සබරගමුවේ අභිමානයට එක්වන නව වෛද්‍ය පීඨය | දිනමිණ

සබරගමුවේ අභිමානයට එක්වන නව වෛද්‍ය පීඨය

සමනොල ගිරි සිරස සිප එන මදනල සිහිල්ය. මුණි සිරිපා පහසින් පුණ්‍යවන්ත වූ සමන්ත කූඨය සිසාරා හමා එන සිසිල මධ්‍යම කඳුකරයේ මෙහා බෑවුමෙන් මෙපිට වූ හාගල පරෙවියන්ගල කඳුවලල්ල සිප ගනිමින්ම වළ‍ව ගං කොමලියත් සමනල වැවිතලාවත් ඔප දමන්නට මෙන් සෞම්‍ය පරිසරයක් නිර්මානය වී ඇත. සමනල වැව් ජලතලාවට එක්වන බෙලිහුල්ඔයත් හිරිකටු ඔය හා දෙනගම් ඔයේ පහසත් වළවේ නදී දිය දහරින් එක්වුණ බර දරා සිටින්නේ ගැබ්බර මාතාවකට සිය නැබෙහි සිටින්නා වූ ලේකැටියා දරා සිටින්නාක් මෙන්වූ ගෞරවයකිනි.

අභිමානයකිනි. එවකට සමනල වැවෙහි වේල්ල තනන්ට පැමිණි ජපන් රැටියන් තැනූ ගොඩනැඟිලි එම කොන්ත්‍රාත්තුව අවසන්වීමෙන් පසු අත්හැර දැමුණු ගොඩනැඟිලි මහා ඥාන සම්භාරයක් වපුරන විශ්වයට මහා ප්‍රාඥයන් තනන්නා වූ විද්‍යා නිකේතනයක් බවට පත්වන්නේ අහම්භයකින් නොවේ. අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ කරන ලද මෙකී පින්කෙතක් බඳු වූ විද්‍යා නිකේතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා මෙන්ම ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය නම් වූ ශ්‍රී ලංකාවේ 12 වැනි ජාතික සරසවියෙහි ආරම්භක උප කුලපතිවරයාවීමේ ගෞරවය මහාචාර්ය දයානන්ද සෝමසුන්දර වියතානන්ට හිමිවේ.

එවකට පීඨ 04ක් හා අධ්‍යනාංශයක්ව පැවැති මැනුම් විද්‍යා අධ්‍යනාංශයත් සමඟ භූ විඥාපන පීඨය ලෙසින් එක්ව පීඨ පහක් ලෙස ස්ථාපනය විය. එතෙක් මෙතෙක් උප කුලපති තනතුරු දැරූ වියතුන් හා පාලනාධිකාරියේ දායකත්වයෙන් අද වන විට අතුපතර විහිදවමින් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඉගෙනුම් අවස්ථා නිර්මාණය කරමින් යුගයට ගැළපෙන අධ්‍යයන පාඨමාලා වෙනස් වෙමින් නිර්මාණය වෙමින් පැවැතීම නිසාම ප්‍රමුඛ විශ්වවිද්‍යාලයන් අතර යෞවන විශ්වවිද්‍යාලයක් ලෙස කල එළි බැස අද කලා පීඨ අතර පළමු ස්ථානය ලබා ගනිමින් විශ්වවිද්‍යාල අතර පමුඛයාවීමේ සාඩම්බර හිමිකාරත්වය උරුමකර ගෙන ඇති බව ද පසක් කරන්නෙමු. ආරම්භක අවධියේ අටසියයක පමණ ශිෂ්‍ය සංඛ්‍යාවකින් ඇරැඹුණ සරසවියේ මේ වන විට හාර දහසක පමණ විද්‍යාර්ථීන් පිරිසක් අධ්‍යයනය ලබති.

කෘෂී විද්‍යා පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය , කළමනාකරණ අධ්‍යයන පීඨය හා සමාජ විද්‍යා භාෂා පීඨය, භූ විඥාපන පීඨය ලෙස පීඨ පහකට සීමා වුණ සරසවි කුමරියට එක්වූ 6 වැනි පීඨය වූයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයයි. 7 වැනි පීඨය ලෙස තොරතුරු තාක්ෂණ පීඨයත් 8 වැන්න ලෙස වෛද්‍ය පීඨය තවත් නොබෝ දිනකින් එක්වන බව දන්වන්නේ හදපිරි සතුටිනි.

 වෛද්‍ය පීඨයක් යනු සබරගමුවට පමණක් සීමා නොවුණ සමස්ත ශිෂ්‍ය පරපුරටම එකසේ වැදගත් වන්නා වූ අවස්ථාවකි. එමෙන්ම ඉන් බිහිවන වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවය සමස්ත ජනතාවගේම සුව සෙත පිණිසම වේ. මේ වෛද්‍ය පීඨය කඩිනමින් සබරගමුවේ ස්ථාපිත කිරීමේ ගෞරවය වත්මන් උප කුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතාට හිමිවේ. එහි උත්පත්ති කථාව උපකුලපතිවරයාගේම වචනයෙන් කීම වටී යැයි හැ‍‍‍ඟීයයි.

‘ මා උප කුලපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව පළමු රාජකාරි ලෙස විශ්වවිද්‍යාලයෙන් පිටට ලියපු පළමු ලිපිය වූයේ මැයි 25 දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හරහා උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැතිවරයාට. මා ඉල්ලීමක් කළා සබරගමුව වෛද්‍ය පීඨ‍ය වසර ගණනක් තිස්සේ සාකච්ඡා වෙමින් පවතිනවා මේ කාර්යයට සහයෝගය ලබාදෙන්න කියා. ඔහු එහි සටහනක් දමා සභාපතිවරයා විමසුවා ඇයි මෙය සබරගමුවට ලබා නොදෙන්නෙ කියා.

හිටපු හැම උප කුලපතිවරයෙක්ම මේ කාරණාවට මැදිහත් වුණත් විශ්වවිද්‍යාල ආරම්භක ආචාර්යවරයකු ලෙස මේ කාරණයට ඓතිහාසික වශයෙන් මැදිහත්වෙන්න හැකි වුණේ මට කියා මා හිතනවා. ඉවසීම සමාජ සම්බන්ධතා, බුද්ධිය, මුහුකුරා ගිය අත්දැකීම්වලින් කටයුතු කළ නිසා මෙය ඉටු කර ගැනීමට හැකි වුණා. වෛද්‍ය පීඨය සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් සොයමින් සිටින අතර අප විශ්විද්‍යාලයේ ආචාර්යවරයකු වූ ගෝමස් මහතා කීවා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මීට සුදුසු ගොඩනැඟිල්ලක් තිබෙනවා. ලබා ගන්න පුළුවන් නම් කියා. ඒ අනුව විගණකාධිපතිවරයා මුණ ගැසුණා. ඔහු කීවා වෛද්‍ය පීඨයක් පටන් ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවෙයි.

ගොඩඟිල්ල ලබාගැනීම රජය අතේ තියන වැඩක් බව හා දේශන ශාලා නවාතැන් පහසුකම් සුන්දරයි ‍වෛද්‍ය පීඨයට කියා. ඒ අනුව ඇමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් ඒ බව දැන්වූවා. පෙබරවාරි 06 වැනිදා විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු පුහුණු සංකීර්ණය ලබාදෙන ලෙස ඉල්ලීම් කළා . එතුමා 9 වැනිදා කැමත්ත ප්‍රකාශ කළා.

උසස් අධ්‍යාපන ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන් යොමු කර පරීක්ෂණක් කළා ඒ අනුව වහාම ඒ කටයුතු කරන්න අනුමැතිය ලබා දුන්නා. පෙබරවාරි 23 කැබිනට් පත්‍රිකාව යොමුකර මාර්තු 4 වැනිදා වන විට කැබිනට් මණ්ඩලය විශ්වවිද්‍යාලය ලබා දෙන්න එකඟතාව දුන්නා.

ඉතා කෙටි කාලයකදී මේ කාර්ය කර ගැනීමට හැකි වුණා. අපට බොහෝ වෙලාවට වැඩක් කර ගන්න ගියහම අවුරුදු ගණන් යනවා.

විශ්වවිද්‍යාලයත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවත් එක්ව කටයුතු සිදු කළා. අපගේ අවංකකම, විශ්වාසය, කැප කිරීම, වැඩ කිරීමේ හැකියාව මේ හැම එකක්ම තිබුණා. එකවිට පීඨ දෙකක් සතුකර ගැනීමේ අභි‍යෝගය මට තිබුණා. ජනවාරි 21 තාක්ෂණ පීඨය පටන් ගන්න අනුමැතිය ලැ‍බෙන කොටම ඒ වසරේම ජූලි 31 වන විට වෛද්‍ය පීඨය‍ට අවශ්‍යම ගොඩනැඟිලි නීත්‍යානුකූලව ලබා ගැනීමට හැකි වුණා.

අපි ගැසට් නිවේදනය එනකම් හිටියා නම් මේ අවුරුද්දේ නොවෙයි ලබන අවුරුද්දේ කණ්ඩායමවත් අපට ගන්න බැරි වෙනවා. මහජන මුදලින් වැටුප් ලබන අපි රටට සේවය කළ යුතුයි. මම මගේ බිරිඳ හා දරුවන් සමඟ උදේ 8.30 නිවෙසින් පිටත්ව 11.45 ශ්‍රීපාදයට ගොස් නළල තබා මුණිසිරිපා වැඳලා ප්‍රාර්ථනාවක් කළා මට මේ වෛද්‍ය පීඨය ඉක්මණින් ඇරැඹීමේ ශක්තිය හැකියාව ලැබෙන්න කියලා. අද දකුණට හැරිලා බැලුවොත් ශ්‍රීපාදය පේනවා. ශ්‍රීපාදයේ සිට බැලුවොත් මේ වෛද්‍ය පීඨ ගොඩඟිල්ල පේනවා.

රජය, විශ්වවිද්‍යාලය මොන කැප කිරීම කළත් විගණකාධිපති දෙපාර්තමේන්තුව අපට සහයෝගය නොදුන්නා නම් මේ පීඨය මෙතරම් ඉක්මනට අරඹන්න බැරිවෙනවා. මිනිස්කම, වගකීම රට වෙනුවෙන් ගත් තීරණයක්. වෛද්‍ය පීඨයක් කලා පීඨයකට සම කරන්න බැහැ. මිනිසුන්ගේ අද උපදින දරුවාගේ පටන් අනාගත‍යේ උපදින ලක්ෂ සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් තීරණ ගනු ලබන පිරිසක් මේ වෛද්‍ය පීඨයෙන් බිහි වනවා. සබරගමුවේ වෛද්‍ය පීඨය කොළඹ නගරයෙන් බැහැරව ඇති අංක 1 වෛද‍්‍ය පීඨය බවට පත්කරනවා.‘

මේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් විවිධ අංශයන්හි පිරිස් අදහස් දැක්වූයේ මෙලෙසය.

විගණකාධිපති බ්. එම්. විජේසිංහ මහතා. ‘මුදලේ අගයට වැඩ කොටසක් සිදුවෙනවාද යන්න සහ අප සතු වත්කම් නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නවාද යන්න තක්සේරු කළ යුතුයි. මේ ස්ථානය අපට දුර වැඩියි.

සම්පත්දායකයන් ලබාගැනීමේ අපහසුව දුර හා මේ ස්ථානයෙන් අපි ගන්න ප්‍රයෝජනය මදි කියලා මට හිතුනා. එනිසා වෛද්‍ය පීඨයකට ඉතා සුදුසු පරිසරය හා ගොඩනැඟිලි පහසුකම් ඇති මෙය දෙන්න තීරණය කළා. රටේ ජනතාවගේ සෞඛ්‍යයට උරදෙන වෛද්‍යවරුන් බිහි කරන ආයතනයකට ලබා දීමෙන් පින්කමකට දායකවීමේ අවස්ථාවක් උදා කර ගත්තා. දහසක් වෛද්‍යවරු බිහිවේවා යන්න පතනවා. හැමදේම බදාගෙන ඉන්නෙ නැතිව නිර්ලොභීව අපි මෙය දෙන්න තීරණය කළා. ‘

මහාචාර්ය ලමාබදුසූරිය ‘ගිය වසරේ ජූලි මාසෙ ආරාධනාවක් ලැබුණා ‍සබරගමුව වෛද්‍යා පීඨයේ විෂය මාලා සැකසීමේ උපදේශකයකු ලෙස කටයුතු කරන්න කැමතිද කියලා. මා එකඟ වුණා. රත්නපුරේට මම මාස කීපයකට පෙර ආවම මගේ හිත ගියේ ගාල්ලටයි. රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බිහි කළේ ගාල්ලෙ කරාපි‍ටියෙ 1977. දැන් වෙද්‍ය පීඨය තිබුණ භූමියෙ තිබුණෙ පොල්වත්තක් හා මුරකරුගෙ මඩුවයි.

දකුණු පැත්තේ පිළිකා රෝහලට මුල්ගලත් තැබුණා. 1956 මෙය පටන්ගත්තේ මහමෝදර රෝහලෙන් රුහුණ වෛද්‍ය පීඨයේ පටන්ගත්තේ අඩු පහසුකම් යටතේ. 1983 සිට වෛද්‍ය ශිෂ්‍යයෝ පිටවෙලා තියනවා. ශ්‍රී ලංකාවේ හුඟක්ම ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරු බිහිවෙලා තියෙන්නේ කරාපිටියෙන්. මා බලාපොරොත්තු වෙනවා සබරගමුවෙත් එලෙසින්ම. රත්නපුරේ රෝහලට ගියාම මහමෝදර රෝහලයි රත්නපුර රෝහලයි බැලුවොත් රත්නපුරේ පහසුකම් ගොඩක් වැඩියි. ගොඩනැඟිලි පමණක් නොවෙයි. විශේෂඥ වෛද්‍යවරු කිසිම අඩුපාඩුවක් නැහැ. මහාචාර්ය ඒකක පමණයි අඩුපාඩුව. දෙවැනි වසරේ සිට සිසුන් රත්නපුර රෝහලට

යොමු කරනවා. ගිය වසරේ නීතිරීති, පාඨමාලා විෂය මාලා නිර්දේශ සකස් කළා. අක්කර 20ක ඉඩමක් ලැබී තිබෙනවා. රත්නපුරෙන් පළමු කණ්ඩායමේ සිසුන්ට 3 වැනි වසරේදී නව ඉදිකිරීම් ගොඩනැඟිලි තුළ අධ්‍යයන අවස්ථා සැලසෙනවා. ‘

විශේෂඥ වෛද්‍ය උදයංගනී රාමදාස මහත්මිය සිය හඬ අවදි කළේ මෙලෙසය.

‘මා රත්නපුරේ ඉපදුන කෙනෙක් හැටියට විශේෂයෙන් සතුටු වෙනවා. මා කොළඹ වෛද්‍ය පීඨයට යද්දී විවිධ අපහසුතා ඇති වුණා. නවාතැන් පහසුකම් ඇතුළුව. අද රත්නපුරේට මේ වෛද්‍ය පීඨය එක්වීම පිළිබඳ ඉතාම සතුටට පත්වෙනවා. සබරගමුව පළාත් මහ රෝහල් අධ්‍යක්ෂ එස්. පී. ඒ. එල්. රණවීර මහතා මෙසේ පැවැසීය. ‘රත්නපුර මහ රෝහල කියන්නේ විශාලතම රෝගී සත්කාරක සේවය සපයන අයතනයක්. ඇඳන් 1400ක් තිබෙනවා. වාට්ටු 42ක් ඒකක 24 ක් ක්‍රියාත්මක වෙනවා. කාර්ය මණ්ඩලය ගත්තොත් විශේෂඥ වෛද්‍යවරු 46ක් හා 2500ක කාර්ය මණ්ඩලයක් සේවය කරනවා. වෛද්‍ය පීඨය ඉදිකිරීමට සමගාමීව රත්පපුර පළාත් මහ රෝහලේ පහසුකම් වැඩි දියුණු කිරීම වසරකට පෙර සිට අපි ආරම්භ කළා. මේ නව වෛද්‍ය පීඨ ශිෂ්‍ය කණ්ඩායමට දැනුම ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් රත්නපුර මහ රෝහල සතුව පවතිනවා.

ඒ වගේම අපගේ කාර්ය මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා එම අවස්ථාවට එළඹෙනකම්. අපිට ඇති එකම අඩුව මහාචාර්ය ඒකකය පිහිටුවීම. එය සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව ඉතා ඉක්මණින් ඉටු කිරීමට සැලසුම් සකසා තිබෙනවා. ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම මහාචාර්ය ඒකකයට යොමු කිරීමට අවශ්‍ය අදාළ දිනය වන විට ඒකකය පිහිටුවීමේ කටයුතු සිදු කරනු ලබනවා. කොළඹින් බැහැරව තිබෙන හොඳම වෛද්‍ය පීඨය බවට පත්කිරීම රත්නපුර පළාත් මහ රෝහලේ සහ සබරගමුව විශ්වවිද්‍යාලයේත් එකම ප්‍රාර්ථනයයි.

 ‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ඵලක් නැත. මෙලොව ඇති උතුම්ම සම්පත නිරෝගීකම බව පරම සත්‍යයකි. සුබසාධන රාජ්‍යයක් ලෙස පුළුල් සෞඛ්‍ය සේවාවක් සපයමින් සෞඛ්‍ය සේවය ප්‍රමුඛ මෙහෙවරක නිරතව සිටියි. එවන් මෙහවරක් ඉටු කරන්නට අත්වැලක් සපයමින් නිරෝගී පරපුරක් ඇති රටක් බිහි කරන්නට මහත් වූ ලක් දනන්ගේ නිරෝගීකම පරම ලාභය කරන්නට අතහිත දෙමින් දහසකුත් වෙදැදුරන් බිහි කරන්නා වූ පින්බිමක් ලෙස චිරාත් කල් පවතින්නටත් රැකෙන්නටත් අවැසි පසුබිම සැකසේවායි යන්න සෙනෙහසින් පතන්නෙමු.

බෙලිහුල්ඔය සමූහ සමන්තා කංකානම්ගේ


නව අදහස දක්වන්න