දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු ගැන නරක ආරංචි | දිනමිණ

දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු ගැන නරක ආරංචි

ජ.වි.පෙ. නායකයන් මැයි පෙළපාළියේ

මඟ හැරුණු මිනිසා 95

“පසුගිය අප්‍රේල් මාසෙ ලංකාවට ගිය අවස්ථාවේ මා නතර වී සිටියේ පිළියන්දල ප්‍රදේශයේ. චන්ද්‍රා සහෝදරයා ඔහුගේ සොහොයුරියකගේ පිළියන්දල නිවසේ නතර ව සිටින බව රාජේන්ද්‍රන් මහතා මට කිව්වා, නමුත් ඔහුට ඒ ස්ථානයේ ලිපිනය මතක තිබුණේ නැහැ. චන්ද්‍රා සහෝදරයා අමතන්නට මා කිහිප වරක් උත්සාහ කළත්, ඔහු ඒ කිසිවකට ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඒ නිසා ඔහුට කතා කරන්නවත් මුණ ගැහෙන්නවත් අවස්ථාවක් අපට ලැබුණේ නැහැ. ඉතාමත් කාර්යබහුල ගමනකට පසු අපි නැවත ඔස්ට්‍රේලියාවට ආපසු ආවා. පැරණි කාලයේ ඔහුව හොඳින් ඇසුරු කළ මාතර මිතුරකුට මම ඔහුගේ අංකය දුන්නා. චන්ද්‍රා සහෝදරයා ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණේත් වරක් පමණයි. රාජේන්ද්‍රන් මහතා කිව්වේ අප කිසිවකු හමුවීම වැළැක්වීම සඳහා ඔහු ව්‍යාජ හේතූන් දක්වනවා වෙන්න ඇති කියායි.”

දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දුගේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් පවතින බව ලයනල් බෝපගේට දැනගන්නට ලැබිණි. ඒ සිය මිතුරු රාජේන්ද්‍රන්ගේ මාර්ගයෙනි.

“රාජේන්ද්‍රන් මහතා චන්ද්‍රා සහෝදරයාගේ තත්ත්වය ගැන දැඩි කනස්සල්ලට මෙන්ම කණගාටුවට පත් වෙලා හිටියේ. ඔහුට අයත් කෑගල්ලේ වත්තක තිබෙන නිවෙසේ ආහාර පාන ද සහිතව නොමිලේ රැඳී සිටින්නට කියලා චන්ද්‍රා සහෝදරයාගෙන් ඉල්ලලා තිබුණා. ඒත් චන්ද්‍රා සහෝදරයා රාජේන්ද්‍රන් මහතාගේ ඒ යෝජනාව පිළිඅරගෙන නැහැ. චන්ද්‍රා සහෝදරයා කැලණියේ වනවාසල විහාරස්ථානයකට අයත් 'පාරමිතා' නම් වූ වැඩිහිටි නිවාසයක වාසය කරන බව රාජේන්ද්‍රන් මහතා පසුව මට කිව්වා. ජ.වි.පෙ. තහනමට පෙර රෝහණ සහෝදරයා වාසය කළ මොරටුව, විල්ලෝරවත්ත ශ්‍රීමතී සහෝදරියගේ මවට අයත් නිවෙස විකිණීමෙන් ඔහුට මුදල් කොටසක් වශයෙන් ලැබී තිබුණා. ඒ වගේම ඔහුට ලන්ඩන් නුවරින් ද සුළු විශ්‍රාම වැටුපක් ලැබෙන බවත් රාජේන්ද්‍රන් මහතා කිව්වා. චන්ද්‍රා සහෝදරයා සූදුව හා විනෝදාස්වාදය සඳහා මුදල් නාස්ති කිරීමෙන් මිලියන ගණනාවක් අහිමි කර ගෙන ඇති බවත් ඔහු මට කිව්වා.”

“රාජේන්ද්‍රන් මහතාගෙන් ලැබුණ බවක් නොපවසා චන්ද්‍රාට කතා කරන මෙන් ඉල්ලා ඔහු චන්ද්‍රා සහෝදරයාගේ ජංගම දුරකතන අංකය මට දුන්නා. ඒ අංකය අමතා මා කතා කළ විට චන්ද්‍රා සහෝදරයා සතුටෙන් මා සමඟ කතා කළා. මා කතා කිරීම ගැන ඔහු සතුටු වන බව කීවා. ඇතැම් වාර්තාවල සඳහන් කර ඇති අන්දමට ඔහු වකුගඩු රෝගයකින් හෝ වෙනත් අසනීපයකින් පෙළෙන බවක් පැවසුවේ නැහැ. ප්‍රශ්න අසා ඔහුගේ තත්වය තවත් බරපතළ කරන්නට මට අවශ්‍ය වුණේ නැහැ. මම ඔහුගෙන් ලිපිනය ඉල්ලා සිටියා. ඒත් එය මට දෙන්නට ඔහු උනන්දුවක් දැක්වූයේ නැහැ.”

“චන්ද්‍රා සහෝදරයා තුළ කිසිදාකත් මා ගැන අහිතක් තිබෙන්නට නැති බවයි මා කල්පනා කරන්නේ. එවැනි අහිතක් තිබුණා නම් ජ.වි.පෙ. නැවත ඔවුන්ගේ නම් යටතේ ලියාපදිංචි කිරීම සඳහා අයැදුම් කරන්නට ඔහු මාව සම්බන්ධ කර ගන්නට උත්සාහ කරන එකක් නැහැ. නමුත් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පසු ඒ තත්වය සමහර විට වෙනස් වෙන්නට ඇති. මා ඊට පසු චන්ද්‍රා සහෝදරයාට කිහිප වතාවක්ම කතා කරන්න උත්සාහ කළා. නමුත් ඔහු ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. රාජේන්ද්‍රන් මහතා සිතුවේ ඔහු මගේ ඇමතුම් මඟ හරිනවා කියලයි. චන්ද්‍රා ගමන් බලපත්‍රය ද නැති කර ගෙන ඇති බව රාජේන්ද්‍රන් මහතා මට කිව්වා.”

“රාජේන්ද්‍රන් මහතා පවසන අන්දමට චන්ද්‍රා සහෝදරයා අතීතයේ දී පෞද්ගලික සම්බන්ධකම් බොහොමයක් පවත්වා ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ නිවාඩුවක් ගත කරන්නට චන්ද්‍රා සහෝදරයාට බල කරන මෙන් රාජේන්ද්‍රන් මහතා යෝජනා කළාම මට තරමක අවිනිශ්චිත තත්වයක් ඇති වුණා. චන්ද්‍රාගේ අතීත ක්‍රියා කලාපය අනුව ඔහු කුමන අන්දමකට කටයුතු කරයි ද යන්න අතිශයින්ම අපැහැදිලි නිසාත්, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම ඉතා දැඩි පාලනයකට ලක් වී තිබෙන නිසාත් ඕස්ට්‍රේලියාවේ නිවාඩුවක් ගත කරන්නට චන්ද්‍රා සහෝදරයාට ආරාධනා කිරීම සුබවාදී පියවරක් ලෙස මා දැක්කේ නැහැ. පවුලේ අය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව, ඔහුගේ ඉදිරි වැඩ කටයුතු ගැන අපට පැහැදිලි තත්වයක් නොතිබුණ නිසා අප ඔහුට එසේ ආරාධනා නොකරන්නට තීරණය කළා.”

“මම රාජේන්ද්‍රන් මහතාට මේ බව දන්වා, චන්ද්‍රා සහෝදරයා මුණ ගැහෙන්නට ලංකාවේ වසන කලින් ඔහු හොඳින් දැන හඳුනන කොළඹ සහ ගම්පහ කිහිප දෙනකුට ඔහුව සම්බන්ධ කර දෙන්නට හෝ ඔහු මුණ ගැසෙන්නට යවන්නට මා දැඩි උත්සාහයක් දැරුවා. මුලින් චන්ද්‍රා සහෝදරයා එයින් එක් අයෙක් මුණ ගැසෙන්නට එකඟ වුණත් ඒ කිසිවක් ඵලදායී ආකාරයකින් නිමා වුණේ නැහැ. ඔහුගේ සමීප මිතුරෙක් වූ වෛද්‍ය ගාමිණී කුරුප්පු මහතා මාස කිහිපයකට පෙර මිය ගොස් තිබුණා. චන්ද්‍රා සහෝදරයාගේ තනිකම ඔහුව මරණය කරා ගෙන යමින් සිටි බව පෙනෙනවා. ජීවත් වෙන්නට කොළඹ 7 කාමරයක් කුලියට ගන්නටත් ඔහු උත්සාහයක යෙදී තිබෙනවා.

“පසුගිය අප්‍රේල් මාසෙ ලංකාවට ගිය අවස්ථාවේ මා නතර වී සිටියේ පිළියන්දල ප්‍රදේශයේ. චන්ද්‍රා සහෝදරයා ඔහුගේ සොහොයුරියකගේ පිළියන්දල නිවසේ නතර ව සිටින බව රාජේන්ද්‍රන් මහතා මට කිව්වා, නමුත් ඔහුට ඒ ස්ථානයේ ලිපිනය මතක තිබුණේ නැහැ. චන්ද්‍රා සහෝදරයා අමතන්නට මා කිහිප වරක් උත්සාහ කළත්, ඔහු ඒ කිසිවකට ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඒ නිසා ඔහුට කතා කරන්නවත් මුණ ගැහෙන්නවත් අවස්ථාවක් අපට ලැබුණේ නැහැ. ඉතාමත් කාර්යබහුල ගමනකට පසු අපි නැවත ඔස්ට්‍රේලියාවට ආපසු ආවා. පැරණි කාලයේ ඔහුව හොඳින් ඇසුරු කළ මාතර මිතුරකුට මම ඔහුගේ අංකය දුන්නා. චන්ද්‍රා සහෝදරයා ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණේත් වරක් පමණයි. රාජේන්ද්‍රන් මහතා කිව්වේ අප කිසිවකු හමුවීම වැළැක්වීම සඳහා ඔහු ව්‍යාජ හේතූන් දක්වනවා වෙන්න ඇති කියායි.”

“චන්ද්‍රා සහෝදරයා සූදුවේ නියැලීම නතර කර ඇති බව පසුගිය ජුනි මාසයේ රාජේන්ද්‍රන් මහතා මට දැන්වුවා. ඊළඟට ලැබුණ කණගාටුදායක ආරංචිය තමයි ඔහු සිය දිවි හානි කර ගත් බව. චන්ද්‍රා සහෝදරයාගේ මරණයෙන් පසුව, රාජේන්ද්‍රන් මහතා මට කියා සිටියේ මා කලින් මැදිහත් වූවා නම් ඔහුගේ ජීවිතය බේරා ගත හැකිව තිබුණු බවයි. ඒත් මට දැනෙන අන්දමට ඔහුගේ මුළු අවධානය යොමුව තිබෙන්නට ඇත්තේ ඔහු වඩා හොඳයි කියා කල්පනා කළ කැසිනෝ සහ සූදුව වැනි කරුණු වෙත බවයි. රාජේන්ද්‍රන් මහතා පවසන අන්දමට, ඔහු ඇතැම් විට පැය 24, 48 එකදිගට සූදුවේ නියැලීලා. කෙසේ වෙතත්, ඔහුගේ මරණයට පෙර ඔහුට කතා කරන්නටවත් නොහැකි වීම ගැන මා ඉතාමත් කණගාටු වෙනවා.”

“1983 ජූලි මාසයේ ජ.වි.පෙ. තහනම් කිරීමෙන් පසු චන්ද්‍රා සහෝදරයා අවස්ථා ගණනාවකදීම පොලිස් අත්අඩංගුවේ රඳවා තබාගෙන තිබුණා. ඒ හැම අවස්ථාවකදීම ඔහු ඒ තත්වයන්ට මුහුණ දී නිදහස අත්කර ගත්තා. 1983 ජූලි මාසයේ චන්ද්‍රා සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාස හයක පමණ කාලයක් රැඳවුම් නියෝග නොමැතිව රඳවා ගෙන හිටියා. මා වෙනුවෙන් අභියාචනාධිකරණයේ චිත්‍රා සහෝදරිය ගොනු කළ හේබයෙස් කෝපුස් පෙත්සමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුත් අප සියලුදෙනාම නිදහස් කළා. 1989 මර්දන ක්‍රියාවලියේදී රජයේ හමුදා විසින් දේශපාලන පාසලක් පවත්වා ගෙන යන්නට ඔහු පක්ෂයට දී තිබුණ ගම්පහ බැන්ඩියමුල්ලේ දෙමහල් නිවාසය සමඟම තරුණයන් කිහිප දෙනකුගේ සිරුරු ද ගිනි තබා තිබුණු බව මට කියවන්නට ලැබුණා. ඒත් එක්කම ඔහුගේ සියලුම වෘත්තීය ව්‍යාපාරත් කඩා වැටෙන්නට ඇති.”

“පසු කාලයේ ඔහු තුළ දකින්නට ලැබුණු ඒ අසාමාන්‍ය රෞද්‍ර සහගත කෝපාන්විත හැසිරීම ඔහුට ජීවිතයේ විඳ දරා ගන්නට සිදු වූ සියලු වද වේදනාවල, දුක් කම්කටොළුවල ප්‍රතිඵලයක් ලෙස. ඒ හැර ඒ පිළිබඳ වෙනත් අර්ථ දැක්වීමක් කරන්නට මා අපොහොසත්. අතුල සුමතිපාල සහෝදරයා වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන්නට පටන් ගන්නට පෙර අපේ පවුලේ අය ප්‍රතිකාර ගන්නට හමු වූයේ චන්ද්‍රා සහෝදරයාව. 1977 අග සිට 1983 දක්වා අප දැන සිටි චන්ද්‍රා සහෝදරයා අනිකා කෙරෙහි දයාවන්ත ඉතාමත් බුද්ධිමත්, කල්පනාකාරීව කටයුතු කළ චතුර ලෙස කතා බහේ යෙදුණු පුද්ගලයෙක්.”

“මා දන්නා අන්දමට, අප්‍රේල් නැගිටීම ආරම්භයේ දීම කේලි සේනානායක සහ මහින්ද විජේසේකර සහෝදරවරු සමඟ එකට චන්ද්‍රා සහෝදරයා වැලිකඩ බන්ධනාගාරයේ ‘එච්’ වාට්ටුවේ රඳවා තබා පසුව, යාපනය බන්ධනාගාරයට මාරු කොට චෝදනා නොමැති නිසා නිදහස් කළා. නිදහස ලබා පැමිණීමෙන් පසුව යි ඔහු ගම්පහ පුද්ගලික වෛද්‍ය සායනය ආරම්භ කර තිබුණේ. ඔහුත් ඔහුගේ වෛද්‍ය සායනයත් ප්‍රදේශයේ හොඳින් ස්ථාපිත වී තිබුණා. 1977 නොවැම්බර් අප බන්ධනාගාරයෙන් නිදහස ලබන්නට පෙර, ජ.වි.පෙ. එක්තරා කාලයක් අප්‍රසිද්ධියේ ක්‍රියාකාරී වෙමින් පැවතුණා. එහෙත්, ඒ කාලය තුළ චන්ද්‍රා සහෝදරයා ජ.වි.පෙ. සමග සම්බන්ධතා ගොඩ නඟා ගන්නට උත්සාහයක් දරා තිබුණේ නැහැ.”

“අප නිදහස ලැබුවාට පසු චන්ද්‍රා සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ සමඟ සබඳතා ඇති කර ගත්තා. දොස්තර සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු ජ.වි.පෙ පුර්ණකාලිකයෙක් වෙලා සිටියා කියලා සමහර ලේඛකයන් කියා තිබුණා. ඒක වැරදි කතාවක්. ඔහු කිසිවිටෙක ජ.වි.පෙ. පූර්ණ කාලීන සාමාජිකයෙක් වුණේ නැහැ.”

“පස්සේ ගම්පහ බැන්ඩියමුල්ලේ දෙමහල් නිවසක් සමඟ ඉඩමක් මිල දී ගත් චන්ද්‍ර සහෝදරයා තමන්ගේ වෛද්‍ය සායනය සහ නිවස එහි ගෙන යන්නට අදහස් කර තිබුණා. ඒත් පස්සේ ඔහු ඒ අදහස වෙනස් කළා. ගම්පහ තමන්ගේ වෛද්‍ය සායනය පිහිටි පරිශ්‍රයේ කොටසක් ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ ප්‍රාදේශීය ශාඛාවේ කටයුතු සඳහා යොදා ගන්නට ඔහු පිළියෙළ කර දී තිබුණා.”

සිසිර යාපා

සඳුදා මධ්‍යම කමිටුව ගැන බොරු ප්‍රචාර


නව අදහස දක්වන්න