය යමක් ඇති නම් ඒවා ලබාදීමටත් කතා කර තිබුණි. අනතුරුව ඔහු වේරහැර ශාඛාවේ කුණු ගොඩක් සුද්ද කිරීමට යොදා තිබුණි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් වාහනවලට අදාළ බොහෝ දේ සිදු වන අතර රියැදුරු බලපත් නිකුත් කිරීම හා සම්බන්ධ සෙසු සියලු කටයුතු සිදු වන්නේ වේරහැර පිහිටි කාර්යාලයෙනි. වේරහැර කාර්යාලය තුළ ප්‍රධාන කාර්යාලයේ තරම් මුදල් එකතු කිරීමේ සැළසුම් සහගත නිල නොවන සැළසුමක් නොතිබුණත් එම කාර්යාලයේ ඉහළම ලොක්කාගේ ප්‍රධාන ලිපිකාරිනිය විසින් එම කාර්යාලයේ සෑම ශාඛාවකින්ම මුදල් එකතු කරනු ලබයි. ඇය එසේ සතියකට වරක් මුදල් එකතු කරන්නේ එම ආයතන ප්‍රධානියාට සහ ඒ හරහා දෙපාර්තමේන්තු ප්‍රධානියාට ලබාදීමට පවසමිනි.

මේ මුදල් එකතු කළයුත්තේ කෙසේද යන්න යම් කිසි නියමිත ක්‍රමයක් හඳුන්වා දී හෝ වෙනත් යමක් පෙන්වා දී නොතිබුණත් සතිය අවසානයේදි නම ඇය අතට යම් කිසි මුදලක් ලැබෙයි. ශාඛා බාර ප්‍රධානීන් එම සතිය තුළ විවිධ ක්‍රම ඔස්සේ එනම් ලර්නර්ස්ලාගේ වැඩ කඩිනමින් කරදීම වෙනුවෙන් ඔවුන් විසින් ලබා දෙන මුදල් එකතු කර ඉන්‍ කොටසක් මේ ලිපිකාරිනිය අතට දෙයි.ඇය එම මුදල් සහකාර කොමසාරිස්වරයාට ලබා දෙන්නේ දුන් මුදලින් කොපමණ ප්‍රමාණයක්ද යන්න කිසිවකුටත් ප්‍රශ්න කළ නොහැක. එම මුදල් අදාළ ප්‍රධානියා විසින් දෙපාර්තමේන්තු ප්‍රධානියාට ලබා දෙනවාද නැද්ද යන්න පොඩ්ඩෝ කිසිවකුත් නොදනියි. එසේම ඒ ගැන විමසීමක් කිරීමටද කිසිවකුටත් නොහැකිය.ඊට හේතුව ඒ ගැන විමසීම එම විමසු පුද්ගලයාට ආයතනයේ කිසිවක් නොලැබෙන මුඩු බිමක් වැනි වු ශාඛාවකට මාරුවක් ලබා ගැනීමට හේතු වන බැවිනි. යම් ශාඛාවකින් එම ලිපිකාරිනිය හෝ එම ආයතන ප්‍රධානියා බලාපොරොත්තු වන තරම් මුදලක් නොලැබුණහොත් ප්‍රධානියා ශාඛා ප්‍රධානියා කැඳවා මුදල් ප්‍රමාණවත් නොවන බව පවසයි. එහිදී ප්‍රශ්න කිරීමක් හෝ මුදල් එකතු කිරීමක් ‍කළ නොහැකි බව පැවසුවහොත් එම ශාඛා ප්‍රධානී තනතුරින් ඉවත් වන ලෙසක් වෙනත් කෙනකු පත් කර ගත හැකි බවත් පවසයි. ‍මේ ආකාරයෙන් ඔවුහු බලාපොරොත්තු වන මුදලක් උපයා දීමට නොහැකි වු එක් නිලධාරියකු ඒ ගැන ඍජුව කතා කළ විට ඔහු දින කිහිපයකින් එල්බෝඩ් නිකුත් කරන ශාඛාවට මාරු කර තිබුණි.

මේ ආකාරයෙන් වේරහැර කාර්යාලයේ සේවයේ නියුතු පිරිස මාරු කිරීම එම කාර්යාලයේ තබා ගන්නවාද නැතහොත් නාරාහේන්පිටට යවනවාද මුඩු බිමකට යවනවාද යන්න තීරණය කරන්නේ වේරහැර සිටින ප්‍රධානියා විසින් නොව ඉහත සඳහන් ලිපිකාරිනිය විසින්ය.එම කාර්යාලයට ප්‍රධානියකු පැමිණි විට වේරහැර කාර්යාලයේ ශාඛා බාර ප්‍රධානීන් එසේත් නොමැති නම් එම කවුන්ටර්වල සිටින පිරිස් වාහන පරීක්ෂකවරුන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව චරිත සහතික ලියා දෙන්නේ මේ නිලධාරිනිය විසින්ය. අලුතෙන් පැමිණෙන ප්‍රධානියා යම් පුද්ගලයකු සම්බන්ධයෙන් හොඳ කීවත් වැරදි කීවත් ඒ සියල්ල ඔහු පිළිගන්නේ ඉදිරියේදී එම කාර්යාලයේ මුල්‍ය මෙහෙයුම් කළමනාකාරිනිය ලෙස ඇය කටයුතු කරන හෙයිනි . එම නිසා ඇ‍යගේ කැමැත්ත මත සේවකයන් හා සම්බන්ධ තීන්දු තීරණ ගැනීම සිදුවෙයි. එම දෙපාර්තමේන්තුවේ සහ වේරහැර කාර්යාලයේ දහස් ගණනක් වු සේවක සේවිකාවන්ට දෙපාර්තමේන්තුවෙන් පිටත හෝ අභ්‍යන්තරික වශයෙන් ස්ථාන මාරුවීම් ලැබෙයි. එහෙත් මේ වන විට වසර දහයක පමණ කාලයකටත් වඩා ඇය එම තනතුරේ සිටීමද අභිරහසක් වෙයි.කාර්යාලය තුළ ඒ සම්බන්ධයෙන් ඇය සම්බන්ධයෙන් ලයිසන් කන්තෝරුවේ ලොක්කාට පවා පෙත්සම් පැමිණිලි ලැබී ඇතත් කිසිවකුත් ඇය නම් එම ස්ථානයෙන් යවන්නේ නැත. කෙසේ වෙතත් සතිය අවසාන‍යේදි සෑම ශාඛාවකින්ම මුදල් අයකර ප්‍රධානියාගේ කොටස ලබාදීමෙන් පසු ඇයට ලැබෙන කොටස මෙපමණැකැයි සිතා ගැනීමටවත් නොහැකිය.

මේ පිරිසට කිසිදු පරීක්ෂණයකට ඉදිරිපත් නොවු පුද්ගලයන්ට මේ හිටියා වගේ රියැදුරු බලපත්‍රයක් ලබා දීමත් ඒ සඳහා සැලකිය යුතු මුදලක් අයකිරීමත් මහ ලොකු දෙයක් නොවේ. කෙසේ වෙතත් වේරහැර කාර්යාලයට එන සෑම ප්‍රධානියකුම එසේ නොවේ .කිසිදු අමතර ආදායමක් ලබා නොගෙන තම වගකීම වැදගත් ලෙස කරන ප්‍රධානීන් සිටි බවද අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු වෙයි. එහෙත් වේරහැර කාර්යාලය පාලනය කරන මේ අදිසි හස්තය තිබෙන තාක් කල් එම කාර්යාලයේ සෙසු සේවක සේවකාවන්ට නම් නිවනක් නොමැති බව ඔවුහු සඳහන් කරති.

මේ අතර වේරහැර කාර්යාලයේ එල් බෝඩ් ගැන කතා කරද්දි තවත් ආකාරයකින් ක්‍රියාත්මක වු දෙයක් වන්නේ රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරිපත් වන පුද්ගලයන් වෙනුවෙන් රුපියල් දෙසීයක් අයකර ආපසු ලබාදීමේ න්‍යාය මත එල්බෝඩ් එකක් ලබා දුන්නත් පසුව එම මුදල් අය කළත් එල්බෝඩ් ලබාදීමක් නම් සිදු නොවෙයි. මේ වන විට එම එල් බෝඩ් නිකුත් කිරීම කිසිසේත් සිදු නොවෙයි.

ලැයිසන් කන්තෝරුව මේ සියලු කෙරුම් කරන්නේ මහජනතාව‍ගේ මුදල්වලිනි. රියැදුරු බලපත්‍රයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු නියමිත මුදලට අමතරව තවත් මුදල් ගෙවීමට සිදුවීම නිසාය.

මේ අතර මේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරනු ලබයි. ඒ අනුව ඒවා මුද්‍රණය කරන්නේ පෞද්ගලික ආයතනයක් මගිනි. මීට වසර ගණනාවකට පෙර එම රියැදුරු බලපත්‍ර කොන්ත්‍රාත්තුව පෞද්ගලික අංශයකට බාර දෙන අවස්ථාවේ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය එම කොන්ත්‍රාත්තුවෙන් ඉල්ලන මුදලට වඩා අඩු මුදලකට ඒවා මුද්‍රණය කළ හැකි බව පෙන්වා දුන්නත් එම යෝජනාව ප්‍රතික්ෂේප කර කොන්ත්‍රාත්තුව පෞද්ගලික ආයතනයකට ලබා දී තිබුණේ එම ටෙන්ඩරයෙන් කෝටි ගණනක කොමිස් මුදල් දෙපාර්තමේන්තුවේ ලොක්කන් අතට පත්වෙමිනි. එපමණක් නොව එම ආයතනය මගින් වසරක් පාසා දෙපාර්තමෙන්තු ප්‍රධානීන්ට සන්තෝසම් වශයෙන් විවිධ දේ ලැබෙන බවද මෙහිදී සඳහන් කළ යුතු වෙයි.

මේ අතර වාහනවල අංක තහඩු නිකුත් කිරීමද පෞද්ගලික ආයතනයක් මගින්සිදු වෙයි. මීට වසර ගණනාවකට පෙර හිටපු ඇමැතිවරයකු විසින් මේ කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ එක් වාහන අංක තහඩුවකින් ඇමැතිවරයාගේ පුතාගේ ගිණුමට යම් කිසි මුදලක් ලැබෙන පරිදිය . වසර ගණනාවක් තිස්සේ එය ක්‍රියාත්මක වු අතර තවමත් සිදුවෙනවාද යන්න සැක සහිතය.

දෙපාර්තමේන්තුවේ මේ ‍ආකාරයෙන් සිදුවන දේ මෙපමණකැයි කිව නොහැකිය. පොඩි සේවකයා තලාපෙලා වද දී මානසික පීඩනයකට පත්කරමින් ඔවුන්ට ඉතා සුළු සොච්චම් මුදලකින් සංග්‍රහ කර ලොක්කෝ සිය වත්කම් සපිරි කර ගන්නේ වත්කම් හෝ ආදායම් බදුවලට හෝ හසුනොවන පරිදිය. ඒ සඳහාද ඔවුන් විසින් යොදන විවිධ උපක්‍රම මුල්බැස ගෙන තිබෙන බව කිව යුතුය.

මෙසේ සඳහන්‍ වෙන්නේ මේ දෙපාර්තමේන්තුවේ සිදු වන සිදුවු කර්තව්‍යයන්වලින් ඉතා බිඳක් පමණි. මේ තුළ කිසිදු අසත්‍යයක් නොමැත. මේ සත්‍ය ඇතැම් අයට තිත්ත විය හැකිය .තිත්ත වුවත් ඇත්ත එයය.

නව අදහස දක්වන්න