අපනයනකරුවන් දිරිමත් කිරීමට අවශ්‍ය සහාය ලබාදීම රජයේ වගකීමක් | දිනමිණ

අපනයනකරුවන් දිරිමත් කිරීමට අවශ්‍ය සහාය ලබාදීම රජයේ වගකීමක්

සමන්මලී ප්‍රියශාන්ති

අපනයනකරුවන් දිරිමත් කර ඔවුන්ට අවශ්‍ය කරන සහාය ලබාදීම රජයේ වගකීමක් බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අපනයනකරුවන්ගේ 16 වැනි සංසදයට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී මේ සංසදය පැවති අතර අපනයනකරුවන්ගේ ගැටලු විසඳීම සඳහා දෙමසකට වරක් මෙය පැවැත්වේ. මේ වන විට අපනයනකරුවන් වෙනුවෙන් ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවත් වසර 2020 දී නව අපනයනකරුවන් 2000 ක් බිහි කිරීමේ ජාතික වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙන බවත් ඇමැතිවරයා මෙහිදී කීය.

රජය මේ වන විට අපනයනකරුවන් දිරිමත් කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවද ඒ යටතේ ජනාධිපති අපනයන සම්මාන උළෙලක් පැවැත්වීමට පියවර ගත් බව ද ප්‍රකාශ කළේය.

අපනයනකරුවන් වෙනුවෙන් මෙවැනි විශාල වැඩකොටසක් මේ මොහොත වන විටත් සිදු කරමින් සිටින බවත් ඉදිරියේදී ද ඔවුන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බවත් හෙතෙම කියා සිටියේය. මේ සැසිවාරයේදී රාජ්‍ය අංශයේ ආයතන සමඟ සාකච්ඡා කර අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළෙඳ ගැටලුවලට විසඳුම් ලබාගැනීමට ද අවස්ථාව හිමිවිය.

රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් නිලධාරීහු රැසක් මේ සමුළුවට සහභාගි වූ අතර අපනයනකරුවන්ගේ ගැටලු 14 ක් සඳහා විසඳුම් ලබාදීමට මෙහිදී සාකච්ජා කෙරිණි.

ශ්‍රී ලංකා අපනයන සංව‍ර්ධන මණ්ඩලයේ සභාපති, ඉන්දිරා මල්වත්ත මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වුහ.

ඡායාරූපය - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න