විදෙස් රටවල පිටස්තරයෝ | දිනමිණ


 

විදෙස් රටවල පිටස්තරයෝ

කැන්බරා නුවර සිට ලයනල් සහ චිත්‍රා මෙල්බන් නුවර තෘතීය අධ්‍යාපන කටයුතුවල නිරත වන්නට ගොස් සිටි තම දරුවන් සමඟ සමීපව සිටින්නට 2004 දී මෙල්බන් නුවර පදිංචියට පැමිණියහ. එහි දී ද ලයනල් බෝපගේ මෙල්බන් නුවර ඩරබින් ජනවාර්ගික ප්‍රජා මණ්ඩලයේ භාණ්ඩාගාරික වශයෙන් විධායක කමිටුවට සම්බන්ධ විය. ඩරබින් නගරය මෙල්බන් නගර මධ්‍යයේ සිට කිලෝමීටර 10ක් පමණ ඈතින් පිහිටි අභ්‍යන්තර මෙට්‍රොපොලිටන් නගර ප්‍රදේශයකි. ස්වදේශික ඔස්ට්‍රේලියානුවෝ සහ සංක්‍රමණික ජනයාද මෙට්‍රොපොලිට්න් ප්‍රදේශයෙහි ජීවත් වෙති. ඔවුන් අතරින් සියයට 50කට වඩා ඉංග්‍රීසි බස ව්‍යවහාර කරන්නේ නැත. ඔවුන් ග්‍රීක, ඉතාලි, මැසඩෝනියන් වැනි යුරෝපීයයන් මෙන්ම වියට්නාම සහ චීන වැනි ආසියානුවන්ගෙන් ද සමන්විතය. මෙල්බන් නුවර ආසන්නයේ ප්‍රයජනක ප්‍රදේශයක පිහිටීම නිසා ඩරබින් නගරයේ දකුණු දිග ප්‍රදේශය ‘ප්‍රභූකරණය’ වීමක් දක්නට ඇත. ඩරබින් ජනවාර්ගික ප්‍රජා කවුන්සලයත් ඩරබින් නගර සභාවත් ඉතා සමීපව කටයුතු කරයි. වසර ගණනක් ඇවෑමෙන් අනෙකුත් එවැනි සභා සමඟ සංසන්දනය කරන විට එය බහු-සංස්කෘතික හා හිමිකම් සුරැකෙන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් කීර්තියක් අත්කරගෙන සිටියේය.

“2004 මුල අපි මෙල්බන් නුවර පදිංචියට ආවා. කැන්බරා නුවර දී මම රැකියාව කළේ ඔස්ට්‍රේලියානු ‌ෆෙඩරල් ආණ්ඩුවේ කර්මාන්ත, නවෝත්පාදන හා විද්‍යා දෙපාර්තමේන්තුවේ ආයතනවල. මෙල්බන් ආවේ රැකියාවෙන් ඉවත් වෙලා. මෙල්බන් නුවර දී ඒ ප්‍රාන්තයේ ඒ දෙපාර්තමේන්තුවේම මූලස්ථානයේ සේවය කරන්නට සම්මුඛ පරීක්ෂණයකින් පසුව තෝරා ගත්තා. මගේ දේශපාලන මෙන්ම පුද්ගලික මිතුරන් වැඩියෙන්ම හිටියේ කැන්බරාවල වුණත් මෙල්බන් නුවරත් මම පුද්ගලිකව දන්නා මිතුරන් ටික දෙනෙක් හිටියා. එක් අයෙක් තමයි පක්ෂයේ සිටියදී මාත් සමඟ ‘ශෙන් ශක්ති’ පත්‍රය ගෙන ගිය මුරුග පූපති සහෝදරයා. මුලින් ඔහු පදිංචිව සිටියේ අපට කිට්ටුවමයි.”

“1977 දී මම ඔහුව දැන හඳුනා ගත්තේ ඒ සහෝදරයා වීරකේසරී පත්‍රයේ සේවය කරද්දී. තවමත් අප පුද්ගලික මෙන්ම දේශපාලන හිතමිතුරන්. 1978 ජනවාරි මුල හදිසියේ ම ආමර් වීදියේ පක්ෂ කාර්යාලයට ආ ඔහු මටත් රෝහණ සහෝදරයාටත් කිව්වා ‘මැයි දිනය පවත්වන්නට කණ්ඩායම් කොළඹ භූමි වෙන්කර ගැනීම පටන් අරගෙන තිබෙනවා. කොළඹ නගර සභා භූමිය තවම කවුරුවත් වෙන් කර ගෙන නැහැ පුළුවන් නම් සහෝදරවරු දැන්ම ඒක වෙන් කර ගන්න’ කියලා. අපි වහාම වෙනත් සහෝදරයෙක් නගර ශාලාවට යවලා ජ.වි.පෙ. මැයි දිනයට නගර සභා භූමිය වෙන්කරවා ගත්තා. නමුත් ජ.වි.පෙ. දේශපාලන එදිරි සියලුදෙනාම ජ.වි.පෙ.ට මඩ ගහන්න මේ කරුණ යොදා ගත්තා. ඒ අය මේ වෙන්කර ගැනීම ගැන කිව්වේ අපට එක්සත් ජාතික පක්ෂයත් සමඟ පවතින සම්බන්ධයක් ගැන ප්‍රචාරය කරමින්.”

“මම කැන්බරා නුවර දී දැන ගත් නල්ලයියා සූරියකුමරන් සහෝදරයා දිගටම පදිංචිව සිටියේ මෙල්බන් නුවර. ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් අපේ පවුලේ මිතුරන් බවට පත් වුණා. මයිකල් කොලින් කුක් සහ ගෙටානො ග්‍රෙකෝ සහෝදරවරු ඉන්දෙන්නෙක්. සූරිත් ගෙටානොත් ඩරබින් ජනවාර්ගික ප්‍රජා මණ්ඩලයේ (Darebin Ethnic Communities Council – DECC) ස්වේච්ඡා කටයුතු කරමින් හිටියා. ගෙටානො ඒ මණ්ඩලයේ සභාපති හැටියට ඩරබින් ජනවාර්ගික ප්‍රජා මණ්ඩලයේ විධායක කමිටුවට එක්වී වැඩ කරන්න මට ආරාධනා කළා. පස්සේ කාලෙක ඩරබින් නගර සභාවේ සභාපතිවරයා ලෙස ගෙටානො පත් වුණා. මම ජනවාර්ගික ප්‍රජා මණ්ඩලයේ විධායක කමිටුවේ කටයුතු කරන බව දැනගෙන මෙල්බන් නුවර ජාතිකවාදී සහ ජාතිභේදවාදී කණ්ඩායම් මා විධායක කමිටුවෙන් ඉවත් කරන ලෙස ඩරබින් ජනවාර්ගික ප්‍රජා මණ්ඩලයටත් පසුව එහි සභාපතිවරයා ව සිටි ප්‍රකට ජෝන් සීකා (Zika) මහතාටත් දැඩි ලෙස බලපෑම් කිරීමේ ව්‍යාපාරයක් අරගෙන ගියා. මේ නායකයන් බොහොම දෙනෙක් දැඩි දක්ෂිණාංශිකයන්.”

“ඔවුන් ඔස්ට්‍රේලියාවේ සිටින පළමු (ආදිවාසී - aboriginal) ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළි ගන්නවාට පවා විරුද්ධ යි. මා දකින අන්දමට ඔවුන් ඔස්ට්‍රේලියාවේ කරන වැඩකටයුතුත් ලංකාවේ ප්‍රශ්න සම්බන්ධයෙන් කරන කටයුතුත් බොහෝ විට එකිනෙකට පරස්පරයි. උදාහරණයක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන සිංහල ජාතිකයන්ට එරෙහිව එල්ලවෙන වෙනස්කම් කිරීම්වලට එරෙහිව ඇතැම් විට කතා කරන මේ අයම ලංකාවේ අනෙක් ජනවාර්ගිකයන්ට එරෙහිව වෙනස්කම් කිරීම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා. එවැනි වෙනස්කම් කිරීම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කරන දේශපාලන සංවිධානවලට සමීපවෙලා ඇතැම් විට ඒවා මෙහෙයවනවා. තමන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් යොදා ගන්නට හෝ සමාජ ප්‍රගමනයට අවශ්‍ය අවස්ථා නොලැබීම නිසා, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටින ඇතැම් අය, ලංකාවේත් ඔස්ට්‍රේලියාවේත් යහපත් සාධනීය සාධක උකහාගෙන කටයුතු කරනවා වෙනුවට ලංකාවේ සමාජයෙන් ගෙන ආ කුලය, ආගම, පංතිය, ප්‍රදේශය, පාසල් ආදී වශයෙන් වෙනස්කම් කිරීමේ නිෂේධනීය ලක්ෂණ සහිත ලංකාවේ වැනි සමාජයක් ඔස්ට්‍රේලියාවේ ආරෝපණය කරන්නට කටයුතු කරනවා. මේක සිංහල අය අතර පමණක් නොවෙයි දෙමළ අය අතරෙත් වෙනත් ඇතැම් රටවලින් පැමිණ සිටින අය අතරෙත් දකින්න තියෙනවා.”

“ උදාහරණයක් තමයි ග්‍රීක ජන කොටස් අතරේ ‘Golden Dawn’(රන්වන් අරුණ) නමැති ග්‍රීක සංවිධානය කරන බලපෑම. අලුතෙන් රටකට සංක්‍රමණය වුණාම තමන්ගේ රටෙන් ආපු තමන්ගේ භාෂාව කතා කරන අය සිටින ප්‍රදේශවල පදිංචියට යාම ස්වාභාවික ලක්ෂණයක්. නමුත් ඔවුන් ඒ රටේ සිටින අනෙක් ජන කොටස් සමඟ ආශ්‍රය කළ යුතුයි, කතා බහ කළ යුතුයි, ඒ සඳහා ඉංග්‍රීසි උගත යුතුයි. අපේ සමාජයෙන් උගත් හොඳ දේ ඔවුන් සමඟ බෙදා හදා ගත යුතුයි, ඔවුන්ගෙන් හොඳ දේ අප උකහා ගත යුතුයි. නමුත් මෙසේ වන්නේ නැහැ. මම කලින් සඳහන් කරපු ග්‍රීක අයත්, ලංකාවෙන් ආපු සිංහල දෙමළ ඇතැම් අයත් වෙනම ගුබ්බෑයම් හදා ගෙන ඒ අයගේ භාෂාවෙන් විතරක් කතා බහ කරගෙන ඒ අය අතරෙ ම ව්‍යාපාරත් කරගෙන ඉන්න බලනවා. ඒක ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. උදාහරණයක් වශයෙන් සිඩ්නි නුවර කැබ්රමටා ප්‍රදේශය වියට්නාම් ජාතිකයන් බහුලයි. හර්ස්ට්විල් ප්‍රදේශය චීන ජාතිකයන් බහුලයි. හැරිස් පාක් ඉන්දියන් අය බහුලයි. වික්ටෝරියාවේ ඩැන්ඩිනොං ප්‍රදේශයේ සිංහල සහ දෙමළ ජනයා බහුල යි. ඒ වුණත් තම තමන්ගේ මව් භාෂාවෙන් පමණක් ඒ අයට වැඩ කරන්න බැහැ. එහෙම උත්සහ කිරීම ප්‍රයෝගික නැහැ. පරම්පරා කිහිපයක් යන කොට මේ උත්සාහයන් ලිහිල් වෙනු ඇතැයි සියලු දෙනාම බලා පොරොත්තු වෙනවා.”

“ ඩරබින් ජනවාර්ගික ප්‍රජා මණ්ඩලය ඔස්ට්‍රේලියාවෙ තියෙන අනෙකුත් එවැනි ප්‍රජා මණ්ඩල අතරෙ බහු-සංස්කෘතික ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම මානව හා ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සම්බන්ධයෙන් කීර්තිමත් තත්වයක් අත්කරගෙන තියෙනවා. ජාතිකවාදීන්ගේ සහ ජාතිභේදවාදීන්ගේ බොරු ප්‍රචාරවලට ඔවුන් රැවටුණේ නැහැ.”

“මෙල්බර්න් නුවර මම මැදිහත් වුණු ප්‍රධාන කටයුතුවලින් එකක් 2008 දී ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයේ සංවාද කේන්ද්‍රයේ මූලිකත්වයෙන් අනුප්‍රාප්තික මහාචාර්ය ජෝශෆ් කැමිලේරි (Emeritus Professor Joseph Camilleri) සහ ආචාර්ය මිහාලිස් එස් මයිකල් මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ප්‍රජා සංවාද ව්‍යාපෘතිය ගොඩනඟා ගෙන යන්නට උත්සාහ කිරීම. ලාංකික ප්‍රජා කණ්ඩායම්වලින් 40 ක පමණ පිරිසක් අවුරුද්දක පමණ කාලයක් මේ සංවාදය දිගටම කර ගෙන ගියා. සංවාදය පටන්ගත් මුල් දින කිහිපයේ මේ අය මූණ බලා කතා බහ කරන තත්වයකවත් හිටියේ නැහැ. නමුත් දින කිහිපයක් ගතවෙනකොට හැමෝම වාගේ එකිනෙකා සමඟ කතා බහ කරන්නත් එකට වාඩි වී ආහාර ගන්නටත් අඬ දබරයට නොගොස් අදහස් හුවමාරු කරගන්නටත් පටන් ගත්තා. මේ සංවාද ව්‍යාපෘතිය අවසාන කාලය වන විට ලංකාවේ සිවිල් යුද්ධය ද ආයුධ බලයෙන් පමණක් අවසන් කරමින් තිබුණා. සිංහල ජාතිකවාදීන් ජයග්‍රහණයේ උන්මාදයෙන් කුල්මත් වී සිටීමත් දෙමළ ජාතිකවාදීන් කනගාටුවේ සහ කෝපාන්විත හැඟීම්වලට බරවීමත් හේතුවෙන් ඒ කටයුතු ඇන හිටියා. එහෙත් සංවාද ව්‍යාපෘතියට සහභාගි වූ සියලු දෙනාගේ සාමූහික එකඟත්වය මත පොදු එකඟතා නිවේදනයක් නිකුත් කරන්නට අපට පුළුවන් වුණා. ඒක වැදගත් ලියවිල්ලක්. අනෙක මෙම සංවාදයෙන් ඉතාමත් වටිනා අත්දැකීමක් ලැබුණා. නිවැරදි තත්වයන් සහ උචිත පහසුකම් ලබාදීමෙන් ජනනාත්මක සංවාදයක් සිදු කළ හැකිය යන්න ඒ මගින් පෙනුණා.”

“එවැනි ජනතා සංවාදයක් ලංකාවේ දියත් කළ යුතු බව මම තවමත් විශ්වාස කරනවා. එය කොළඹ ප්‍රභූ පැලැන්තිය මුල්කරගෙන පමණක් කරන සංවාදයක් නොවිය යුතුයි. එවැනි සංවාදයකට මුල පුරන්න අපි 2013-2014 කාල වකවානුවේ උත්සාහ කළා. අපි උත්සාහ කළේ ‘ඉපැරණි සංස්කෘතිය - නව අනාගතය : එකට එක්ව පෙරට ඇදෙන ශ්‍රී ලාංකිකයෝ’ යනුවෙන් සංවාද ව්‍යාපෘතියක් අරඹන්නට. මෙම ව්‍යාපෘතිය දියත් කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ පිහිටි ‘ජගත් සංහිඳියාව’ නමැති සංස්ථාපිත ආයතනයේ පෝල් කොමෙසරොෆ්, සුරේශ් සුන්ද්‍රම් සහ පෝල් ජේම්ස් යන මහාචාර්යවරුන්ගේ මූලිකත්වයෙන්. ජගත් සංහිඳියාව සංවිධානය ආයතන ගණනාවක සංවිධානාත්මක සහයෝගය ලබා ගන්නා, විශේෂයෙන් මොනෑෂ් (Monash University) සහ රාජකීය මෙල්බන් තාක්ෂණ විද්‍යායතනය (Royal Melbourne Institute of Technology) විශ්වවිද්‍යාල වෙතින් ක්‍රියාත්මක වන සංවිධානයක්.”

“2012 අගෝස්තු 24 වනදා සිට අපි ශ්‍රී ලංකා සිවිල් සමාජ සංවිධාන විශාල ගණනාවක සහභාගිත්වයෙන් ලංකාවේ සංහිඳියාව සඳහා ඇති හැකියාව ගැන සොයා බලන්නට කොළඹ රේණුකා හෝටලයේ දී දින තුනක වැඩමුළුවක් පැවැත්වූවා. 2013 ජූනි 11 වන දා මෙල්බන් නුවර වික්ටෝරියා පාර්ලිමේන්තු මන්දිරයේ දී අපි මෙම ව්‍යාපෘතිය ඔස්ට්‍රේලියාව තුළ දියත් කළා. ‘ජගත් සංහිඳියාව’ ආයතනය ලාංකික සහ ලාංකික සම්භවයක් සහිත විවිධ සංවිධාන, වෙළෙඳ ව්‍යාපාර සහ පුද්ගලයන්ගෙන් කොළඹ පැවැත්වූ වැඩමුළුවේ දී ලැබුණු යෝජනා මත පදනම් වූ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන්නට දැඩි උත්සාහයක යෙදුණා. මේ අරමුණ සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ චිත්‍ර ප්‍රදර්ශන වැනි දේත් සංවිධානය කළා. ඒත් එදා ලංකාවේ පැවති ප්‍රබල මර්දනකාරී වාතාවරණය මත ඒ උත්සාහය සාර්ථක අන්දමින් නිමාවට පත් වුණේ නැහැ.”

සිසිර යාපා

හෙට - එ‍ෙතරදී දැණුනු සුනාමි ඛේදවාචකය

නව අදහස දක්වන්න