ව්‍යවස්ථා සභාවේ සිවිල් ක්‍රියාකාරීන්ට අනුමැතිය | දිනමිණ

ව්‍යවස්ථා සභාවේ සිවිල් ක්‍රියාකාරීන්ට අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

එළෙස අනුමැතිය හිමිවූයේ, ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වක්කුමරන් යන අයටය.

අග්‍රමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා විසින් ඔවුන්ට පැවරි ඇති බලතළ ප්‍රකාරව මෙම නම් පාර්ලිමේන්තුවට යෝජනා කළේ ය.

ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට මධ්‍යහ්න 12 ට පළමුවරට රැස්වීමට නියමිත අතර, එහිදී නව අගවිනිසුරුවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන බවයි කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනා මේ වනවිට පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂනායකවරයා නිල බලයෙන් ඒ සඳහා වෙයි.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහත් විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂත් පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය තලතා අතුකෝරලයි.

සුළු පක්ෂ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවා ඇති මෙම ව්‍යවස්ථා සභාවේ නිල කාලය වසර 03 ක්.

නව අදහස දක්වන්න