දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි | දිනමිණ

දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි

‘අප පාසල ආරම්භ වු දා සිට ශිෂ්‍යත්වයට පෙනී සිටි කායික ආබාධ සහිත දරුවන් අතරින් ලකුණු වැඩි ප්‍රමාණයක් ලබා ගත් දරුවා දිනුෂා. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් නොවුනත් අත් පා ඇති දරුවන් හා සමකරද්දි අපේ දිනුෂා දිනුම්. ඇය විභාගයට අකුරු ලිවේ කටින්. ඒ නිසා ඇයගේ ලකුණු මට්ටමත් ඇයගේ හපන්කම ගැනත් දක්ෂතාවය ගැනත් අද සමාජයේ කථා බහට ලක්වී තිබෙනවා. මේ දක්ෂතාවය ගැන අපෙන් ගොඩාක් අය කථා කරලා අහනවා දිනුෂා දියණිය බලන්න එනවා. සුභ පතනවා.

තම මුහුණ හා කට පමණක් උදව්කර ගනිමින් පාට පෙට්ටිය හා හිස් කඩදාසිය අවශ්‍ය පරිදි සකස් කර සකසුරුවම් ලෙසත්, පිරිසිදු ලෙසත් ඇය හිතේ හැටියට සිත්තම් මවයි. ඒවා ඉතා සුන්දරය. ඇය අකුරු ලියන්නට, ගීත ගයන්නටත් දක්ෂය. සිනහා මුසු මුහුණින්, දීප්තිමත් දෑසින් කාගෙත් ආදරය දිනාගැනීමට ද සමත්ය. කටින් පෑන හසුරවමින් අකුරු ලියා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකූණු 145 ක් ලබා ගනිමින් කාගෙත් අවධානයට ලක්වී සිටින්නීය. එය ඇගේ අනාගතයට වෙනම පාටක් එකතු කළ කරුණක් බවට පත්වී තිබේ.

ඇය මාවනැල්ලේ කොටගල අශෝක පුර විශේෂ පාසලේ 11 හැවිරිදි දිනූෂා බණ්ඩාර දිරිය දියණියයි.

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා හපන් කම් පෑ දක්ෂතා පෙන්නු දරුවන් ගැන මුළු රටේම අවධානය යොමු වෙද්දි ආබාධිත දියණියක් කටින් අකුරු ලියා මෙලෙස ඉහළ ලකුණු ලබා ඇත්තේ මුල් වතාවටය. මේ දියණිය අශෝක පුරා පාසලේ කාගෙත් සුරතල් විඳිමින් සිත් සේ ජීවිතය සැහැල්ලුවෙන් ගෙවමින් සිටින්නීය.

ඇය පාසලේ එහා මෙහා යන්නේ රෝද පුටුවෙන්ය. ඇයට ආහාර කැවිම හා පානීය දේවල් පොවන්නේ පාසලේ ගුරුවරුන්ය. එසේත් නැතිනම් විදුහල්පතිනියයි. විදුහල්පතිනිය ඒ.එස්.සිරිවර්ධන ගුරු මහත්මියට දිනුෂා ඉමහත් ආදරයක් කරුණායක් දක්වයි.

මවකගේ උණුසුම අහිමි දිනුෂා දියණියට විදුහල්පතිනිය මවකගෙන් ලැබෙන උණුසුම ආදරය නොඅඩුව ලබා දෙන්නීය. ඇය මේ පාසලේ සිටින සෙසු දරු දැරියන්ටත් එලෙසින්ම ආදරය, කරුණාව බෙදා දෙන්නීය. එම දරුවන් විදුහල්පතිනියගේ සාරි පොටේ එල්ලි හෝ ඇය වැළදගෙන සෙනෙහස දක්වන අයුරු කාටත් හුරු පුරුදු දසුනකි.

අඩු මානසික තත්ත්වයක් ඇති ළමුන් නේවාසිකව රැක බලා ගෙන පුනරුත්තාපනය කරන මේ මධ්‍යස්ථානය මගින් ඔවුන්ට නිසි අධ්‍යාපනයත් ලබා දෙයි. අත් පා ඇති දරුවන්ට සමාජයේ තම අයිතිවාසිකම් සියල්ල අඩුවක් නැතිව ලැබෙන විට අඩු මානසිකත්වයන් මත උපදින දරු දැරියන් සඳහා ලැබෙනුයේ අඩු සැලකිල්ලකි. එසේම එවැනි දරු දැරියන් වෙනුවෙන් පැහැදිලි අනාගත සැලසුමක් ද පෙනෙන්නට නැත. එසේ වුවත් විවිධ හැකියාවන් ඔස්සේ ඉදිරියට යන එවැනි දරු දැරියන්ට තම හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව මේ පාසලෙන් නොඅඩුව ලබාදීමත් පැසසුමට කරුණකි.

තම පාසලේ දරු දැරියන් අතරින් දිනූෂා දියණිය ගැන විදුහල්පතිනියට ඇත්තේ අපරිමිත ලෙන්ගතුකමකි.

‘මේ දරුවා තමයි කටින් චිත්‍ර හා අකුරු ලියන අපේ පාසලේ ඉන්න එකම දරුවා. දැන් මෙයාට අවුරුදු 11 ක් වෙනවා. අපේ පාසලෙන් මේ වන විට ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන්ගෙන් ලකුණු 145 ක වැනි වැඩි ලකුණු ලබා ගත් එකම දරුවාත් මෙයා විතරයි. අප පාසල ආරම්භ වු දා සිට ශිෂ්‍යත්වයට පෙනී සිටි කායික ආබාධ සහිත දරුවන් අතරින් ලකුණු වැඩි ප්‍රමාණයක් ලබා ගත් දරුවාද දිනුෂා පමණයි. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් නොවුනත් අත් පා ඇති දරුවන් හා සමකරද්දි අපේ දිනුෂා දිනුම්. ඇය විභාගයට අකුරු ලිවේ කටින්. මේ වසරේ ලංකාවේ එවැනි හපන්කමක් කර ඇති එකම දරුවා ඇය වෙන්න ඇති කියලයි මාගේ විශ්වාසය. ඒ නිසා ඇයගේ ලකුණු මට්ටමත් ඇයගේ හපන්කම ගැනත් දක්ෂතාවය ගැනත් අද සමාජයේ කථා බහට ලක්වී තිබෙනවා. මේ දක්ෂතාවය ගැන අපෙන් ගොඩාක් අය කථා කරලා අහනවා දිනුෂා දියණිය බලන්න එනවා. සුභ පතනවා.‘

අපේ පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් 5 දෙනෙක් ඉදිරිපත් වුණා. කායික ආබාධ තත්ත්වය වැඩියෙන්ම ඇති දිනුෂා දියණියට බලවත්ගම මහා විද්‍යාලයේ තිබු විභාග ශාලාවේදි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න වුණේ කටින්. ඇයගේ අත් පා ආබාධිත නිසා සාමාන්‍ය කාලයට වඩා විනාඩි 10 ක් වැඩිපුර ලබා දිමට රජයේ අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබුණා. කවදත් සීනාමුසු මුහුණින් සිය කාරියන් ආරම්භ කරන ඇයගේ හැකියාව ඉහළයි. ඇය පාසලේ ඉගැන්විම් වලදි ලබා ගත් අධ්‍යාපනික දැනුම උපයෝගි කරගෙන මේ දක්ෂතාවය පෙන්වා තිබෙනවා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුනාට පස්සේ අපේ පාසලේ ආචාර්ය මණ්ඩලය ගොඩාක් සතුටු වුනා දියණියගේ හැකියාව සම්බන්ධයෙන්. යැයි ද විදුහල්පතිනිය කීවාය.

‘අපේ මව් ආයතනය වන ප්‍රීති පුර ළමා නිවාසයට මේ දරුවා ආවේ ඉපදීලා දවස් ගාණකින්. මෙයාගේ දෙමාපියෝ ඉන්නේ කුරුණෑගල. දරුවා ලැබිලා තියෙන්නේ කොළඹ ජාතික රෝහලේ. අපේ ප්‍රීතිපුර ළමා නිවාසයට රෝහලෙන් කොල් කරලා විස්තර කිවාට පස්සේ අපි ගිහින් අරන් ඇවිත් හදා ගත්තා. මෙයා උපන්නාට පස්සේ කායික ආබාධිත තත්ත්වය දැකලා එයාගේ මාපියන් ගොඩාක් දුක් වෙලා. එයාගේ අම්මා මානසිකව කඩා වැටිලයි හිටියේ. රෝහලේ වෛද්‍යවරු පවා කියා තිබෙනවා දරුවා ටික දවසකින් මිය යන්නටත් පුළුවන් කියලා. නමුත් දැන් එයාට වයස අවුරුදු 11 යි. අවුරුදු කිහිපයකට පස්සේ අධ්‍යාපනය ලබන්න අපේ මේ පාසලට ප්‍රීතිපුර ළමා නිවාසයේ ඉදලා දරුවා පැමිණියා.‘

‘අද වෙන කොට ඇය චිත්‍ර ඇඳලා සමස්ත ලංකා තරග පවා ජයග්‍රහණය කරලා තියනවා. අවුරුදු 5 දී තමයි මුලින්ම මෙයා චිත්‍ර ඇදලා දිනුවේ. ඇගේ අකුරු පවා ලස්සනයි. ලියන අඳින ඒවා කටින් ඇයට වඩා ලේසි වෙයි කියලා මුලදී නළලට උපකරණයක් සවි කළා. නමුත් එක ටිකක් කරදරයි. බෙල්ල ගොඩාක් වෙහෙසට පත් වෙන හින්දාම නැවත වතාවක් කටින් ඒ කාරිය කරන්න ඉඩ කඩ දුන්නා. ඒ විදිහට අද වෙන කොට ඇය බොහෝමයක් කාරියන් එලෙස කර ගන්නවා. චිත්‍රයට අවශ්‍ය පාට පවා තමන් විසින්ම තෝරා ගෙන කටින් පාට පෙට්ටියෙන් එකින් එක තෝරා ගන්නවා. පුදුමයට කාරණය වන්නේ කිසිදු කටුසටහනක් නොගහා පාට එකින් එක තෝරමින් චිත්‍රයේ වැඩ කොටස් අවසන් කිරිමයි. බලා ඉන්න කෙනෙකුට ඇය ඒ සඳහා කරන ක්‍රියාකාරකම් දකින විට කම්පාවක් සේම ඇය පිළිබඳ විශ්මයක් දනවනවා. 2013 වසරේ සමාජ සේවා අමාත්‍යංශය මගින් පැවැති අබාධිත චිත්‍ර තරගයේ කණිෂ්ඨ අංශයෙන් මේ දරුවා ජයග්‍රහණය ලබා ගත්තා. ඒ චිත්‍රය රාමු කරලා අපේ කාර්යාලයේ එල්ලලා තියනවා ” යැයි විදුහල්පතිනිය කීවාය.

ඇයගේ දක්ෂතා ප්‍රායෝගිකව අපද දැක ගත හැකි වු අතර කටින් චිත්‍ර ඇදිම හා අකුරු ලිවිම දිනුෂා දියණිය සිදු කරන්නේ ඉතා සැහැල්ලුවෙනි. දිනුෂා අදින චිත්‍රය දෙස මොහොතක් බලා සිටි මා හට දැක ගත හැකි වුයේ සමාන්‍ය ළමයෙකු චිත්‍රයක් අඳින කාලයට සමාන වේගයකින් ඇයද චිත්‍රය අදිමින් පාට ගන්වමින් තම හිස ඒ මේ අත කරකවමින් එම කාරිය කරන අන්දමයි. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු මට්ටමක් ලබා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිනුෂා බණ්ඩාර දියණිය සිනා මුසු මුහුණින් මෙසේ කීවාය.

‘හොඳට ඉගෙන ගෙන මේ පාසලේම ගුරුවරියක් විදිහට අනාගතයේ මෙහි ඉගෙනුම ලබන අයට අධ්‍යාපනය ලබා දෙන්න මං ආසයි. ශිෂ්‍යත්ව විභාගයට කියා අමුතුවෙන් පාඩම් කිරිමක් කළේ නෑ. පාසලේ අධ්‍යාපන කටයුතු වෙනදා කරලා විභාගයට මුහුණ දුන්නා.‘

කෙසේ වෙතත් මෙවැනි කායික අබාධිත දියණියක් ශිෂ්‍යත්වයෙන් සමත් වන ලකුණු මට්ටම ආසන්නටම කටින් අකුරු ලියා දක්ෂතා පෙන්වීම සාමන්‍ය දරුවකුට වඩා ඔබ්බට ගිය එකකි. එබැවින් ඇයගේ දක්ෂතාව අගය කර යුතු කරුණකි.

මාවනැල්ලේ පිහිටි මෙම ළමා නිවාසය හා විශේෂ පාසල ස්ථාපනය කර ඇත්තේ 1972 දීය. එහි නිර්මාතෘ ලෙස සලකනු ලබන්නේ ශ්‍රී ලංකාවේදිම උපත ලැබු විදේශිය ජාතිකයකු වන ආචාර්ය බ්‍රයන් ද ක්‍රෙට්සර් මහතාය. දැනට ඔහු ජීවතුන් අතට නොසිටියත් ඔහු විසින් මෙරට ආබාධිත දුවා දරුවන් වෙනුවෙන් රට පුරා මධ්‍යස්ථාන බොහෝමයක්ම ආරම්භ කර ඇත්තේ හෙට දිනයේ ඔවුන්ගේ ලෝකය සුභ වාදී කිරිමේ පරම මාහැගි චේතනාවෙනි.

දැනට අශෝකපුර කොටගල විශේෂ පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ අප ඉහත සඳහන් කරන ලද ඒ.එස් සිරිවර්ධන ගුරු මහත්මියයි. ඇයද පාසල් අධ්‍යාපනය අවසන් කිරිමෙන් අනතුරුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මෙවැනි දරුවන් සම්බන්ධව කරන ලද පර්යේෂණ වල අවසාන ප්‍රතිඵලය වුයේ තමන්ද මෙවැනි පාසලකට සේවය ලබා දීමය. ඒ සඳහා විවාහයෙන් පසු තම ස්වාමියා සමග දකුණු පළාතේ සිට පැමිණ වර්තමානය දක්වාම මෙහි සේවය සේවය කරන්නේ දශක කිහිපයක් පුරාය. ඇය නිරන්තරයෙන් පවසන්නේ තමන් විශාල ලෙස සතුටට පත් වන එකම කරුණ වන්නේ මෙම දරුවන්ට සේවය කිරිම හා ඔවුන් සමග දවස ගෙවා දැමිම බවය.

මේ වන විට මෙම පාසලේ නේවාසිකව අධ්‍යාපනය ලබන දරු දැරියන් පිරිස 100 කට අධිකය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔවුන්ට වෘත්තිය අධ්‍යාපනය ලබා දීමත් මෙම ආයතනය මගින් සිදු කරයි.

පිරිමි කන්තා වශයෙන් දෙපක්ෂයේම පිරිස් මෙහි නේවාසිකව සිටින බව විදුහල්පතිනිය කීවාය. මෙම ළමුන්ගේ අධ්‍යාපනය හා කෑම බීම, අවශ්‍ය ඇදුම් පැළදුම් සේම ඔවුන් රැක බලා ගැනීම සඳහා ද විසිදෙදෙනෙකුට වැඩි කාර්ය මණ්ඩලයක් මෙහි යෙදී සිටී.

මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම දෙසට ගමන් කරන විට අල්පිටිය ගම්මානයේ ප්‍රධාන පාරට සම්බන්ධ වන මං සන්ධියෙන් හැරි කිලෝ මීටර් 4 ක් පමණ වු කඳු සහිත ප්‍රදේශය පසු කර යද්දී උස් බිම් කඩක මේ පාසල පිහිටා තිබේ. ස්වභාවික ජල උල්පත් වලින් ලැබෙන ජලයෙන් පාසලේ ජල අවශ්‍යතා සපුරාගන්නා අතරම මධ්‍යස්ථානය නඩත්තු කිරිම හා මෙහි නේවාසික ළමුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ මධ්‍යස්ථානයට සතුව පවතින රබර් ඉඩ කඩම් වලින් ලැබෙන ආදායමෙනි.

මේ පාසලට පැමිණෙන දේශීය විදේශිය සංචාරකයන් විශාල වශයෙන් ළමුන්ගේ හෙට දවස වෙනුවෙන් පරිත්‍යාගශීලීන් බවට පත්වී සිටිති. මෙම මධ්‍යස්ථානයේ මවු ආයතනය වන ප්‍රීතිපුර වත්තල පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයෙන් අවශ්‍ය බොහෝ සේවාවන් ද නිරතුරුව සපයයි. නිසංකලක හා මනරම් භූමියක පිහිටා ඇති හෙයින් භාවනා මධ්‍යස්ථානයක් තරම් වු සුවයක් මෙන්ම ස්වභාවික පරිසරික වටපිටාව ඇති මෙරට ළමා නිවාස අතර සුවිශේෂි ස්ථානයක් මේ පාසලට ලැබී තිබේ.

මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

 


නව අදහස දක්වන්න