‘ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවර බවට පොදු එකඟතාවක් ඕනෑ’ | දිනමිණ

‘ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවර බවට පොදු එකඟතාවක් ඕනෑ’

සුවිසල් ඉන්දු-පැසිෆික් කලාපය තුළ ඉන්දීය සාගර අනන්‍යතාව පවත්වාගෙන යාම ඉතා වැදගත් කාරණයක් හෙයින්, ඉන්දීය සාගර කලාපය තුළ සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ පොදු එකඟත්වයකට සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් එළැඹීමේ අවශ්‍යතාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පසුගිය 08 වන දා රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමය හමුවේ ගෝලීය භූ දේශපාලනික ප්‍රවණතා පිළිබඳ විශේෂ දේශනයක් පවත්වමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එකී පොදු එකඟතාව සඳහා සාගර නීතිය පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මුතිය මත පදනම් විය යුතු බවය. දේශනයට සවන්දීම සඳහා පැමිණි ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ශාලාව පිරී ඉතිරී ගොස් තිබුණු අතර, අවසානයේ ප්‍රශ්නෝත්තර වාරයක් ද පැවැත්විණි. එහිදී ශ්‍රීලංකාව සහ ලෝක භූ දේශපාලනික ප්‍රවණතා පිළිබඳ හරවත් කරුණු ගණනාවක්ම මතු කෙරිණි.

එහිදි අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

ආසියානු සංවර්ධන බැංකුවට අනුව ආසියාව ඓතිහාසික පරිවර්තන යුගයක පසුවෙමින් සිටී. එම ගමන්මග එලෙසම පැවතුනහොත් 2050 වන විට එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, මිලදී ගැනීමේ හැකියාව අතින් හය ගුණයක් දක්වා වර්ධනය වී, යුරෝපීය මට්ටමට ළඟා විය හැකි වේවි. 2050 වන විට සමස්ත දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කරගනිමින් ගෝලීය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ තම දායකත්වය සියයට 52 ක් දක්වා වර්ධනය කරගැනීම තුළින් ආසියාව, කාර්මික විප්ලවයට පෙර කාලයේ එනම් වසර 300කට පෙර පැවති ආර්ථික ආධිපත්‍යය නැවත හිමි කරගනීවි.

ගෝලීය බල කේන්ද්‍රයේ මෙවැනි වෙනස්වීම් වලින් වඩාත්ම පැහැදිලි වන්නේ අප ජීවත් වන්නේ පරිවර්තනය වෙමින් පවතින ලෝකයක් තුළ බවයි. පැරණි බලවතුන් ඉවත්වී නව ආර්ථිකයන් ඉස්මතු වීම මෙහි ප්‍රධාන ලක්ෂණයක්.

නව අදහස දක්වන්න