පාරාදීසයට බෝට්ටුවෙන් | දිනමිණ

පාරාදීසයට බෝට්ටුවෙන්

වඩිනාගලට ඉහළින් හිරු කෙමි සමුදුරු දියවරට එබිකම් කරමින් තිබුණි. ඇඟ මැළි කඩා උද්‍යෝගිමත් වූ සමුදුරු කුමරු තවත් අලුත් දිනයක කටයුතු ආරම්භ කිරීමට සූදානමිනි. නිල් වනින් දිළෙන දූපත් ලලනාවෝ තම ලාලිත්‍ය ඔප් නංවාගනිමින් උජාරුවෙන් වැජඹෙති.

මේ පරිසර සැරසුම් අතරේ අප ගමනට සූදානමිනි. උදෑසනම ගමන පිටත්වීම නුවණට හුරුය. රාත්‍රියේ සඳ සෙවණැලි යට දූපත් ලලනාවන්ගේ සුව විඳීමට පැමිණි ආගන්තුක නවාතැන්කරුවන් හොර රහසේම නික්මෙන්නට ප්‍රථම අප ඔවුන් කැමරා රූපයෙන් අත්අඩංගුවට ගත හැකි වන්නේ එවිට ය. ඒ නිසාම අරුණට පළමුව ගමන ඇරඹීමට පෙරදා රාත්‍රියේ කතිකා කරගත්තෙමු. අපේ රැය ගෙවුණේ ජලාශයේ කෙළවර නෞකාවක් බඳු සුව පහසු වන නිවහනේ ය.

උදෑසනට හෙයින් අහසින් පැනගත් ලා කහ පැහැති අඩ අඳුරේ සොඳුරු සමුදුරු කුමරු වෙලී සිටී. එක් පසකින් සීතල මිහිදුම් වළල්ලෙන් වැසුණු සේනානායක සමුදුරු ජල තලයයි. අනෙක් අත කදු මුදුනක සිට ඒ අසිරිය ප්‍රතාපවත්ව බලා සිටින ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුව යි. අපේ ගමන යෙදී ඇත්තේ ගල් ඔය ජාතික වන උයනෙහි කොටසක් වන සේනානායක සමුද්‍ර අභය භූමිය වෙතටයි.

ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ දිවංගත ඩී. එස් සේනානායක මහතා විසින් ඉදිකළ සේනානායක සමුද්‍රය ලක්ෂ ගණනක ජනතාවට ජල පහසුව දී දහස් ගණනක පරිසර හිතකාමීනට පහස ද ලබාදෙයි.

වන ගත ගමනට බිමනට ප්‍රිය බොහෝදෙනකුට මඟගැරෙන ගල් ඔය ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ජාතික වන උයන් අතර සුවිශේෂී පරිසර පද්ධතියකි. සවානා වනාන්තරවල ප්‍රමුඛ ගති ලකුණු පෙන්නුම් කරනු ලබන බිමකින් සමන්විත ඊට මායිම්ව ආදිවාසී ජනාවාස සහ ඉපැරැණි ගම්මානකිහිපයක්ද හමුවෙයි. ඒ මුල්ලේගම,දඹගොල්ල, දානිගල, නිල්ගල සහ රතුගල වේ. ඉඟිනියාගල , දෙගලවල, දානිගල, උල්හෙල , ගෝවින්ද හෙල හෙවත් වෙස්මිනිස්ටර් ඇබේ සහ වඩිනාගල කඳු වැටිවලට වටව පිහිටීම නිසා උද්‍යානය විචිත්‍රවත් බව දෙගුණ තෙගුණ වී තිබේ. මෙම වන උයනට පැමිණෙන සංචාරකයන්ට වන සතුන්,ගහකොළ මෙන්ම වන සංචාරයෙන් අනතුරුව ආදිවාසී ජනතාව දැකබලා ගැනීමට ද අවස්ථාව ලැබේ.

ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී රජ කළ උත්තිය රජු සමයේ හා සද්ධාතිස්ස රජ සමයේ කෘෂි කර්මයෙන් සශ්‍රික පෙදෙසක් ලෙස ප්‍රකටව තිබූ මේ ප්‍රදේශයට යාබදව ඓතිහාසික දීඝවාපියත්, බුද්ධංගල වන සෙනසුනත් ඇති අතර ඒවා දැක බලා වැඳපුදා ගැනීමටද මේ ගමනේදී වරම් ලැබේ.

පාරිසරිකව මෙන්ම ඓතිහාසිකවද මේ සංචාරය වැදගත් වන්නේ එමනිසාය. සංචාරකයන්ගේ ප්‍රමුඛ වන උයන් ලැයිස්තුවේ නම සටහන් නොවන මෙම පරිසර පද්ධතිය පරිසර ගවේශකයන්ගේ සංචාරක ලැයිස්තුවේ නම් ඉහළින්ම සටහන් වේ. සංචාරකයන්හට ගල් ඔය ජාතික වනෝද්‍යානය මතකයෙන් ගිලිහීමට හේතුවූ ප්‍රධාන කරුණ 1984 සිට 2006 දක්වා ත්‍රස්තවාදී කලබල හේතුවෙන් වසා තැබීමයි. දැන් ක්‍රමානුකූලව සංචාරකයන්ට සමීප වන ගල් ඔය, ආරුගම්බේ සහ පාසිකුඩා සංචාරක කලාප වෙත යන පරිසර ප්‍රේමීන්ගේ කදිම නවාතැන්පොළක් බවට පත් වෙමින් තිබේ.

ගල් ඔය ජාතික වන උයන හේතු කාරණා කිහිපයක් නිසා විශේෂිත ය. ඉන් එකක් නම් එකම දූපත් කඳවුරු බිම පිහිටුවා ඇත්තේ මේ වන උයනේ වීම ය. එමෙන්ම මෙහිදී පිහිනන අලි නිතර දැකිය හැකි ය. මානං කුකුලා,නීල කන් පිළිහුඩුවා (Blue-eared Kingfisher) සහ පුංචි සීතලු බටගොයා දැකිය හැක්කේ මෙම වන වදුලු අතර පමණක් වීම තෙවැන්නය. ගල් ඔය ජාතික වනෝද්‍යානය පිවිසෙන සංචාරකයන්හට වෙනත් කිසිඳු ජාතික වනෝද්‍යානයකදී හමුනොවන සුවිශේෂී ගමනකට ද මඟ විවෘත වේ. ඒ සේනානායක සමුද්‍රයේ දූපත් නැරඹීමේ භාග්‍යයයි.

සේනානායක සමුදුර මත විසිරෙන ජල තරග මැද අපේ ගමන නව ලොවක් වෙතයැයි සිතන තරමට පරිසරය චමත්කාරවත් ය. වඩිනාගලට ඉහළින් වඩින ළමා හිරු වලා වියනක ආදරණීය හාදු තවරන්නේ ය. බෝට්ටුවේ දස දෙනකුට ඉඩ පහසුකම් තිබුණද අපේ කණ්ඩායම කුඩා ය. එහෙයින් ගමන තරමක් පහසු ය. බෝට්ටු බඳේ හැපී කුඩුවන දඟකාර පෙණ බිංදු නැවත නැවතත් අප ලුහුබඳිමින් බෝට්ටුවේ යටි බඳ වසා ගනිද්දී ක්‍රමයෙන් පණ ගැන්වෙන බෝට්ටුව මන්දගාමීව ඉදිරියට ඇදෙයි. අප ඇතුළුවන්නේ ඔවුන්ගේ රාජධානියට ය. එබැවින් නිශ්ශබ්දතාව බොහෝ වටී. පරිසර වන්දනාවකදී නිහැඩියාව දුලබ දේ අප නෙත් වෙත සමීප කරන බැවිනි. දූපත් දහයකින් සමන්විත මේ අසිරිමත් සමුදුරු මඟෙහි දැකබලා ගත හැක්කේ දූපත් හතක් පමණි. ඉන් තුනක් කුරුල්ලන්ගේ ය. සෑම දුපතකම බොහෝ විට සද්ධන්තයකු නොසිටීමට නොහැකිය. එබැවින් අප ප්‍රවේසම් විය යුතුය. එහෙත් බිය විය යුතු නැත.

ක්‍රමයෙන් ගොඩ බිම ඈත් වෙමින් දූපත් සමූහය අප නෙත මායිමට සමීප වේ. බෝට්ටුවේ ශබ්දයට අභියෝග කරන දහස් ගණන් දියකාවුන් මහා හඬක් නංවමින් ඉගිලගොස් නැවතත් අප ඉදිරියේ පැතළි ගල් තලාව වසාගනිති. වසුරු වලින් ශ්වේත වර්ණ ඇති ගල් තලාව කාල වර්ණයට හැරීමට ගතවන කාලය දියකාවුන්ගේ ප්‍රමාණය සහ පියැඹීමේ ජවය අනුව වෙනස්වේ. ගල් තලාවක ගිමන නිවන හුදෙකලා කිඹුලන්ට ලෝකය පෙරලුණද ගානක් නැති ගානය. තැති නොගන්නා මේ කම්මැලියත් සීරුවට ලිස්සා සැඟවීමට සූරය.

ඇතැම් කුරුලු දූපත් සුදු පාටය. ගෙඩි පුපුරන කාලයට පුළුන් ගසක වැනි මේ තුරු කරටි වසා තම අණසක පතුරවන්නෝ කොකුන් ය. අළු කොකා(Grey Heron) යෝධ කොකා(Goliath Heron) කරවල් කොකා(Purple Heron) මහ සුදු-කොකා(Great Egret) සුදුමැදිකොකා( Intermediate Egret)ගව-කොකා(Cattle Egret)සහ කණ කොකා (Pond Heron) මේ තුරු මුදුන් සරසන මල් වැන්නන් අතර සිටිති. සේනානායක සමුදුරු දියවර පිස හමන අනාරාධිත තෙත බරිත සුළං අප පසුකොට යන්නේ කොන්ක්‍රීට් කාන්තාරයේ හිත ගත පිරුණු පිළුණු මහන්සිය මිශ්‍ර බරද ගලවා දමමිනි. සාමාන්‍ය සංචාරකයකුට කෙසේ වුවද පරිසර අධීක්ෂකයකුට නම් මේ ගමන මෙය ජීව විද්‍යාගාරයක් නරඹන්නට යන ගමනක් බඳුය.

එතරමටම ජලාශ්‍රිත පක්ෂි විශේෂ නිරීක්ෂණය කළ හැකි මේ ජල මඟෙහි හමුවන උකුස්සන් වර්ගද බොහෝය. බමුණුපියාකුස්සා(Brahminy Kite) සහ කුස-ඇලි සයුරුකුස්සා(White-bellied Sea-eagle) සුලභව දැකිය හැකි අතර මහ තඹ-සේරුවා(Fulvous Whistling-duck) රංචු වශයෙන් අප වෙනුවෙන් මේ දිය තඩාගය සරසනු ඇත. මහ දියකාවා(Great Cormorant) දහස් ගණනක් එක වර නිරීක්ෂණය කළ හැකි මේ ගමනේ ඉලක්කය නියත වශයෙන්ම ඔබට හමුවන්නේ දිය ගැඹුරු ගිරා නිලෙන් බබලන දූපත් ආශ්‍රිතවය. ඒ අතර දූපතෙන් දූපතකට පිහිනමින් කෑම සොයන අලි රංචුය.

බෝට්ටුව ආසන්නයේම හොඬ ඔසවාගෙන වේගයෙන් පිහිනන්නෝ තනි අලියා ය. බිය විය යුතු නැතැයි පෙර කීවද අලියා අසලට බෝට්ටුව ළංවෙද්දී හිත බියෙන් වෙළෙන්නේ අපට නොදැනුවත්වමය. පලපුරුදු මඟ පෙන්වන්නන් දෙදෙනකු බෝට්ටුවෙහි හිඳීම සහ ඔවුන් පවසන විස්තර හේතුවෙන් ක්‍රමානුකූලව ඔබේ බිය තුරන් වේ.

නම ගම රට නොදන්නා ආගන්තුක අලංකාර දුලබ පක්ෂි විශේෂ රැසක සිරිය සහ ජීවන විලාසිතාව විඳගැනීමට මට මෙන්ම ඔබටද මේ ගමනේදී දුලබ වරමක් හිමිවනු ඇත. විශාල කැදලි තනන කුඩා කුරුල්ලන් සේම විශාල බෙන වල ජීවත්වන සියොත් විශේෂ ගෙවන ජීවිත දැක බලා ගැනීමට මේ ජල මඟ අපට අවස්ථාව සලසයි.

ජලය ආශ්‍රිත පැළෑටි වර්ග මෙන්ම දූපත් වසා ගත් දැවැන්ත තුරු පිළිබඳ විස්තර මේ ගමනේදී මඟ පෙන්වන්නන් විසින් නියත වශයෙන්ම ඔබට කියා දෙනු ඇත. පැය තුනක සංචාරයකට පසුව නැවත ගොඩ බිමට පැමිණෙන්නේ බෝට්ටුවට ගොඩවූ හිස බර ඔබ වෙනුවට සැහැල්ලු තෙත් සිත් ඇති පරිසර ප්‍රේමියෙකි. ඉතාමත් සුරක්ෂිත මේ බෝට්ටු සවාරිය නිමකිරීමෙන් පසුව ඔබට අවශ්‍ය නම් ජීප් රථයකින් ගල් ඔය ජාතික වනෝද්‍යානයේ ගොඩ බිම් මඟෙහි සිරි අසිරිය නැරඹීමට ද අවස්ථාව තිබේ.

සටහන
චතුර ගීතනාත් බණ්ඩාර
ඡායාරූප
සුසන්ත විජේගුණසේකර / දමින්ත කෞශල් ගුණරත්න

 


නව අදහස දක්වන්න