ආණ්ඩුව පෙරළීම | දිනමිණ

ආණ්ඩුව පෙරළීම

දේශපාලනඥයන් බොහෝවිට තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාර කරන්නේ ‘මෙදා පොටේ දෙනවා බැටේ’ කියාගෙනය. විජයග්‍රහණය ගැන පම්පෝරි ගහමින්ය. ඒ තමන්ගේ අනුගාමිකයන් දිරිමත්කොට තබා ගන්නටය. ඔවුන් තමන් වෙතින් ඉවත්ව යාම වළක්වා ගන්නටය. තමන්ගේ දුර්වලතාවය වැඩියෙන් දැනෙනවිට ජයග්‍රහණය ගැන පම්පෝරි ගහනවාද වැඩිය. තමන්ට ඉක්මනින්ම ලැබෙන ජයග්‍රහණයක් ගැන කියන්නට හදන්නේ ඒකය. ඒකාබද්ධ විපක්ෂයේ උදවියගේ ආණ්ඩු පෙරළීමේ කතාව එයට හොඳම උදාහරණයකි.

ඔවුන් කියන හැටියට දැන් ඔවුන් ආණ්ඩුව පෙරළන්න යන්නේ කුමන්ත්‍රණයකිනි. ඒ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමෙනි. එයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැමැති කරවා ගැනීමෙනි. භාරකාර ආණ්ඩුවක් ගොඩනැගීම මගිනි. වාසුදේව නානායක්කාර මහතා කියන්නේ සති දෙක තුනකින් වැඩේ වන බවකි. ඒ කියන්නේ කයිවාරුවට බව දන්නෝ දනිති. ඇත්තටම කුමන්ත්‍රණ කරන අය, ආණ්ඩු පෙරළන අය කිය කියා කරන්නේ නැත. වැඩේ වෙන්නේ නොදන්නා මොහොතකය. අන්තිම මොහොතේ ය. ඒ ‍වනතෙක් හැසිරෙන්නේ මොකුත් නොවුණ ගානටය. හෙට සතුරාත් සමඟ අද ආප්ප කන්නේ ඒකටය. වැඩේ වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වූ ආකාරයටය. කයිවාරු ගහන්නේ එහෙම සැලසුම් නැති උදවියයි.

ඊයේ පෙරේදා වනවිට කතාව තිබුණේ ජනාධිපති මෛත්‍රී හා මහින්ද අතර රහස් සාකච්ඡාවක් පැවැති බවකි. එයට බැසිල්ද සහභාගී වූ බවකි. රනිල්ගේ ආණ්ඩුව පෙරළා මහින්ද අගමැති කොට භාරකාර ආණ්ඩුවක් හදන්න සූදානම් වූ බවකි. මේ සියල්ල සැලසුම් කළේ එස්. බී. දිසානායක මහතාගේ නිවසේදී කළ හමුවීමකදී බවකි.

මුට්ටිය දමා බැලීම

කවුරුහරි මේ කළේ මුට්ටියදා බැලීමක් විය හැකිය. එසේ වුවද මුට්ටියට වැදුණේ කුඩුවෙන්නමය. ශ්‍රිලනිපයේ මෙන්ම ඒකාබද්ධයේද ප්‍රබල පිරිස් කියන්නට පටන්ගත්තේ ඔහොම වැඩට අපි නැති බවය. නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේ, කාගේවත් පස්සේ යන්න තමන් සූදානම් නැති බවකි. ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම කියා තිබුණේද එහෙම සම්මුතියකට සූදානම් නැති බවකි. එස්. බී. දිසානායක මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කීවේ, තමන්ගේ නිවසේදී මෛත්‍රී - මහින්ද හමුවක් සිදුවූ කතාව බොරුවක් බවයි. මහින්ද රාජපක්ෂ මහතාද කීවේ භාරකාර ආණ්ඩු කතාව බොරුවක් බවයි. ඒ වනවිට කල්තියා පෙරට පැන හුරේ දමමින් සිටි විමල් වීරවංශ වැන්නෝ අතරමං වූහ. වැඩේ අවසානය මෙය නොවුණද එය අවුලක් බවට පත්ව ඇති බවනම් විශ්වාසය.

ආණ්ඩු පෙරළන කතාව කියන්නේ අද ඊයේ නොවේ. වසර දෙක තුනක සිට කියන්නේ පොහොය දෙක තුනකින් ආණ්ඩු පෙරළන බවයි. පසුව එය වෙසක් පොහොය විය. එයින්ද දෙක තුනක් ගියත් තවත් දෙක තුනක් අවශ්‍ය බව පෙනෙන්නට ඇත. ඇත්තටම නම් කල්පයක් ගියත් මහින්ද යළි අගමැති වන පාටක් නම් පෙනෙන්නට නැත. එසේ වුවද රටේ මහින්දවාදීන් ලෙස බිහිවී ඇති කණ්ඩායම එසේ තබාගත හැක්කේ එහෙම බලාපොරොත්තුවක් දීමෙන් පමණකි. එම පිරිස බලයත් සමඟ හැදී, බලය සමඟ ජීවත් වී, බලය යොදාගෙන ජාවාරම් කොට යටිමඩි ගසාගත් පිරිසකි. ඔවුන්ට යළිත් මහින්දගේ ආණ්ඩුවක් ඕනෑය. ඉතින් මහින්දත් ඔහුගේ ප්‍රධාන මෙහෙයුම් කරුවනුත් කරන්නේ අද හෙට එන මහින්ද පාලනයක් ගැන බලාපොරොත්තු ඇති කිරීමය. ප්‍රවෘත්ති මැවීමය.

පෙබරවාරි 10දා පළාත් පාලන මැතිවරණය මහින්දවාදීන් කළේ මහ මැතිවරණයක් ලෙසිනි. ඡන්දය දුන්නොත් මහින්ද අගමැතිකර පෙන්වන බව පාක්ෂිකයන්ට කීවෝය. අනෙක් පක්ෂවල බොහෝදෙනා ඡන්ද පොළට නොගිය අතර මහින්දගේ ඡන්ද ගොඩම වැටිනි. ඒත් සියයට හතළිස් හතරකි. මහින්ද අගමැති වුණේ නැත. ඉන්පසු කතන්දරය වෙනත් අතකට යන්නට බොහෝ ගේම් ගැහුවෝය. උද්ඝෝෂණ ද කළෝය.

ටික දිනකට අගමැති සටන අතහැර ඒකාබද්ධය වෙනත් සටනක් කළේය. එය නම් විපක්ෂ නායකකම ලබා ගැනීමේ සටනයි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ එබඳු හැකියාවක් නැති බව දැන දැනම ඒකාබද්ධයට විපක්ෂ නායකකම ඉල්ලුවේ සියලුදෙනා ජනාධිපතිතුමාගේ පක්ෂයේ සාමාජිකයන්ව සිටියදීය. එයින් ඉවත් වන්නේද නැතිවය. ඒ ගේමද හරිගියේ නැත.

පසුගිය මාසයේ ජනබලය කොළඹට කියා උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබිණි. මුලින් කීවේ, පස් පොළකින් කොළඹ වටලන බවකි. කොළඹට එන සියලු මාර්ග අහුරණ බවකි. පසුව එම උද්ඝෝෂණය ලේක්හවුස් වටරවුමට සීමා විය. කොළඹ නිශ්ක්‍රීය කරනවා තබා එතැනම තිබූ ලේක්හවුස් ආයතනයේවත් වැඩ නවත්වන්නට ඔවුනට හැකිවූයේ නැත. රෑ එළිවෙනකල් රැ‍ඳෙන බව කී පෙළපාලිකරුවෝ රෑ වෙන්න කලින් විසිර ගියෝය.

වැඩේ අප්සෙට් ගියවිට වෙනත් කතාවක් කීවෝය. එනම් උද්ඝෝෂකයන්ට එජාපයෙන් වස දමා කිරි පැකට් බෙදූ බවකි. එම කිරි පැකට් එකක් සමඟම පොලිස් පැමිණිල්ලක් ද කළේය. දැන් එළිවී තිබෙන්නේ එම කිරි පැකැට්වල වස විස කිසිවක් නොතිබූ බවකි. දැන් ප්‍රශ්නය තිබෙන්නේ උද්ඝෝෂකයන්ට මෙම කිරි පැකට් බෙදුවේ එජාපය යැයි කීම ගැනය. මේ කට්ටිය සපථ කරමින් කීවේ එහෙමය. මෙයින් පෙනෙන්නේ මහින්දගේ හෙන්චයියල පට්ටපල් ‍බොරු ගොතන ආකාරයයි. අනෙක් ප්‍රශ්නය නම් උද්ඝෝෂකයන්ට බඩේ අමාරු හැදී වැසිකිළි යන තත්ත්වයට පත්වුණේ නම් ඒ කුමක් නිසාද යන්නයි. කිරි පැකැට්වල වස විස නැතිනම් එයට වෙන හේතුවක් තිබිය යුතුයි. මේවා අහන එකේ තේරුමක් නැත. එවිට සිදුවන්නේ තවත් බොරුවක් අහගන්නටය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ ඒකාබද්ධ විපක්ෂය බොරුව කළමනාකරණය කරන ආකාරයයි. මොවුන් අද හෙට ආණ්ඩු පෙරළන බව තම පාක්ෂිකයන්ට කියන්නේ එහෙම කිසිම වැඩපිළිවෙළක් නැතිවය. ඔවුන් කියන්නේ ගුප්ත ආකාරයකින් යම් ක්‍රමයක් මවා පෙන්වීමය. එසේ කරන්නේ එය බොරුවක් බව දැනදැනමය. ඒ පාක්ෂිකයන් රවටන්නටය. පළාත් පාලන මැතිවරණයේදීත් ජනබලය කොළඹට උද්ඝෝෂණයේදීත් සිදුවූයේ ඒකය. මේ නායකයන් තේරුම් නොගන්නේ මෙහෙම දිගට රවට්ටනවිට පාක්ෂිකයෝ එය තේරුම් ගන්නා බවයි.

“ජන බලය කොළඹට” උද්ඝෝෂණයේදි සිදුවූයේ ඒකාබද්ධයේ කයිවාරුකාරයින්ගේ කතා අසා කොළඹට ආ ජනතාව උද්ඝෝෂණයේ ඇත්ත තත්ත්වය තේරුම් ගැනීම ය. තමන්ට කොළඹ නිශ්ක්‍රීය කරන්නට හෝ බලය අල්ලන්නට හෝ හැකියාවක් නැති බව තේරුම් ගැනීමයි. නායකයන් කයිවාරු ගසමින් සිටිද්දී අනුගාමිකයන් ඔවුන් තනිකර ආපසු යන්න ගියේ “මේක කිසිම තේරුමක් නැති වැඩක්” කියාගෙනය.

කොළඹ උදවියට තේරුණ දේ

ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට සිටින්නේ දේශපාලන වශයෙන් නන්නත්තාර වූ තත්ත්වයකය. ලබන වසරේ අග ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ඒකාබද්ධයට ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි ජය ගත හැකි අපේක්ෂකයකු නැත. ඒ බව වාසුදේව නානායක්කාර වැන්නන් පවා ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත. මේ වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කතා කිරීමද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් අතහැර දමා ඇත.

දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ පාර්ලිමේන්තුවේ කරන පෙරැළියකින් පසුව මහ මැතිවරණයක් ලබා ගන්නා බවය. භාරකාර ආණ්ඩු කතාව මතුවන්නේ ද එහෙමය. ඒකාබද්ධයට තිබෙන ලොකුම ප්‍රශ්නය පාර්ලිමේන්තු මැතිවරණය කල්තබා ලබාගැනීමේ කිසිදු ක්‍රමයක් නැතිවීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතරහමාරක් යනතෙක් ආණ්ඩුව විසුරුවන්නට ජනාධිපතිවරයාට බැරිය. ඒ කියන්නේ එයට 2020 පෙබරවාරිය වනතෙක් සිටිය යුතුය. ඊට පෙර 2019 නොවැම්බර් වනවිට ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

පාර්ලිමේන්තුවෙහි කරන බල පෙරළියක් ගැන ඒකාබද්ධය කතා කළද පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව ඔවුන්ට ඇත්තේ අල්ප බලයකි. ඒකාබද්ධයට ඇත්තේ 53 කි. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීන් 15ත් සමග 68 කි. මෛත්‍රී සමග සිටින 23 දෙනා අතරින් මහින්ද පිළ සමග එක්වන්නට කැමැති කිසිවකු සොයාගත නොහැකි තරම් ය.

පාර්ලිමේන්තුව තුළ එජාප බලය දුර්වලවී නැති බවත් එය තවත් ශක්තිමත් වී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවේදී හොඳින්ම පැහැදිලි විය. මේ වනවිට පවතින්නේ එය වඩාත් ශක්තිමත් වූ තත්ත්වයකය. පක්ෂය තුළ ප්‍රතිසංවිධානයක් සිදුවී ඇති අතර එයින් බොහෝ දෙනා තෘප්තිමත්ව සිටින බව පෙනෙන්නට තිබේ. මේ වසර මුලදී එජාප මන්ත්‍රීවරුන් අතරින් අසන්නට ලැබුණු මැසිවිලි චෝදනා විවේචන ආදිය දැන් ඇහෙන්නට නැත. පෙනෙන්නට තිබෙන්නේ ඔවුන් වඩා ශක්තිමත්ව ඉදිරියට යන බවකි.

මෙම කණ්ඩායම්වලට පිටින් පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරු 20 දෙනෙක් දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සිටිති. එම දෙපාර්ශ්වයම සිටින්නේ තම තමන්ගේ පක්ෂවල වැඩ සටහන් යටතේය. මේ දෙපිරිසම මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමන්නට උරදුන් බව අමතක කළ නොහැකිය. ඔවුන්ට අනුව මේ ආණ්ඩුවේ මොන දුර්වලකම් තිබුණත් මෙය පෙරළා දමන්නට මහින්දට හෝ ඒකාබද්ධයට උදව් කරන්නට මෙම දෙපිරිසම සූදානම් නොවන බව පැහැදිලි ‍කාරණයකි.

පාර්ලිමේන්තුවේ මෙම බල තුලනය ගැන රටේ ජනතාව නොදන්නවා නොවේ. ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන පිරිසට වුවද මේ ගැන තක්සේරුවක් නොතිබෙන්නට හේතුවක් නැත. ඒනිසාම ආණ්ඩුව පෙරළීම ගැන භාරකාර ආණ්ඩු ගැන ඒකාබද්ධ නායකයන් කියන කතා වලින් ඔවුන්ගේ අනුගාමිකයන් වුවද තවදුරටත් රැවටීමේ හැකියාවක් තිබිය නොහැකිය. එසේ වුවද අසරණ වී සිටින ඔවුන්ට තම නායකයන් මොකක් හෝ පොටක් පාදාගනු ඇතැයි බලාපොරොත්තුවක් පමණක් ඉතිරිවනු ඇත.

මෙම තත්ත්වය තුළ ඒකාබද්ධ විපක්ෂයට තිබෙන තෝරාගැනීම පහසු නැත. ඔවුනට තිබෙන මාර්ග වන්නේ ජ.වි.පෙ. ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනයට සහය දී ජනාධිපතිවරණය අහෝසි කරගෙන මහ මැතිවරණයකට මුහුණ දීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සහාය දීමයි.මෙම ක්‍රම දෙකෙන් එකක් මගින් ජනාධිපතිවරණයට මුහුණ දීමේ අමාරු අභියෝගය මගහැර විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර විධායක අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කරගැනීමේ අවස්ථාවක් ඔවුනට හිමිවෙයි. ඒත් අවස්ථාවක් පමණකි. ඒ මේ රටේ මහජනයා ඡන්දය දුන්නොත් පමණකි. කෙසේ වෙතත් තමන්ම ගොඩ නගාගෙන සිටින දේශප්‍රේමී කියාගත් ජාතිවාදී මතවාද සමග ඒකාබද්ධයට ඉහත කී විකල්ප අත්හදා බැලීම පහසු නැත. එයට එරෙහිව ප්‍රබල විරෝධයක් මතුවනු ඇත්තේ ඔවුන්ගේම කණ්ඩායම තුළිනි. අනෙක් අතට එවැන්නකට එකඟ වීම තම දුර්වලතාවය පිළිගැනීමක් ලෙස ඔවුන්ට පෙනී යන්නටද ඉඩ ඇත.

හැම පාරක්ම වැහිලා

ඒකාබද්ධයටත්, මහින්ද රාජපක්ෂ මහතාටත් තවත් මාවතක්ද ඇත. එය නම් එස්.බී. දිසානායක මහතා කියන මාවතයි. එනම් ජනාධිපතිවරණයකදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දී අගමැති තනතුර සඳහා මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා තරග වැදීමයි. එස්.බී.ට, ඩිලාන්ට එම කණ්ඩායමේ උදවියට මෙබඳු උපක්‍රම ගැන කියන්නට පහසුය. ඔවුන් කවදත් මහින්ද රාජපක්ෂ මහතාට හිතවත්ව සිටි පිරිසකි. ඔවුන් මෛත්‍රී සමග ගියේ නල්ලතන්නියේදී මහින්ද හමුවන්නටය. ඒ නල්ලතන්නිය ඉදිරියේ ඇතැයි ඔවුන් සිතනවා විය හැකිය. එසේ වුවද මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එතුමා සමග සිටින අනෙක් පිරිසටත් මෙය පහසු නැත. විශේෂයෙන් මහින්දගේ දූෂිත පීඩාකාරී පාලනය පෙරළා දමන්නට පෙරට ආ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එය පහසු නැත.

“මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පැමිණිය යුත්තේ තම ගෞරවයද රැකගෙනය. එසේ නම් මහින්ද පිල තමන්ගේ අතීත වැරදි පිළිගෙන දූෂණ භීෂණ පිටුදකින පාලනයකට දිව්රුම් දී මෛත්‍රීට සහාය දීමට ඉදිරිපත් වීම අවශ්‍ය වනු ඇත. එසේ කිරීමට මහින්ද සූදානම් නැතිනම් එම මාවතද ඇහිරෙනු ඇත. මෙලෙස අද හෙට කෙරෙන ආණ්ඩු පෙරැළියක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ උදවිය මොන කතා කීවද මේ වනවිට ඔවුන්ගේ බලයට ඒමේ මාර්ග සියල්ල ඇත්තේ ඇහිරිලාය. විශාල බාධක රාශියක් ඔවුන් ඉදිරියේ ය. අනෙක් අතින් බලනවිට ආණ්ඩුව දැන් වේගයෙන් වැඩ කිරීම පට‍න්ගෙනය. රට පුරා එම වැඩ කටයුතු සිදුවෙයි. ඒවා දකින විටද ඒකාබද්ධ විපක්ෂයේ උදවියගේ ධෛර්ය හා විශ්වාසය බිඳවැටෙන බව පැහැදිලිය.

ඒකාබද්ධයේ නායකයන්ට දැන් සිදුව තිබෙන්නේ තව තවත් බොරු කියන්නටය. මවා පෑම් කරන්නටය. එහෙත් ඒ ගමනේත් කෙළවරටම ඇවිල්ලාය. අර්බුදය තිබෙන්නේ එතැනය.

සී.ජේ. අමරතුංග

නව අදහස දක්වන්න