පෙම්ව­ති­යගේ චරි­තය රඟ­පා­න­වට සැමියා කැමැති නැහැ | දිනමිණ

පෙම්ව­ති­යගේ චරි­තය රඟ­පා­න­වට සැමියා කැමැති නැහැ

ජනප්‍රිය රංගන ශිල්පිනී තිසුරී යුවනිකා

තිසුරී යුවනිකා කියන්නේ පුංචි තිරයේ දක්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහට ලක් වූයේ රංගනය නිසා නම් නොවෙයි. ඒ ඉතාම චාම් වූත් අලංකාර වූත් විවාහ මංගල උත්සවයකින් පතිකුලයට ගිය පුවත ගැනයි. පුංචි කාලයේ සිටම තමන් ආදරය කළ ආදරවන්තයාගේ අත ගන්නට තරම් වාසනාවන්ත වු ඇයව විවාහයෙන් පසුව ටික දිනක් තිරයේ දකින්න ලැබුණේ නෑ. එනිසා තිසුරිට ආදරය කරන රසික රසිකාවියන් තිසුරී කලාවෙන් ඈත් වෙලා දැයි විමසන්න ගත්තා. ඒ ගැන 'හිත පිරෙන හීන' විශේෂාංගයට ඇය මෙසේ අදහස් දැක්වූවා.

 තිසුරි කොහොමද අලුත් ජීවි‍තේ...?

අලුත් ජීවිතේ සතුටෙන් ගෙවිලා යනවා.

කලාවෙන් ඈත් වෙලාද ?

අපෝ නෑ. කලාව මගේ වෘත්තිය. ඒකෙ මට පුළුවන් තාක් කල් නියැළෙනවා.

මොනවද මේ දවස්වල කරන නිර්මාණ..

කණාමැදිරියෝ, මිණිඟං දෑල, නේත්‍රා ටෙලි නාට්‍යවල රඟ පානවා. ඊට අමතරව තවත් අලුත් නිර්මාණ කිහිපයකට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සුරාජ් කැමැතියිද තිසුරී රඟපානවට...?

එයාගේ අක­ැමැත්තක් නැහැ. මම සුරාජ්ට තේරුම්කරල දීල තියෙන්නේ මේක මගේ රැකියාව කියල. එයා මාව දන්නෙ පුංචි කාලෙ සිට ම නිසා ඔහු මගේ රැකියාව තේරුම් අරන් ඉන්නේ. නමුත් පෙම්වතියගේ චරිතය රඟපානවිට නම් ටිකක් මූණ හොඳ නෑ. පොඩ්ඩක් කුණු කුණු ගානවා. ඒ මට තියෙන ආදරය නිසානේ. අනිත් කරුණ මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවට කැමැති නැහැ. එයා නිතරම කියන්නේ මට පුළුවන් ප්‍රමාණයක් විතරක් වැඩ බාර ගන්න කියල.

අම්මාගෙන් දුරස් වීම ගැන දුකක් නැද්ද ?

මුල් දවස්වල නම් අම්මා, තාත්තා ළඟ නැතිවීම හරියට දැනුණා. දැන්නම් ගාණක් නෑ. මම පුළුවන් හැම වෙලාවෙම ගෙදර යනවා. අම්මලත් මාව බලන්න එනවා. කොහොමත් සුරාජ්ගෙ දෙමවුපියන් මාව කුඩා කල සිට හඳුනන නිසා ඔවුන්ට මම ඔවුන්ගේම දරුවෙක් වගේ. වෙනසක් නෑ. ඒ නිසා මට ගෙදරින් වෙන් වුණු දුක දැනුණේ නෑ.

එහෙත් අම්ම තවමත් දුකෙන්...

ඒ අපි දෙන්නා අම්මයි, දුවටයි වඩා හොඳම යෙහෙළියන් ලෙස සිටි නිසයි. තාත්තත් නිතරම පිටරට නිසා අම්ම තමයි මගේ පිටුපස්සෙන්ම සිටිමින් මගේ ගැන සොයා බැලුවේ. මමත් වෙඩින් ළං වෙනකොට කොහොමද අම්මව දාලා ගිහින් ඉන්නේ කියල හිතුවා. අම්මට නම් තවම මම වෙන් වුණු දුක තියෙනවා. කොහොමත් දුවක් හදන හැම අම්මෙකුට, තාත්තෙකුටම ඔය ප්‍රශ්නය පොදුයිනේ.

සුරාජ් රැකියාවට ගියාම තිසුරිට පාළුවක් නැද්ද?

විවාහයෙන් පස්සෙ තවම සුරාජ් විදෙස්ගත වුණේ නෑ. මේ දවස්වල විභාගයකට පාඩම් කරනවා. එය අවසන් වූවාට පසුව නැවතත් නාවික රැකියාවට විදෙස්ගත වෙයි. එතකොට පාළුවක් දැනෙයි.

විවාහයෙන් පසු චරිත තෝරා බේරාගෙනද රඟ පාන්නේ...?

කොහොමත් මම මුල් කාලයේ සිටම චරිත තෝරා බේරාගෙන තමයි රඟ පෑවේ. ඒක අදත්, හෙටත් ඒ විදිහමයි. ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නේ නෑ.

දැන් කවුරුද රූගත කිරීම්වලට තනියට යන්නේ..

කොළඹ රූගත කිරීම්වලට හැමදාමත් මම තනියමයි ගියේ. කොළඹින් පිට රූගත කිරීම්වලට නම් ගොඩක් වෙලාවට ආච්චි යනවා. අම්මත් කාර්යබහුල නිසා ඉස්සර ඉඳන්ම මගේ තනියට ගියේ ආච්චි. මේ දවස්වල නම් සුරාජ් යනවා. සුරාජ් ගියාම ආපහු ආච්චි හෝ අම්මා එයි.

පසුගිය සරසවිය සම්මාන උලෙළේදී තිසුරිට සම්මානයක් ලැබුණා...

ධර්ම යුද්ධය සිනමාපටයට කළ රංගනය වෙනුවෙන් නැගී එන රංගන ශිල්පිනියට හිමි සම්මානය ලැබුණේ. ටෙලි නාට්‍යවලට සම්මාන ලැබුණත් චිත්‍රපටයකට මෙයට පෙර සම්මාන ලැබුණේ නෑ. ඒ ගැන සතුටුයි.

සුරාජ්ට රසට කෑම හදල දෙනව කියන්නේ ඇත්තද ?

තවම නම් එයට අවස්ථාවක් ලැබුණේ නෑ. සුරාජ්ගේ අම්ම තමයි ගෙදර කෑම උයන්නේ. මම පැත්තක ඉඳන් පොඩි පොඩි වැඩ කර දෙනවා. ඇත්තටම මට ගෙදර දොරේ වැඩ හොඳට පුළුවන්. ඒ හැම දේම අම්මා කියල දීලයි තිබෙන්නේ. නමුත් ඒ කිසි දෙයක් මගේ අම්ම මට කරන්න දුන්නේ නැහැ. ඒ වගේමයි සුරාජ්ගෙ අම්මත්. ගෙදර වැඩ කරන්න දෙන්නේ නෑ. මගේ රංගන වැඩටත් ඇයගෙන් ලොකු සහායක් ලැබෙනවා.

තිසුරිට ඇයි වයසට වඩා මුහුකරා ගිය චරිත ලැබෙන්නෙ..

අධ්‍යක්ෂවරු හිතනවා ඇති මම ඒ චරිතවලට සුදුසුයි කියා. කොහොමත් සමාජයත් සමග ගැටෙන චරිත වලට මම කැමැතියි. එවැනි චරිත රඟපාන එක අභියෝගයක්.රඟපාන එකත් ලෙහෙසි පහසු නෑ. ඉතින් එහෙම චරිතයකින් මිනිසුන්ට දැනෙන මතක හිටින දෙයක් කළ හැකි නම් එවැනි නිර්මාණවලට සම්බන්ධ වන්න මම කැමැතියි.

අම්මා කෙනෙක් වෙන හීනය කවදා හැබෑ වෙයිද...?

තාම නම් එහෙම අදහසක් නැහැ. භාරගත් වැඩ වගයක් තිබෙනවා. ඒව වගකීමෙන් කරන්න ඕනෑ. ඒවා ඉවර කළාට පසුව ඒ ගැන හිතලා බලනවා. 

නයනා වෑත්තෑව ඡායාරූප - ශාන් රූපස්සර

නව අදහස දක්වන්න