‍ගෝඨාභයගේ නිවෙස ගැන රන්ජන්ගෙන් ප්‍රකාශයක් ගනී | දිනමිණ

‍ගෝඨාභයගේ නිවෙස ගැන රන්ජන්ගෙන් ප්‍රකාශයක් ගනී

විජයානි එදිරිසිංහ

කතරගම මැණික් ගඟ රක්ෂිතයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් ඉදිකැර ඇති බව කියන අනවසර සුපිරි නිවසට අදාළ වූ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) ප්‍රකාශයක් ලබා ගත්තේය.

විශාල වටිනාකමකින් යුත් ‍එම නිවෙස සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා විසින් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කැර තිබිණි.

එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශය ලබාදීම ඊයේ සිදුකළ අතර රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පැය තුනක පමණ කාලයක් එම ප්‍රකාශය ලබා දුන්නේය.

කතරගම වන රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක අනවසරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් වූ එම සුපිරි නිවෙස ඉදිකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි. තවද එහි සඳහන් වෙන්නේ පරිසර නීතිරීතිවලට පටහැනිව එම ඉදිකිරීම සිදුකර ඇත්තේ පසුගිය පාලන සමයේ බවයි.

කතරගම ඩිපෝ පාර වනරජ පෙදෙස ප්‍රදේශයේ එම සුපිරි නිවෙස පිහිටා තිබේ. එම නිවෙස ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට අයත් බවට සියලු තොරතුරු හෙළිදරව් කරගෙන ඇති බව රන්ජන් රාමනායක මහතා පවසයි.

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ල සම්බන්ධව එම දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කැර තිබේ.

ඒ අනුව මෙසේ රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවිය.

නව අදහස දක්වන්න