ග්‍රාමීය වැව් 325ක් සංවර්ධනයට ඇ.ඩො. දස ලක්ෂ 31ක් | දිනමිණ

ග්‍රාමීය වැව් 325ක් සංවර්ධනයට ඇ.ඩො. දස ලක්ෂ 31ක්

ශ්‍රී ලංකාවේ උතුරුමැද, උතුර සහ වයඹ පළාත් ආශ්‍රිත අනුරාධපුර, පොලොන්නරුව, පුත්තලම, කුරුණෑගල, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල අබලන්ව ඇති ග්‍රාමීය වැව් 325ක් පිළිසකර කෙරේ. මේ වැඩසටහන් වැව් ගම් පුබුදුව නමින් හැඳින්වේ. එම වැව් ආශ්‍රිත ගම්මානවල ජනතාවට පිරිසුදු පානීය ජලය සපයා දීමේ ව්‍යාපෘතියක් ද එයට සමගාමීව ක්‍රියාත්මක වේ.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් මේ ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි. ජාත්‍යන්තර හරිත දේශගුණික අරමුදල මේ වැඩපිළවෙළ සඳහා ඇ.ඩො. දස ලක්ෂ 31ක මූල්‍ය ප්‍රතිපාදනයන් පරිත්‍යාගයක් වශයෙන් ලබාදෙන අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ව්‍යපාෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදෙයි. මේ ව්‍යාපෘතිය මගින් අදාළ කලාපවල වෙසෙන නිරන්තරයෙන් ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත්වලට ගොදුරුවන අඩු ආදායම්ලාභී පහළොස් ලක්ෂයක් පමණ වන ගොවි පවුල්වල ජීවනෝපාය සංවර්ධනය සඳහා අතදීම සිදු වේ. ශ්‍රී ලංකා රජය මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම සඳහා ඇ.ඩො. දස ලක්ෂ 14ක් ආයෝජනය කරයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර දිසා ලේකම් කාර්යාලයට අනුයුක්ත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් උප කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කෙළේ 2025 වන විට ව්‍යාපෘතියේ වැඩ අවසන් කොට ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා ඉලක්ක කරගෙන ඇති බවයි.

සටහන හා ඡායාරූපය
අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ
නිමල් විජේසිංහ

නව අදහස දක්වන්න