PROMET දෙවැනි වර­ටත් රන් සම්මාන දිනයි | දිනමිණ

PROMET දෙවැනි වර­ටත් රන් සම්මාන දිනයි

ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී හොඳම බලශක්ති සේවා සමාගම් අතරින් තාක්ෂණ සැපයුම්කරුවන්ගේ 2018 රන් ගිනි සිළු සම්මානය දෙවැනි වරටත් දිනා ගනිමින් සීමාසහිත ප්‍රොෆොෂනල් මෙට් කන්සල්ටන්සි සර්විසස් පෞද්ගලික සමාගම අඛණ්ඩව හත්වැනි වරටත් හොඳම බලශක්ති සේවා සමාගම් අතරට එක් විය. “දෙවැනි වතාවටත් රන් සම්මානය ලැබීම සම්බන්ධයෙන් අපේ ගනුදෙනුකරුවන්ට කෘතඥතාව පුද කළ යුතුයි. ඔවුන්ගේ ව්‍යාපාර ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කාර්යක්ෂම බලශක්ති පද්ධති සපයන්නට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. ප්‍රෝමෙට් කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසය අපිට විශාල ශක්තියක්. ඉදිරි අවුරුදු 50ත් 120ත් අතර කාලයේදී ලෝකයේ පොසිල ඉන්ධන අවසන් වන බව විද්‍යාඥයන් පවසා ඇති නිසා විකල්ප ඉන්ධන මූලාශ්‍ර සොයා නොගත්තොත් අපට විශාල අර්බුදයක් ඇති වෙනවා. එනිසා විකල්ප බලශක්ති කෙරෙහි යොමු වන්නට සිදු වෙනවා. පුනර්ජනනීය මූලාශ්‍රවලට මෙරට බලශක්ති සැපයුමෙහි වාසිදායක වෙනසක් කළ හැකියි.” ප්‍රෝමෙට් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ එම්.ඒ. ජස්ටින් මහතා පැවසීය.

තාප ජනක පද්ධති, වාෂ්ප/උණු වතුර බොයිලේරු ඉදිකිරීමේ ව්‍යාපෘති හා බලශක්ති මුලාශ්‍රය මාරු කිරීමේ ව්‍යාපෘති, පරිසර දූෂණය (ජල/වායු/ශබ්ද දූෂණය) පාලනය කිරීමේ ව්‍යාපෘති, බොයිලේරු උපාංග හා අමතර කොටස් සැපයීම, බලශක්කි උත්පාදනය සඳහා ජීව ස්කන්ධ ඉන්ධන සැපයීම ආදිය සමාගමේ සේවා අතර වෙයි. එසේම විද්‍යාගාර සේවා අතර උපකරණ සීරුමාරු කිරීම, ඉදිකිරීම් ද්‍රව්‍ය පරීක්ෂා කිරීම, පොලිමර් හා රබර් පරීක්ෂාව, හානිදායක නොවන පරීක්ෂාව ආදියද වෙයි. මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණය වැළැක්වීමේ තාක්ෂණික මග පෙන්වීම් කරන විශේෂඥ සමාගමක් වශයෙන් ලියාපදිංචි ප්‍රෝමෙට් සුනිත්‍ය බලශක්ති අධිකාරියේද ලියාපදිංචි බලශක්ති සේවා සපයන සමාගමකි. එසේම ISO 9001:2015 සහතිකය ලබා ගත් ප්‍රථම බලශක්ති සේවා සමාගමද වෙයි.

නව අදහස දක්වන්න