නුවරඑළිය නව මහ රෝහල ලබන වසරේ විවෘත කරනවා | දිනමිණ

නුවරඑළිය නව මහ රෝහල ලබන වසරේ විවෘත කරනවා

නෙදර්ලන්ත ආධාර යටතේ ඉදි කළ නුවරඑළිය නව මහ රෝහල ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම විවෘත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නුවරඑළිය මහ රෝහලේ අලුතින් ඉදි කළ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය, හෙද නේවාසිකාගාරය සහ පෙර පාසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා පසුගියදා මේ බව ප්‍රකාශ කළේය.

රෝහලේ පවතින වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල පුරප්පාඩු සහ පොදු පහසුකම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී පැවැත්විණි. එම සාකච්ඡාවට නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය. නෙදර්ලන්ත ආධාර යටතේ ඉදි කළ නුවරඑළිය සහ හම්බන්තොට නව රෝහල් පිළිබඳ ගැටලු තිබුණා. එම ගැටලු ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු විසඳීමට හැකිව තිබෙනවා. එම නිසා ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම මේ රෝහල විවෘත කරනවා. ඒ අංග සම්පූර්ණ නව මහ රෝහලක් ලෙසයි. රටේ අනෙකුත් රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සඳහා නව නිල නිවාස 1500ක් ප්‍රථම අදියර යටතේ ඉදි කරනවා. ඒ විදේශ සමාගමක ආයෝජනයක් මතයි. රට පුරා රෝහල් රැසක් යුරෝපයේ ප්‍රමිතියට අනුව සංවර්ධනය කරනවා. වෛද්‍ය, හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල මානව සම්පත දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මානව සම්පත් අධ්‍යක්ෂවරයෙකු පත් කර එම වැඩපිළිවෙළ අධීක්ෂණය කරනවා. වසර 2025 වන විට විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් වෛද්‍යවරුන් බිහි කිරීම සඳහා තවත් විශ්ව විද්‍යාල 03 ක නව වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා. හෙද හෙදියන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

පසුගිය රජය ණය ලබාගෙන ඇත්තේ විවිධ ක්‍රමවලින්. නොහිතපු ආකාරයට සියයට 33ක් පමණ වූ ණය හොර පාරෙන් අරගෙන තිබෙනවා. අපේ රජයට වැඩිම ණය කන්දරාවක් ගෙවීමට ඇත්තේ ලබන වසරේදී. රජයක් ලබාගන්නා සියලුම ණය භාණ්ඩාගාරයේ සඳහන් විය යුතු වුවත්, පසුගිය රජය ඊට වඩා ණය අරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය සීමාව ඉක්මවා දේශීය බැංකුවලින් ද ණය ලබාගෙන තිබෙනවා. එම ණයත් වත්මන් රජය ගෙවිය යුතුයි. ඒ බැංකු පද්ධතිය කඩා වැටීම වැළැක්වීම සඳහායි. හොර පාරෙන් ගත් ණයත් ගෙවන්න සිද්ධ වුණත් අපේ රජයට ආයෝජන රැසක් ද ලැබී තිබෙනවා.

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසීම්, අතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නවීර, රෝහල් අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න