ශ්‍රී ලංකා-එංගලන්ත තෙවැනි එක්දින තරගය අද පල්ලේකැලේදී | දිනමිණ

ශ්‍රී ලංකා-එංගලන්ත තෙවැනි එක්දින තරගය අද පල්ලේකැලේදී

එංගලන්තයට අභියෝගයක් දීමට නම් පළමු ඕවර 10 දී කඩුලු රැකගැනීම වැදගත්

තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක කියයි

පළමු ඕවර 10 ඇතුළත කඩුලු රැකගනිමින් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වන්නේ නම් අද (17) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා රාත්‍රි තුන්වැනි එක්දින තරගයේ දී එංගලන්ත කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පිලේ තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පවසයි.

පසුගිය තරග සැළකිල්ලට ගැනීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය අත්කර ගනු ලැබුවේ එම සාධකය මත බව දසුන් ශානක කියා සිටියේය. ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ ක‍ළේය.

‘අපි පුළුවන් තරම් කඩුලු රැකගෙන අවශ්‍ය ඉලක්කයට යා යුතුයි. වේලාසනින් කඩුලු වැටීම අවම කරගැනීමට පුළුවන් වුණොත් එංගලන්ත පිලට ලොකු පීඩනයක් එල්ල කළ හැකියි. ඒ වගේම දඟ පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන්ගෙන් හා අකිල ධනංජයගෙන් විශාල කාර්යභාරයක් අපි බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රධාන පන්දු යවන්නන් පස්දෙනකු භාවිත කළත් ඕනෑම වෙලාවක මාත්, ධනංජය ද සිල්වාත් පන්දු යවන්න සූදානමින් ඉන්නවා.’ දසුන් ශානක කීවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පෙළගැස්ම තරගයෙන් තරගයට වෙනස් කිරීම සම්බන්ධව ක්‍රීඩකයන්ගේ රැස්වීමේදි සාකච්ඡා කර තිබේ. ඉදිරි තරගවලදී එකම ‍පෙළගැස්මකින් යුතුව පිතිහරඹයේ නිරතවීමට සාකච්ඡා කරගත් බව දසුන් ශානක සඳහන් කළේය.

පසුගිය තරගයේදි අංක 5 ස්ථානයෙන් පිතිහරඹයට පිවිසි දසුන් ශානක පිතිහරඹ පෙළගැස්මේ ඉදිරි ස්ථානයකට පැමිණීම ගැන සතුටින් පසුවෙයි. කණ්ඩායමේ අවශ්‍යතාම මත පිතිහරඹයට ඉදිරි ස්ථානයකින් පැමිණි බවත්, අවශ්‍ය මොහොතක එවැනි ස්ථානයකින් පිතිහරඹයේ නිරතවීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසීය.

ෆවුස් මොහොමඩ්ප ල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට...

 

නව අදහස දක්වන්න