රාගම රණවිරු සෙවණේ නවීන තාක්ෂණයෙන් ඉහළ කෘත්‍රිම අත්-පා නිපදවන කම්හලක් | දිනමිණ

රාගම රණවිරු සෙවණේ නවීන තාක්ෂණයෙන් ඉහළ කෘත්‍රිම අත්-පා නිපදවන කම්හලක්

යුද හමුදා රණවිරු සෙවණෙහි අභිනවයෙන් ඉදිකළ ‘ඍජුකාරක හා අංගාදේශක කාර්මිකාගාරය‘ විවෘත කිරීම යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ සුරතින් පසුගිය දා සිදුකෙරිණි.

මේ කාර්මිකාගාරය සඳහා ගොඩනැගිලි ඉදිකිරීමට රුපියල් මිලියන 85ක් පමණ වැය වී ඇති අතර, නවීණ උපකරණ සඳහා තවත් රුපියල් මිලියන 80ක් පමණ වැයවී ඇත.

යුදබිමේ දී ආබාධිත වූ වීරෝදාර රණවිරුවන්ට මෙන්ම වෙනත් හදිසි අනතුරුවලින් ආබාධිත වන රණවිරුවන්ට මේ නව කාර්මිකාගාරය මගින් නවීණ තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවන උපකරණ (කෘත්‍රිම අත් හා පාද) ලබාදීමට යුද හමුදාව කටයුතු යොදා ඇත.

මහා සඟරුවනේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා නව කාර්මිකාගාරය විවෘත කළ අතර, මේ අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අධ්‍යක්ෂ ජෙනරාල් (පුනරුත්ථාපන) මේජර් ජෙනරාල් එස්. කේ. තිරුනාවකරුසු මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

රත්නසිරි පතිරණ
ඡායාරූප - ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න