ඇන්දීම සහ කෙටවීම | දිනමිණ

ඇන්දීම සහ කෙටවීම

සිදුවිය යුතු පරිදිම මහින්ද රාජපක්ෂ මහතාගේ කරපිටින් ගොස් බලය ඇල්ලීමට මැවූ අවස්ථාවාදී සිහිනය පිටපිටම තෙවැනි වරටත් දවල් සිහිනයක් බවට පත් වුණා. ඒ සභාග ආණ්ඩුවකට යාමට තමා කිසිඳු තීරණයක් ගෙන නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයත් සමඟිනුයි. (තමාට එවැනි හැකියාවක් නැති බව කාටත් වඩා හොඳින් මහින්ද රාජපක්ෂ මහතා දන්නා නිසා) ඒ අනුව පසුගිය 09 වැනිදා පොහොට්ටු පක්ෂ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ පැවැති “තීරණාත්මක සාකච්ඡාව”තවත් පුස් වෙඩිල්ලක් බවට පත් වුණා

ඇන්දීම සහ කෙටවීම” බහු අරුත් ඇති වචනයක් ලෙස සැලකිය හැකියි. මනාලියන් ඇන්දීම, කුකුළන් කෙටවීම මෙහි සාමාන්‍ය අර්ථය වටහා ගැනීමට උපකාර වෙනවා. එහෙත් “ඇන්දීම හා කෙටවීම” පොදු සමාජ භාවිතය තුළ “රැවටීම හා භේද කිරීම” ලෙසත් ප්‍රකාශයට පත් වෙනවා. මේ තත්ත්වය තුළ ඇන්දීම හා කෙටවීම සාමාන්‍ය ජන ජීවිතයේදී සැලකෙන්නේ පිළිකුල් කළයුතු පහත් ගතියක් විදිහටයි. බොහෝ විට කිසිම ප්‍රතිපත්තියක් නැති, අදක්ෂ, දීන මිනිසුන් මේ ඇන්දීම හා කෙටවීම කරන බවයි සාමාන්‍ය විශ්වාසය. ඒ නිසා මෙවැනි මිනිසුන්ගෙන් හැකිතාක් දුරස් වීමට ‘මොළේ කළඳක් හෝ තිබෙන” මිනිසුන් උත්සාහ කරනවා. ඒත් ඒ උත්සාහය ද හිතන තරම් පහසු නැති බව සමාජය දෙස බැලූ විට හොඳට පැහැදිලි වෙනවා. ඊට හේතුව වන්නේ ඇන්දීම හා කෙටවීම කලාවක් ලෙස ප්‍රගුණ කළ අවස්ථාවාදීන්ගෙන් සමාජය පිරී පැවතීමයි.

එදිනෙදා පොදුජන ජීවිතයේදී පිළිකුල් කටයුතු දෙයක් ලෙස සැලකෙන ඇන්දීම හා කෙටවීම දේශපාලනයේදී ක්‍රියාත්මක වන්නේ අතිශයින් සියුම් හා සංකීර්ණ ආකාරයටයි. එහිදී අදක්ෂ ප්‍රතිපත්තියක් නැති දේශපාලනඥයන් තම පැවැත්ම තහවුරු කර ගැනීමේ පහසු ක්‍රමවේදය ලෙස යොදා ගන්නේ හැකිතාක් තම නායකයන්ව ඇන්දීමට පියවර ගැනීමයි. නායකයන් වටා සිටින වුන්ම කෙටවීමට පියවර ගැනීමයි. මේ සියලුම දේවල්වලින් ඔවුන් උත්සාහ ගන්නේ තම පැවැත්ම තහවුරු කර ගැනීමයි. මඩිය තරකර ගැනීමයි. එහෙත් පුදුමයකට වාගේ මෙවැනි දීනයන්ට දේශපාලනය තුළ සදාකාලික ඉල්ලුමක් වගේම අසීමිත අවස්ථාත් තිබෙනවා. ඒ මේ දේශපාලන අවස්ථාවාදීන් ළං කරගෙන ඔවුන්ගේ පදයට නැටීමට බොහෝ නායකයන්ටද දැඩි කැමැත්තක් තිබෙන නිසයි.

කළ කම් පළ දෙන හැටි

දේශපාලන අවස්ථාවාදී නිකමුන් විසින් කලාවක් ලෙස ප්‍රගුණ කළ මේ ඇන්දීම හා කෙටවීම නිසා මෑත යුගයේ වඩාත්ම අපකීර්තියට හා අගතියට පත් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව සැලකිය හැකියි. රාජපක්ෂ මහතාට ජනාධිපති පුටුව අහිමි වීමට පමණක් නොව අසීරුවෙන් ගොඩනගාගත් දේශපාලන කීර්තිය හා ගරුත්වය ද අහිමි වීමට මේ නිකමුන් ළංකර ගැනීම ප්‍රධාන හේතුවක් වූ බව ප්‍රකට කරුණක්. එහෙත් මෙහිදී දැකිය හැකි දෛවෝපගත කරුණ වන්නේ ඇන්දීම හා කෙටවීම පිළිබඳ විශේෂඥයෙකු ලෙස සැලකිය හැකි මහින්ද රාජපක්ෂ මහතාව ද ඇන්දීමට තරම් අති දක්ෂයන් කිහිප දෙනෙක් කාලයක් තිස්සේ රාජපක්ෂ මහතා වටා සිටීමයි. අද ද ඔවුන්ගේ පහසු ගොදුරක් බවට මහින්ද රාජපක්ෂ මහතා පත්ව සිටීමයි. ඇතැම් විට මෙය කළ කම් පළදීමක් ලෙස සැලකිය හැකියි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඇදගැනීම නිසා රටේ විශේෂයෙන් දේශපාලන කරළියේ විටින් විට නිර්මාණය වන ආතතිය කිසිසේත් යහපත් දෙයක් නොවෙයි. ඒ හරහා රටේ කෘත්‍රීමව නිර්මාණය වන දේශපාලන අස්ථාවරභාවය පොදුවේ සමාජ ජීවිතයටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරයටත් මිල කළ නොහැකි තරමේ හානියක් කරන බවක් දැකිය හැකියි. විශේෂයෙන් “දේශපාලන අස්ථාවරත්වය” නමින් නිතර නිතර නිර්මාණය වන මේ අවස්ථාවාදී ප්‍රයත්නයක්. විදේශ ආයෝජන ඇතුළු බොහෝ දේ සඳහා ඍණාත්මක බලපෑමක් සිදුකරන බවක් දැකිය හැකියි. ඒ අස්ථාවර දේශපාලන පසුබිමක් ඇති රටකට විදේශ ආයෝජන නොපැමිණෙන නිසයි. දේශපාලන අස්ථාවරත්වය රාජ්‍ය පරිපාලනයේ මන්දෝත්සාහී බවක් නිර්මාණය කරන නිසයි. සමාජය තුළ ආතතියක්, අසහනයක් නිර්මාණය කරන නිසයි. මෙය වහාම පිටුදැකිය යුතු තත්ත්වයක්.

පුස් වෙඩිල්ලක් වූ සභාග ආණ්ඩුව

මහින්ද රාජපක්ෂ මහතාව ඇන්දීම හා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙටවීම මගින් මේ අවස්ථාවාදීන් බලාපොරොත්තු වන්නේ තම පැවැත්ම කෙසේ හෝ තහවුරු කර ගැනීම පමණයි. එයින් එහා ගිය පුළුල් දැක්මක් මේ කිසිවෙක් තුළ නොමැති බව පැහැදිලි කරුණක්. ඒ නිසා මේ අවස්ථාවාදී වැඩවලින් මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා පත්වන අපහසුතාව හෝ ඔවුන් ලක්වන අපකීර්තිය ගැන මේ අවස්ථාවාදීන් කිසිම තැකීමක් කරන බවක් ද දැකිය නොහැකියි. ඒ වෙනුවට ඔවුන්ගේ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම වෙන්ව තිබෙන්නේ කෙසේ හෝ ආණ්ඩු බලය අල්ලා ගැනීම පිළිබඳ සැලසුම්වලට පමණයි.

යළි රාජ්‍ය බලය අත්පත් කරගත හැකි ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පෙනෙන තෙක් මානයේවත් නොමැති තත්ත්වයක් තුළ මේ සඳහා පහසු ප්‍රවේශ වශයෙන් මේ කල්ලිය සලකන්නේ ඔළුගෙඩි මාරුවක් මගින් මහින්ද රාජපක්ෂ මහතාව අගමැති බවට පත් කර ගනිමින් කෙසේ හෝ ආණ්ඩු බලය අල්ලා ගැනීමයි. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය, ජනබලය හා පසුගිය 09 වැනිදා “සභාග ආණ්ඩු” ‘භාරකාර ආණ්ඩු” යන නාමකරණය යටතේ යළි කරළියට පැමිණියේ මේ අවස්ථාවාදීන්ගේ අලුත්ම ප්‍රයත්නයයි.

එහෙත් සිදුවිය යුතු පරිදිම මහින්ද රාජපක්ෂ මහතාගේ කරපිටින් ගොස් බලය ඇල්ලීමට මැවූ අවස්ථාවාදී සිහිනය පිටපිටම තෙවැනි වරටත් දවල් සිහිනයක් බවට පත් වුණා. ඒ සභාග ආණ්ඩුවකට යාමට තමා කිසිඳු තීරණයක් ගෙන නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයත් සමඟිනුයි. (තමාට එවැනි හැකියාවක් නැති බව කාටත් වඩා හොඳින් මහින්ද රාජපක්ෂ මහතා දන්නා නිසා) ඒ අනුව පසුගිය 09 වැනිදා පොහොට්ටු පක්ෂ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ පැවැති “තීරණාත්මක සාකච්ඡාව”තවත් පුස් වෙඩිල්ලක් බවට පත් වුණා.

පල්වළ ඉහගෙන කෑම

එහෙත් මේ පුස් වෙඩිල්ලේ සුවඳ පසුපස තවදුරටත් ඉව අල්ලන් යාමට ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන දැඩි වෙහෙසක් ගන්නා ආකාරයක් තවමත් දැකිය හැකියි. වැලිකඩ හිරගෙදර ගේට්ටු ඇරෙන තෙක් බලාසිටින ඇතැම් පෞද්ගලික නාලිකා සහ රාජපක්ෂ හවුල සමඟ පල්වළ ඉහගෙන කෑමේ අපේක්ෂාවෙන් දැවෙන ඇතැම් පෞද්ගලික මාධ්‍ය (හිමිකරුවන් හා මාධ්‍යකරුවන්) තම දීන භාවිතය (ව්‍යාජ පුවත් නිර්මාණය) ගැන කිසිදු ආකාරයක පසුතැවීමකින් හෝ ලැජ්ජාවකින් තොරව තවදුරටත් මේ සෙල්ලමේ නිරත වීම මගින් ආණ්ඩුවට කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට දැවැන්ත හානියක් වන බව ඔවුන්ට නොවැටහීම පුදුමයක්. මන්ද “මහින්ද රාජපක්ෂ අද ආණ්ඩු බලය අල්ලනවා, හෙට ආණ්ඩු බලය අල්ලනවා” යනුවෙන් මාධ්‍ය මගින් නොනවත්වා නිර්මාණය කරන මේ සාවද්‍ය පුවත් ඔවුන්ගේ වෙළෙඳපොළ වැඩිකර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කළත් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු බලය අල්ලා ගැනීමට හැකියාවක් නිර්මාණය නොකරන බව සහතික නිසයි. ඒ බව පසුගිය තෙවසරකට අධික කාලය පුරාම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් තහවුරු වී තිබෙනවා.

යළි ඔළුගෙඩි සෙල්ලම් බැහැ

මෙහිදී ප්‍රමුඛ කරුණ වන්නේ ආණ්ඩු බලය අල්ලා ගැනීමට අවශ්‍ය වන පාර්ලිමේන්තුවෙන් බහුතර බලය (ආසන 113ක්) හිමිකර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට කිසිඳු හැකියාවක් නොවීමයි. පසුගිය 2015 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ (107) එක්සත් ජාතික පක්ෂය මිස ඒකාබද්ධ කල්ලිය නොවෙයි. මේ දක්වා ඒකාබද්ධ කල්ලිය සතුව තිබෙන්නේ නිල වශයෙන් ආසන 54ක් සහ මෑතදී ආණ්ඩුවෙන් පළවා හැරි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ බලය පමණයි. එහි සමස්ත එකතුව ආසන 113ක් නොව 70ක් බව මේ අවස්ථාවාදීන්ට නොවැටහීම පුදුමයට කරුණක්. අනෙක් අතින් මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම (ආණ්ඩුව සමඟ සිටින ශ්‍රීලනිප 26 දෙනා ද සමඟ) මහින්ද රාජපක්ෂ මහතා සමඟ හවුලේ කෑමට සූදානම් වුවත් ඔවුන්ට හිමිවන්නේ ආසන 96ක් පමණයි. මේ තත්ත්වය තුළත් ආණ්ඩු බලය අල්ලා ගැනීම සඳහා වන බහුතර බලය පෙන්වීමට තවත් ආසන 17ක බලය ඒකාබද්ධ කල්ලියට හිමිවිය යුතුයි. (ජවිපෙ සතුව ආසන 06ක් හා දමිළ ජාතික සන්ධානය සතුව ආසන 16ක් පවතින තත්ත්වය තුළ) මහින්ද රාජපක්ෂ මහතාට විධායක ජනාධිපති බලතල තිබූ යුගයේ මෙන් දූෂිතයන්ට රැකවරණය දෙමින් යළි ඔළුගෙඩි සෙල්ලම් කිරීම මේ අවස්ථාවේදී කිසිසේත් පහසු නොවන බව ඒකාබද්ධ කල්ලියට නොවැටහීම පුදුමයට කරුණක් වශයෙන් සැලකිය හැකියි. ඒ සමඟම තවදුරටත් රාජපක්ෂ යුගයේ කළ සෙල්ලම් වර්තමානයේදී කළ නොහැකි බව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී මනාව පැහැදිලි වූ බව අප මෙහිදී සිහිපත් කරගත යුතුයි.

අනෙක් අතින් “භාරකාර ආණ්ඩුවක්” ගැන කතා කිරීම මේ අවස්ථාවේදී හාස්‍යයට කරුණක් බවයි දේශපාලන විශේෂඥයන්ගේ අදහස. ඒ භාරකාර ආණ්ඩුවක් ගැන කිසිඳු ආකාරයක සඳහනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවන නිසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සලසා නැති අනීතික භාරකාර ආණ්ඩුවක් ගැන නීති මහචාර්ය ජී.එල්. පීරිස් වැනි උගතුන් කතා කිරීම පවා කනගාටුවට කරුණක් බවයි ඔවුන් සඳහන් කරන්නේ. මීළඟ මහ මැතිවරණය සඳහා වසර දෙකකට ආසන්න කාලයක් පවතින තත්ත්වයක් තුළ (2015 අගෝස්තු 17- 2020 අගෝස්තු) භාරකාර ආණ්ඩුවක් ගැන කතා කිරීමම විහිළුවක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ සමඟම මෙහිදී තවත් සුවිශේෂ කරුණක් ගැනත් අවධානය යොමු කිරීමට දේශපාලන විශ්ලේෂකයන් කැමැත්තක් දක්වනවා. ඒ පසුගිය කාලය පුරාම අවධාරණය කර ඇති පරිදි වත්මන් ආණ්ඩුව විසුරුවා හැරීමට හෝ අගමැති පදවිය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය. ඒ බව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඒ වගේම හිතූමතේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පවා වත්මන් ජනාධිපතිවරයාට නෛතික බලයක් නැහැ. ඒ සඳහා වසර 4 1/2ක් බලා සිටීමට ජනාධිපතිවරයාට සිදුවෙනවා. මේ තත්ත්වය තුළ අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ දූෂිතයන් පිනවන ඔළුගෙඩි සෙල්ලම් හෝ නීතිය නැවීමක් මගින් හෝ පවතින ආණ්ඩුව වෙනස් කර භාරකාර ආණ්ඩුවක් වෙත යාමට ද මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු අවකාශයක් නොමැති බවයි. මේ නිසා අප වටහා ගත යුත්තේ එස්.බී, ජී.එල් හා වාසු විසින් විටින් විට මසාදෙන ඇඳුම්වලින් මහින්ද රාජපක්ෂ මහතා කොතරම් හොඳින් හැඩවුවත් ඒවා සීතාම්බර සළුවකින් ඔබ්බට නොයන තවත් විගඩමක් පමණක් වන බවයි.

මෛත්‍රී - රනිල් කෙටවීම

මහින්දගේ ඇදගැනීම සමඟ තවත් බරපතළ දේශපාලන ප්‍රහසනයක් නිර්මාණය කරන්නේ මෛත්‍රී - රනිල් කෙටවීමට එස්.බී දිසානායක ඇතුළු 16 දෙනාගේ කල්ලිය පසුගිය කාලය පුරාම ගන්නා අඛණ්ඩ උත්සාහයයි. එය වර්තමානයේ දැකිය හැකි දේශපාලන ආතතිය නිර්මාණය කිරීමට ප්‍රමුඛ හේතුවක් වී තිබෙන බවක් නිරීක්ෂණය කළ හැකියි.

ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ට අනුව එස්.බී ඇතුළු කල්ලිය ආණ්ඩුවට එක්කර ගත් දින සිට ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබුණේ කෙසේ හෝ මෛත්‍රී - රනිල් අනෝන්‍ය අවබෝධය හා දේශපාලන සංහිඳියාව බිඳ දැමීම කෙරෙහිය. ඔවුන් ඒ සඳහා යොමු වූයේ ඔවුන්ට යහපාලන ආණ්ඩුව කෙරෙහි කිසිදු ආකාරයක වගවීමක් නොමැතිවීම නිසා බව ද පැහැදිලි කරුණක්. ජනාධිපතිවරයාගේ වර්ණවත්ම දේශපාලන පොරොන්දු වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඇතුළු බොහෝ යහපාලන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීම හෝ දියාරු කිරීම සිදු වූයේ මේ අවස්ථාවාදීන්ගේ බලපෑම නිසා බව ප්‍රකට කරුණක්.

කැබිනට් ඇමැති පදවි සහ රාජ්‍ය ඇමැති පදවි භාරගත් දින සිටම ආණ්ඩුව විවේචනය කරමින්, කැබිනට් සාමුහික වගකීම කෙළෙසමින් මේ කල්ලිය කළේ යළි රාජපක්ෂ පාලනයක් කරා පාවඩ එළීමයි. එහි කූඨ ප්‍රාප්තිය සටහන් වුණේ අගමැතිවරයාට එරෙහි විශ්වාසංග යෝජනාවේදීයි. මෛත්‍රී-රනිල් නායකත්වය දුන් යහපාලන ජයග්‍රහණය යළි ගල් යුගයට හැරීමට මේ කල්ලිය ගත් ප්‍රයත්නය එදා තීරණාත්මකව පරාජයට පත් කිරීමට හැකි වුණත් යහපාලනය කෙරහි ඔවුන් තුළ පවතින දේශපාලන වෛරය ඒ සමඟ තවදුරටත් වර්ධනය වූ බව පැහැදිලි කරුණක්. අද වඩාත් සූක්ෂම හා අගතිගාමී ආකාරයෙන් ඔවුන් ප්‍රකට කරමින් සිටින්නේ ඒ දේශපාලන වෛරය හා අගතිගාමීත්වයයි. ඒ සඳහා ඔවුන් යළි යළිත් අභ්‍යාස කරමින් සිටින්නේ ජනපතිවරයා සහ අගමැතිවරයා එකිනෙකාට එරෙහිව කෙටවීමයි. ඒ සඳහා පැහැදිලි උදාහරණ රැසක් ලබාදිය හැකියි.

මේ සඳහා වන ආසන්න උදාහරණය වශයෙන් පසුගියදා නිමාවට පත් වූ භාරකාර ,සභාග ආණ්ඩු සැලසුම දැක්විය හැකියි. මාස කිහිපයක් තිස්සේ අතිසූක්ෂම ආකාරයෙන් නිර්මාණය කළ මේ සැලසුමේ ආරම්භ සිදුවීම් පෙළ නිරීක්ෂණය කරන විට පැහැදිලිව දැකගත හැකි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා රහසේ හමුවූ බවට ප්‍රවෘත්ති නිර්මාණය කිරීමයි. මේ පිළිබඳ නිර්මාණාත්මක පුවත් ජනමාධ්‍ය වෙත ලබා දුන් ප්‍රධාන පුද්ගලයා වූයේ වත්මන් භාරකාර ආණ්ඩු සැලසුමේ මොළකරුවෙක් වන එස්.බී. දිසානායක මහතායි. වාසුදේව නානායක්කාර ආදීන් සමඟ හවුල්වෙමින් එස්.බී විසින් ජනමාධ්‍ය වෙත ලබා දුන් මේ ප්‍රවෘත්ති මගින් බලාපොරොත්තු වූ ප්‍රධාන අරමුණ වූයේ තවදුරටත් මෛත්‍රී - රනිල් කෙටවීමයි. ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනා අතර භේදයක් නිර්මාණය කිරීමයි. ඒ මගින් ආණ්ඩුවේ සේම ජනතාව අතර ද දේශපාලන ආතතියක් නිර්මාණය කිරීමයි. එස්.බී ඇතුළු 16 දෙනාගේ කල්ලියේ මේ කූඨ සැලසුම කොතරම් දුරට ජනතාව හා ජනමාධ්‍ය අතර බලපෑමක් නිර්මාණය කළාද යන්න රෙජිම විරෝධී මාධ්‍ය විසින් ද මේ ඊනියා පුවත් ඉහළට ඔසවා තැබීම මගින් පැහැදිලි වුණා.

අවසානය කොතැනද ?

මෙය මේ මොහොතේ බොහෝ දෙනෙක් තුළ පවතින පොදු ප්‍රශ්නයක්. අවස්ථාවාදීන් විසින් සැලසුම් කළ සියලු සැලසුම් පුස් වෙඩි බවට පත් වුවත් ඔවුන් එකී සැලසුම් හකුළා ගන්නා බවක් කිසිසේත් විශ්වාස කළ නොහැකියි. ඒ එයින් තොර පැවැත්මක් ඔවුන්ට නොමැති නිසයි. ඒ නිසා ඊයේ මෙන් අදත්, අද මෙන් හෙටත් මේ කෙටවීම් හා ඇන්දවීම් අපට දැකබලා ගත හැකි වනු ඇති බව සහතිකයි. එහෙත් ප්‍රශ්නය වන්නේ ජනතාවට තවදුරටත් මේ අවස්ථාවාදීන්ගේ පහසු ගොදුරු බවට පත්වීමට අවකාශ ලබාදිය යුතුද යන්නයි. ඒ ගැන පොදු ජනතාව නොව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වඩාත් අවධානය යොමු කළ යුතු බව අපගේ අදහසයි. මන්ද 2015 ජනවාරි 08 ජයග්‍රහණය හුදු දේශපාලන ජයග්‍රහණයක් නොව රටේ ඉරණම වෙනස් කළ එකක් බව තවදුරටත් මේ රටේ බහුතර ජනතාව විශ්වාස කරන නිසයි.

62 ලක්ෂයක් ජනතාව රාජපක්ෂ රෙජිමයේ සියලු දූෂණ, භීෂණ හා මර්දන මැද අතිශය නිර්භීත තීන්දුවක් ගත් බව අප විසින් කිසිවිටෙක අමතක නොකළ යුතුයි. එදා ජනතාව විසින් ඒ නිර්භීත තීන්දුව නොගත්තා නම් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එතුමාගේ පවුල පමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ද අඩි 06ක් යට වළක සදාකාලිකව වැළලෙන බව අප කිසිවෙකු විසින් අමතක නොකළ යුතුයි. රට සදාකාලික පවුල් පාලනයකට යටවන බව අමතක නොකළ යුතුයි.

ඒ නිසා යහපාලනය ගැන කිසිදු ආකාරයක වගකීමක් හෝ වගවීමක් නැති, රාජපක්ෂ පාලනයක් වෙනුවෙන්ම පමණක් සිහින දකින අවස්ථාවාදීන්ගේ හඬට නොව තමන් ඉහළට ඔසවා තැබූ 62 ලක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හඬට හා දේශපාලන ඉල්ලීම්වලට යහපාලන නායකයන් අවනත විය යුතු බව අපගේ අදහසයි. එය එසේ නොවුණහොත් සිදුවනු ඇත්තේ අනිකුන්ගේ ලාභය හා තෘප්තිය වෙනුවෙන් එකිනෙකා හා කුළල් කා ගන්නා පොර කුකුළන්ට අවසානයේ අත්වන ඉරණමට මුහුණ දීම පමණක් බව අපගේ අදහසයි.

භාතිය බරුකන්ද


නව අදහස දක්වන්න