ගාලු කථිකාව ඔක්තෝබර් 22 සහ 23 දිනවලදී | දිනමිණ

ගාලු කථිකාව ඔක්තෝබර් 22 සහ 23 දිනවලදී

ගාලු කථිකාව – 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය, ඔක්තෝබර් මස 22 සහ 23 යන දෙදින තුළ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට සියළු කටයුතු මේවන විට සූදානම් කර ඇත.
 
‘සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම’ (Synergizing for collaborative maritime management) යන්න මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වේ.
 
නව වන වරටත් සංවිධානය කරනු ලබන මෙවර සම්මන්ත්‍රණය සඳහා රටවල් 50 ක විදේශ නියෝජිතයින් සහ සාගරික කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කරනු ලබන දේශීය නියෝජිතයින් විශාල පිරිසක් ද මෙවර සම්මන්ත්‍රණය සඳහා සහභාගිවිමට නියමිතය.
 
මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ(16) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ පිහිටි අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
 
මාධ්‍යවේදින් අමතමින් අදහස් දැක් වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ප්‍රකාශ කර සිටියේ මෙම සාගරික සම්මන්ත්‍රණය කලාපීය මෙන්ම කලාපීය නොවන නාවික හමුදාවන් සහ වෙනත් ආරක්ෂක සහ සාගරික සංවිධානයන්වල වෘත්තිකයින්  හට සිය අදහස් හුවමාරු කර ගත හැකි හොඳ ‍අවස්ථාවක් බවයි.
 
මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් මහතා ද සහභාගීවූ අතර, විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදින් රැසක් මේ සදහා සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න