කෑගල්ල අවදි නගරයේ පළමු අදියර ඇරැඹේ මුළු පිරිවැය මිලියන 2000කට අධිකයි | දිනමිණ

කෑගල්ල අවදි නගරයේ පළමු අදියර ඇරැඹේ මුළු පිරිවැය මිලියන 2000කට අධිකයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළක් ඇති කිරීමේ අරමුණ ඇතිව ශ්‍රාම ශක්ති ජනතා ව්‍යාපාර යටතේ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය දිනා ගන්නා අයුරින් දවසේ පැය විසිහතර පුරා විවෘත වන අවදි නගරයේ පළමු අදියර කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය දා ආරම්භ විය.

ඒ වෙනුවෙන් පැවැති චාම් උත්සව සභාව අමතමින් කැගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඉදිවන අවදි නගරය ගැන විස්තර කළේ මෙලෙසිනි.

මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඉතා හොඳ සංකල්පනීය රාමුවක් යටතේ රජයේ ශ්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ගොඩනඟමින් සිටිනවා. ඒ හරහා ගොඩනැ‍ඟෙන ආර්ථික එකතුව තමයි අපි මෙතනදී විදේශීය හා දේශීය වෙළෙඳ පොළට දාන්නට බලාපොරොත්තු වන්නේ. මේ අවදි නගරය ගලිගමුව ප්‍රදේශයේ ඉදි වුණාට මෙය ඉදිවන්නේ ජාතික සම්පතක් ලෙසින්. මෙයට ජනාධිපතිවරයා දරන්නට අපේක්ෂා කරන පිරිවැය සීමාවන් තවමත් නිෂ්චිත නෑ. මේ සැලැස්ම මිලියන දෙදහසකටත් වඩා වැය වන සැළැස්මක්. අද අපි මෙහි ආරම්භ කරන්නේ පිවිසුම් මාර්ගයන් පුළුල් කිරීමේ කටයුතුයි.

අපි අද වන විට මේ භූමියට සංකල්පීය යෝජනා කැඳවා තිබෙනවා. මේ නගරයේ රුව- ගුණ සැළැස්ම නගර නිර්මාණ, ගෘහ නිර්මාණ, භූමි නිර්මාණ සිදුවිය යුත්තේ කෙසේ දැයි අපි යෝජනා අපේක්ෂා කරනවා. මේ පිළිබඳ ජාත්‍යන්තර සමාගම් දෙකක්, මේ රටේ සමාගම් කීපයක් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ යෝජනා ද මේ වන විටත් අපට ලැබෙමින් තිබෙනවා. අපි ඒ අනුව මේ නගරය මුළු ලෝකයටම විවෘත වන අපේ සංස්කෘතික අංගයන් රැකගත් මහා ගම්මානය නිර්මාණය කරන්නේ කොහොම දැයි සළකා බලනවා. මේ තුළ කේබල් කාර්, වීදුරු උඩ ඇවිදින මාවත්, ජල උද්‍යාන, ගුහා ඇතුළේ සිදුවන වෙළෙඳාම් වගේ බොහෝ දේත් අපේ සැළසුම්වල තිබෙනවා.

දැනටමත් අපට මේ සඳහා රුපියල් මිලියන 25ක් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබෙනවා. අපි මේ වසර තුළදී මෙහි වැඩ ආරම්භ කරනවා.

අපි පළමුව පටන් ගන්නේ මල් වෙළෙඳාමෙන්. මීට වසර දහයකට - දෙළහකට කලින් අපේ රටෙන් මල් අරගෙන දිනපතාම උදයට ගුවන් යානයක් ජපානය ඇතුළු රටවලට පිටත් වුණා. අද එයට ප්‍රමාණවත් මල් නැති නිසා දැන් ඒ ගුවන් යානය ඒ ගමන යන්නේ නෑ. අපි දන්නවා කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදී විවිධ ආයතන හා සම්බන්ධවී ගොඩනැඟුණු මල් නිෂ්පාදකයෝ 1400 කට වඩා පිරිසක් අපට සිටිනවා. අපිට ඒ අයගේ මල් ටික පිටරට යවන්න පුළුවන්නම් කෑගල්ලට විතරක් නෙමෙයි, අපේ රටේත් ආර්ථිකයට එය හොඳ ශක්තියක් වේවි. ඒ නිසායි අපි අපේ පළමු පියවර ලෙස මල් වෙළෙඳාම ස්ථාපිත කරන්න අදහස් කළේ.

කෘෂිකර්ම ඇමැතිවරයාගේ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළත් විශාල කොටසක් කාබනික ගොවිතැනට වෙන්කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ වෙළෙඳ පොළ තිබුණත් කාබනික එළවුළු සඳහා වෙළෙඳ පොළක් නැති නිසා, අපි හිතනවා ඒ වෙළෙඳ පොළ කෑගල්ලෙන් බිහි කරන්න. අපි ළඟ ලියාපදිංචි වූ විසිතුරු මසුන් ඇති කරන නිෂ්පාදකයෝ 400කට වැඩියෙන් සිටිනවා. ඒ එක්කම විසිතුරු මසුන් විදේශ වෙළෙඳ පොළට යවන ආර්ථිකයකට අපි පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. අපි කෑගල්ල දිස්ත්‍රික්කය හැටියට සිහිනයක් දකිනවා, 2025 වන විට කෑගල්ල ආසියාවේ හොඳම ජනාවාසය වේවා! කියල. ඒ සඳහා අපි ක්‍රියා මාර්ග බොහොමයක් ගනිමින් සිටිනවා. මේ වෙළෙඳ පොළ සෑදීමේ සැළැස්ම, මෙය තුළ තව බොහෝ දේ සකස් වේවි. සංචාරක කලාප බිහි වේවි, තව අවුරුදු හතක් අටක් යන විට විශ්‍රාම ගිය අපිටත් මේ පාර දෙපැත්ත හඳුනා ගන්නට බැරි තරමට වෙනස් වේවි යැයි ද පැවැසීය.

ඉදි වන කෑගල්ල අවදි නගරය පිළිබඳ විදුලිබල හා පුනර්ජනණීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසුවේ මෙවන් අදහසකි.

‘කෘෂිකර්මාන්තයේ යෙදෙන අපේ ගොවියාට වෙළෙඳ පොළක් සපයා දීම අපේ අපේක්ෂාව. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ අපට දෙන්න වෙළෙඳ පොළක් 2019 වසරට කියලයි. එතුමා 2018 වසරේදීම ඒ සඳහා මුදල් දුන්නා. අපි පොඩි අසීරුතාවකට පත් වුණා. මේක සතියකට, මාසයකට, හැදෙන නගරයක් නෙමෙයි. එය අවුරුදු සියයකට රටට හැදෙන නගරයක් වෙන්න ඕනේ. මේ නගරයට නොනිදන නගරය නෙමෙයි - අපි ඒකට අවදි නගරය කියල නම වෙනස් කළා. අපි සියලු දෙනා එකතු වෙලා සතියෙන් සතිය සාකච්ඡා කළා. රැස්වීම් මාලාවක් තිබ්බා. සියලු දෙනා එකතුවෙලා සමඟියෙන් තීරණ ගත්තා . එදා ගලිගමුව අවිස්සාවේල්ල පාර අද උතුර දකුණ යා කරන අවදි මාවතයි.

ඒ මාවතේ තොරණගහපිටිය - උඩුගම ප්‍රදේශයේ අක්කර 35ක භුමියක ඉඩමක් හඳුනා ගත්තා. හොඳ සුහදතාවකින් යහපත් ප්‍රාර්ථනාවකින් ගමට ප්‍රදේශයට පළාතට, රටට, විතරක් නොමෙයි ලෝකයටම හොඳ නගරයක් හදන්න අපි දැන් කටයුතු කරනවා. මේක අපේ දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගේ වැඩක්. අපට පක්ෂ භේද තිබෙනවා. දේශපාලන දර්ශන තිබෙනවා. බලය ගැන ප්‍රශ්න තිබෙනවා. ඒ අතරින් අපි සියලු දෙනාගේම ගෞරවය රැකෙන පරිදි එකට එකතු වී කටයුතු කරමින් සමඟියෙන් එක්වී මේ කාර්යයට උදවු කරාවි කියන බලාපොරොත්තුවක් අපට තිබෙනවා.

 අපි එහෙම හිතන්නේ මේ දේ ඒ සමස්ත ජනතාව වෙනුවෙන්ම ඉදි වන්නක් නිසායි. එම නිසා ජනාධිපතිවරයාගේ ශ්‍රාමශක්ති ව්‍යාපාරයේ සිහිවටනය බවට පත් කරන්න සමස්ත ශ්‍රී ලංකාවටම පොදු අවදි නගරය බවට අපේ ගම පත් කරන්නට සියලු දෙනාටම එක්වන්න කියා අපි ආරාධනය කරනවා යැයිද පැවැසීය. කෑගල්ල අවදි නගරය ප්‍රධාන පරිශ්‍ර 5ක් යටතේ සැළසුම් වන උද්‍යානයකි. කෘෂිකාර්මික නිෂ්පාදන, බොජුන්හල්, පලතුරු හා කිරි ආශ්‍රිත නිෂ්පාදන, අලවිසල්, නිමි භාණ්ඩ පරිශ්‍රයන්, අත්යන්ත්‍ර රෙදිපිළි, පැය විසිහතර පුරා විවෘත වන බැංකු, වාහන සේවා, රූපාලංකාර, මානසික හා ශරීර සුවතාගාර, නවීකරණය කළ උත්සව ශාලා, ග්‍රහලෝකාගාර, සංචාරක ආකර්ෂණය දිනා ගන්නා තවත් අංග රාශියක් ද මේ ව්‍යාපෘතියට ඇතුළත් වනු ඇත.

මේ වෙළෙඳ උද්‍යානය ආශ්‍රිතව බිහි වන සෘජු රැකියා හා වක්‍ර රැකියා ප්‍රමාණය දිස්ත්‍රික්කයේ ඉහළ අගයක් ගෙන ඇති විරැකියාව 2020 වන විට 2% කින් අවම කර ගැනීමටත් ඒ තුළින් දරිද්‍රතාව 1% කින් වත් අඩු කර ගැනීමට ද හැකියාවක් ඇති වේවා යන්න ද තවත් අපේක්ෂාවකි.

 

සටහන හා ඡායාරූප
සබරගමුව සමූහ 

නව අදහස දක්වන්න