භාරකාර රජයකට යෝජනාවක් ජනපතිගෙන් ලැබී නැහැ | දිනමිණ

භාරකාර රජයකට යෝජනාවක් ජනපතිගෙන් ලැබී නැහැ

විජේසිරි කරඳගොල්ල

මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම හා එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනිපයේ ඇතැම් හිටපු ඇමැතිවරුන් යෝජනාකොට ඇතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් එබඳු යෝජනාවක් ලැබී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ පවසා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පෙරේදා අඟහරුවාදා සවස මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ නිවසේදී රැස්වූ අවස්ථාවේදී රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශකොට ඇත.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකොට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා භාරකාර ආණ්ඩුවකට කැමැති බව විවිධ මාර්ගවලින් තමන්ට දැනගන්නට ලැබී ඇතත් එබඳු විධිමත් ඉල්ලීමක් මේ වන තෙක් ලැබී නැති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ කණ්ඩායම සමඟ භාරකාර ආණ්ඩුවකට එක්වීම ගැන සාකච්ඡා කිරීම සඳහාම කැඳවා තිබූ මෙම සාකච්ඡාවේදී වැඩි දෙනෙක් අදහස් දක්වා ඇත්තේ එවැන්නකට විරුද්ධවය. එබඳු ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තමන් එයට සහභාගි නොවී විපක්ෂයේ රැඳී සිටින බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසා ඇත. බැසිල් රාජපක්ෂ මහතාගේ ද අදහස වී ඇත්තේ මේ මොහොතේ එබඳු උත්සාහයන්ට නොගිය යුතු බවයි.

භාරකාර ආණ්ඩු යෝජනාව නොතකා පොදුජන පෙරමුණේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට එහිදී තීරණය වී ඇති අතර එබඳු ආණ්ඩුවක් සඳහා විධිමත් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ ගැන තීරණ ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට බලය පවරා තිබේ.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 දෙනා පමණක් සහභාගි වූ අතර දිනේෂ්, වාසු, විමල් වීරවංශ, ගම්මන්පිල ආදීන්ට හෝ එම පක්ෂවලට ආරාධනාකොට තිබුණේ නැත. ඔවුන් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට තීරණය වී තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...