මනස දියුණු නැති ප්‍රවීණයන්ගෙන් ඵලක් නෑ | දිනමිණ

මනස දියුණු නැති ප්‍රවීණයන්ගෙන් ඵලක් නෑ

උඩුදුම්බර කාශ්‍යප හිමි

සමාජයේ සෑම ගැටලුවකටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ විසඳුමක් පවතියි. නමුත් බෞද්ධ රටක ජීවත්වන බොහෝ අය එවැනි විසඳුම් සෙවීමට උනන්දුවක් නොදක්වති. ගැටලුවක් පැන නඟින විටදි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඒ සඳහා විසඳුම් ඇති බව අවබෝධ කරගත යුතුය. අද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්වනුයේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ය.

ස්වාමීන්වහන්ස, කිසියම් පුද්ගලයෙක් කිසියම් ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වෙනවා වගේම ක්ෂේත්‍රය තුළ තවදුරටත් ඉදිරියට යාමට මනසේ ක්‍රියාකාරිත්වය බලපානවාද?

එක් එක් ක්ෂේත්‍රයන්හි එක් එක්කෙනා පුහුණුවක් ලබන විට ඒ ක්ෂේත්‍රය තුළ ඒ පුද්ගලයා ප්‍රවීණයෙක් වෙනවා. උදාහරණයක් විදියට දේශපාලන ක්ෂේත්‍රය, ඉංජිනේරු ක්ෂේත්‍රය, වෛද්‍ය ක්ෂේත්‍රය යනාදිය හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රවීණයෙක් වුණාම ඒ ක්ෂේත්‍රය තුළ විශාල දෙයක් ඔහුට හෝ ඇයට කළ හැකියි. ඒ ක්ෂේත්‍රයත් සමඟ සමාන්තරව හැමදේටම මුල් වෙන මනසේ ක්‍රියාකාරිත්වය බලපානවා.

කිසියම් ක්ෂේත්‍රයක කොතරම් දක්ෂ ප්‍රවීණයෙක් වුවත් තමන්ගේ මනස පාලනය කරගත නොහැකි නම් ක්ෂේත්‍රයේ ඉදිරියට යා නොහැකියි. අපි උදාහරණයක් විදියට හිතමු, ඉංජිනේරු ක්ෂේත්‍රයේ සිටින අයෙක් ඒ ක්ෂේත්‍රය තුළ නිපුණත්වයට පත් වෙලා. නමුත් මානසික ලෙස පහළ මට්ටමක සිටිනවා. හැම ක්ෂේත්‍රයකම වැඩිදියුණුව උදෙසා මානසික මට්ටම දියුණු කළ යුතුයි. මානසික මට්ටම පහළට වැටුණු විට තමයි ඒ ක්ෂේත්‍රය තුළ ඒ පුද්ගලයා කොතරම් ප්‍රවීනයෙක් වුණත් වංචා දූෂණ කිරීමට පෙළඹීමක් ඇති වන්නේ. මේ තත්ත්වය මඟ හැරීමට නම් අධ්‍යාත්මික වශයෙන් මනස දියුණු කළ යුතුමයි.

මනස දියුණු නොකිරීම නිසා අසමඟිකම ඇතුළු නොයෙකුත් ගැටලු ඇති වෙනවා නේද?

අද අපේ රටේ පරිහානියට හේතුව තමයි අපි හැමෝම අතරේ තිබෙන අසමඟිකම. අසමඟිවීම් නැති කරගෙන සමඟිව සිටීමට අපි මනස පුහුණු කළ යුතුයි. අසමඟිකම නිසා අපි පිරිහෙනවා කියලා දැනුණු ගමන්, අපි අධිෂ්ඨානයක් හිතට ගන්නවා සමඟිව ඉන්නවා කියලා. අධිෂ්ඨානයක් ගත්තාට එය ක්‍රියාත්මක කර ගන්නට හැකිද කියා විමසා බලන්න ඕන. උදාහරණයක් විදියට පාඩම් කරමින් සිටින දරුවකුට නින්ද ගියා නම් ඊළඟ දවසේ මම හොඳට පාඩම් කරනවා කියලා අධිෂ්ඨානයක් ගන්නවා කියලා හිතමු. නමුත් ඊළඟ දවසෙත් නින්ද යනවා. අපි ගන්නා අධිෂ්ඨානය පමණක් මදි. එය ක්‍රියාවට නැංවීම සඳහා හොඳ මානසික පුහුණුවක් තිබෙන්ින ඕනෑ. පරිහානියේ ලක්ෂණය සමඟිය නැතිකම නම් හැම වේලාවේම සමඟිව සිටීමට මානසික පුහුණුවක් ලබා දෙන්න ඕනෑ

රට තුළ සමඟිය වර්ධනය කර ගන්න නම් එහි ආරම්භය කෙසේ විය යුතු ද?

ඒ පුහුණුව අපට පළමුවෙන්ම කළ හැක්කේ නිවසින්. පවුල කියන්නේ කුඩා ඒකකයක්. රටේ සමඟිය ඇති කිරීමට ඉස්සරවෙලාම අපේ පවුලේ අය සමඟිව ඉඳිමු කියලා පවුලේ අයට එක්වෙලා තීරණයක් ගත හැකියි. සමඟිය බිඳෙන එක කාරණාවක් තමයි අන් අයගේ දේවල් විවේචනය කිරීම. කිසියම් විවේචනයක් කරන්නේ නම් ඇයි මම ඒ විවේචනය කරන්නේ කියලා අපට අදහසක් තිබෙන්න ඕනෑ.

විවේචනය කරන විට යහපත් අදහසක් තිබිය යුතුයි. කෙනකුගේ අඩුපාඩුව සකස් කිරීම සඳහා කරුණාවෙන්, මෛත්‍රියෙන් යුතුව කෙනකුව විවේචනය කරන්න ඕනෙ. වැඩි යහපත සඳහා අදාළ පුද්ගලයා නිවැරදි කිරීමට විවේචනය යොදා ගන්න ඕනෙ. අපි විවේචනයක් කරනුයේ කෙනෙක්ව හදා ගන්නටම ද කියලා සත්‍යවාදීව විමසා බලන්න ඕන. එතැන අපේ ලොකු අඩුපාඩුවක් තිබෙනවා.

නිවස ගැනම හිතලා බලන්න, අපේම අයට අපි උපදෙස් දී තිබෙන්නේ තරහෙන්. ඒ උපදෙස දෙන විදියට උපදෙස ලබන කෙනාට තමන්ගේ වැරැද්ද හදා ගන්න හිතෙන්නේ නැහැ. එක්කෝ පරුෂ වචන නැත්නම් අසභ්‍ය වචන භාවිතා කරනවා. එක්කෝ තමන්ම ඉහළට ඔසවා තබා අනුන්ව හෙළා දැකීමේ අදහසින් විවේචනය කරනවා. මෙවැනි පටු අරමුණුවලින් කරන විවේචන නිසා අඩුපාඩු තිබෙන කෙනා වැරදි හදා ගැනීමක් කරන්නේ නැහැ. නිවසින් ආරම්භ කළ සමඟිය වර්ධනය කර ගැනීම ගමට, ගමේ සමිති සමාගම්වලට අරගෙන යා හැකියි.

රටේ දියුණුව සහ සමඟිය අතර තිබෙන සම්බන්ධතාවයේදි සියලු ජාතීන් ලාංකිකයන් ලෙස එක්ව සිටීම වැදගත් නේද?

ලෝකයේ පොහොසත් රටවලට දුප්පත් රටවල් නැති වුණොත් ශ්‍රම සූරාකෑම, ඔවුන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීම කළ නොහැකි තත්ත්වයක් උදා වෙනවා. දුප්පත් රටවල් මත තමයි ඔවුන්ගේ පොහොසත්කම රඳා පැවතිලා තිබෙන්නේ. ඒ නිසා ඔවුන් නොයෙකුත් උපක්‍රම යොදනවා අපිව අසමඟි කිරීමට. ජාත්‍යන්තරව එය සංවිධානාත්මකව කරනවා. එය අසත්‍යයක් නොවේ. අපේ රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම් භේද ඇති කරන්න උත්සාහ කරනවා. මේ ගැටලුව අපි ප්‍රධාන ලෙස හඳුනාගෙන රට තුළ සිටින සියලු ජාතීන් ලාංකිකයන් ලෙස එක්ව සමඟිව විසීමට අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනෙ.

සමඟිව සිටීම සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ දර්ශනය තුළ හොඳ ඉගැන්වීමක් කර තිබෙනවා නේද?

රටේ වැඩිදෙනෙක් බෞද්ධයෝ. සමඟි විය හැකි ප්‍රතිපත්තිය තමයි බෞද්ධ ප්‍රතිපත්තිය. ඒක දන්නා ජාත්‍යන්තර බලපෑම් එන්නේ බෞද්ධකම කඩා බිඳ දැමීමට. බෞද්ධ ධර්මයේ තිබෙන හරය විනාශ කරන්නට දරනා උත්සාහය අපි හඳුනාගන්න ඕන. ඇතැම් භික්ෂූන් වහන්සේලා ධර්මය තදින්ම විකෘති කරගෙන යනවා. ඊට සමගාමීව සාහිත්‍යධරයන් විදියට තමන්ම හඳුනා ගත් පිරිස් සංවිධානාත්මකව බුද්ධාගමට ගරහනවා. ඒ වගේම ඇතැම් පටු දේශපාලනඥයන් ධර්මය පරිහානියට කටයුතු කරනවා. බුද්ධාගම තුළ නොයෙකුත් මතවාද ඇති කර එය කඩා බිඳ දැමීමට ඔවුන් උත්සාහ කරනවා. එය අපි තේරුම් ගෙන ඒවා ඉදිරියේ අපි අසමඟි නොවී සිටීමට වගබලා ගන්න ඕනෙ.

ස්වාමීන් වහන්ස, අපගේ මනස දියුණු කර ගන්නවාත් සමඟ අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කර ගන්නේ කෙසේද?

අධිෂ්ඨානය විතරක් තිබිලා මදි. අධිෂ්ඨානය තුළ මනස පුහුණු කරන්න ඕන. සමඟියෙන් සිටීමට නම් සිහිය, වීර්ය, උපේක්ෂාව, ඉවසීම යනාදි ගුණාංග අපේ හිතේ පුරුදු කරන්න ඕන. එය පුහුණු කිරීමට යාම තුළ පන්සිල් ආරක්ෂා කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. කෙනකුට පුදුම හිතෙයි පන්සිල්වලින් කොහොමද මානසික ශක්තිය වැඩි වන්නේ කියලා. අධිෂ්ඨානය වර්ධනය කර ගැනීමට නම් අධිෂ්ඨානයෙන්ම ඉඳලා පුරුදු කරන්න ඕන. සමඟියෙන් ඉන්න අධිෂ්ඨාන කරනවා නම් අධිෂ්ඨානය බලවත් කර ගන්න ඕන. පන්සිල් සමාදන් වෙනවා කියන්නේ පන්සිල් කට පාඩමින් කියවන එක නොවේ. එය ආරක්ෂා කර ගන්නවා කියන අධිෂ්ඨානයෙන් සිටින්න ඕනෙ.

දිනෙන් දින අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වෙනවා. පන්සිල් සමාදන් වෙලා කටයුතු කරන්නට අපි සමාජයට පුහුණු කරන්න ඕන. ඒ වගේම ප්‍රධාන ගැටලුවේ තිබෙන භයානකකම අපි හඳුනා ගත්තාම අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන්. මේ භයානකකම ගැන නැවත නැවත හිතලා බැලුවාම අධිෂ්ඨානය දියුණු කර ගැනීමට හිතට ලොකු ශක්තියක් ලැබෙනවා.

අපට තිබෙන ගැටලුවල භයානකකම හඳුනා ගත්තාම එකමුතුවෙලා ජීවත් වෙන්න පුළුවන්. ජාත්‍යන්තරව තිබෙන ගැටලු තදින්ම හඳුනා ගෙන පන්සිල් ආරක්ෂා කිරීමෙන් විසඳුම් සොයන්න ඕන. බෙදී වෙන්වීමේ ආදීනව දැනගෙන ඒවා නැවත නැවතත් මෙනෙහි කරන්න ඕන. ඒ සඳහා නොයෙකුත් වැඩසටහන් පාසල්, දහම් පාසල්, ළදරු පාසල්, කාර්යාල, භාවනා වැඩසටහන්, වැඩිහිටි සමිති මට්ටමෙන් අඩුම තරමෙන් පන්සිල් රකින වැඩපිළිවෙළක්වත් මානසික දියුණුව ඇති කරන වැඩසටහන් කරන අධ්‍යාත්මික නායකයන් විසින් පුහුණු කරන්න ඕන. අධ්‍යාත්මික නායකයන් එක්ව එවැනි ජාලයක් හදා ගත යුතුයි. ජාතියක් ගොඩනැඟෙන්න නම් ඒ වගේ මානසික ශක්තියක් තිබෙන මිනිසුන් බිහි කන්න ඕ‍ෙන.

සමඟියෙන් ජීවත් වීම සඳහා රටේ දේශපාලනඥයන් ජනතාවට ආදර්ශයක් විදියට හැසිරිය යුත්තේ කෙසේද?

පාරේ බැහැලා යනකොට කෙලෙස් ධර්ම වැඩෙන බැනර්, පුවරු තිබෙනවා. එක තැනකවත් සමඟිය දියුණු කර ගත යුතුයි කියලා බැනර්, පුවරු නැහැ. රටම එකතු වෙලා රාජ්‍ය වශයෙන් දැඩි ප්‍රතිපත්තියකට එනවා, මිනිසුන්ට හැමතැනකදීම ඇහැට පේන්න කනට ඇහෙන්න මාධ්‍යයක වැඩක් ආරම්භ කරනකොට, පත්තරයක ප්‍රධාන ප්‍රවෘත්තියක ආදර්ශ පාඨයක් විදියට “සමඟිව ජීවත් වෙමු“ කියන පාඨය ප්‍රදර්ශනය කිරීම සඳහා. මතිමතාන්තර තිබෙනවා.

ඒවා උපේක්ෂාවෙන් දරාගෙන සමඟියෙන් සාකච්ඡා කරගෙන ජීවත් වෙමු. මාධ්‍යයක දේශපාලන සාකච්ඡාවක් පටන් ගන්නා විට ඉස්සරවෙලාම කට්ටිය එකතු වෙන්න ඕනෙ. මේ ආදර්ශය ඉහළ සිට පහළට ලබා දෙන්න ඕනෙ. මාධ්‍ය සාකච්ඡාවකදි දේශපාලන විවාදයක් හෝ වෙනත් විවාදයක් ආරම්භ කරන විට වට මේසයක් සාදාගෙන රටේම ජනතාවට පෙනෙන්නට සමඟියෙන් එය පැවැත්වීම වැදගත්.

එහිදී තීරණයට එන්න ඕන, අපි මේ දේශපාලන සාකච්ඡාව පවත්වනවා, හැබැයි අපි උණුසුම් විදියටත් කතා කරනවා, ඒත් අසමඟියක් නැහැ කියලා රටටම කියන්න ඕන. අපි හයියෙන් හයියෙන් උණුසුම් විවාදයක් කරන්නේ නිවැරදි වීමට විතරයි, හැබැයි අපි ඔක්කොම සමඟියි කියලා සාකච්ඡාව අවසන් කර හැමෝම කරට අත දාලා හෝ අතට අත දීලා හෝ කුමන හෝ ආකාරයකින් සුහදතාව රටේ ජනතාවට පෙන්වා විසිර යාම ආදර්ශවත්. එතකොට ජනතාව දැන ගන්නවා මේ අය එකමුතුයි කියලා. රටම එක ප්‍රතිපත්තියකට ආවා නම් හරි.

ස්වාමීන් වහන්ස, ආගමික නායකයන්ට පක්ෂ දේශපාලනයක් නොතිබිය යුතුයි නේද?

ලාංකික කියන හැඟීමෙන් යුතුව ජාත්‍යන්තරව තිබෙන ගැටලුවලට මුහුණ දීමට හැකි නම් එය සාර්ථකයි. අපි මෙතැන භූමිය බෙදා ගන්න රණ්ඩු වෙනකොට පිටරටවලින් පැමිණ අපේ මර්මස්ථාන ඩැහැගෙන අවසන්. අපි සිංහල, දෙමළ, මුස්ලිම් විදියට පොර කනවා. අන්තිමට මොකුත් නැති දෙයකට පොරකාලා තිබෙන්නේ. ඒ ප්‍රශ්නය තේරුම් ගන්නට හැකි නම් අපට ජාතික වශයෙන් එකමුතු වෙන්න පුළුවන්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් ජාතික දේශපාලනයට අවවාද කරන්න ඕන. භික්ෂූන් වහන්සේ නමක් පක්ෂ දේශපාලනයට උදව් කරනවා කියන්නේ ඒ ජාතිය කඩා දැමීමට උත්සාහ දරනවා කියන එක. ආගමික නායකයාට ජාතික දේශපාලනයක් මිස පක්ෂ දේශපාලනයක් නොතිබෙනව්න ඕනෙ

සාකච්ඡා කළේ - සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න