එතෙර දී දැනුණු සුනාමි ඛේදවාචකය | දිනමිණ


 

එතෙර දී දැනුණු සුනාමි ඛේදවාචකය

මඟ හැරුණු මිනිසා 98

“දැන් දැන් විවේචනාත්මක විමර්ශනයටත් සමාජ ක්‍රියාකාරිත්වයටත් තිබෙන ඉඩකඩ බෙහෙවින් පටු වෙමින් පවතින බව අපට පේනවා. නමුත් අපි ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ පවතින දේශපාලන ඉඩකඩ දැඩි උනන්දුවෙන් යුක්තව උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නවා. කල් පවතින සාමයක් උදෙසා පවතින එකම මඟ දිවයිනේ බහු සංස්කෘතික වියමන අවබෝධ කර ගැනීමය යන්න පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට මහන්සි වෙනවා. ඇත්තටම අනාගතය ආරක්ෂා කර ගැනීම සඳහා ඇති එකම මාර්ගය මෙය බව අපට පැහැදිලි යි. විශේෂාංග ලිපි ලියමින්, සම්මන්ත්‍රණ පවත්වමින්, මාධ්‍ය සම්මුඛ සාකච්ඡා සපයමින්, සදොස් මත නිවැරැදි කරමින්, රැස්වීම් අමතමින්, අන්තර්ජාලයට, සඟරා සහ පුවත්පත්වලට තොරතුරු බෙදා දෙමින් මට හැකි උපරිමයෙන් මම ඒ කරුණු සහෝදර ජනතාව අතරට ගෙන යනවා. ඒ වගේම විවිධ සංවිධානවලට සම්බන්ධ වෙමින් දුෂ්කර අවස්ථාවන්ට පත් වූ අන්‍ය ප්‍රජාවන්ට උදව් කිරීමටත් අපි උත්සාහ ගන්නවා.”

මෙල්බන් නුවර අලුතින් ගොඩනැඟී එන ඉන්දියානු ජන ප්‍රජාවට සහාය පළ කරනු වස් ලයනල් බෝපගේ විශේෂයෙන් තම හඬ අවදි කළේය. ඉන්දියානු ප්‍රජාව, විශේෂයෙන් එහි ශිෂ්‍ය ජනගහනය ඩරබින් නගර සීමාව තුළ විශාල මෙන්ම පුළුල් වෙමින් පැවතුණ ජන කණ්ඩායම වූහ. ජීවත්වීම උදෙසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අඩු පඩි සහිත අස්ථිර රැකියාවල නිරත වෙති. ඉන් එකක් වූයේ ටැක්සි රියැදුරු රැකියාවයි. ආරක්ෂාව හිඟකම සහ බලධාරීන් විසින් කඩ කරන ලද පොරොන්දු පිළිබඳව ඇති වූ ඉච්ඡා භංගත්වය එක් අවස්ථාවක ඍජු ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දියානු රියැදුරන් පොළඹවාලීය. ඒ පිළිබඳව බෝපගේ මෙසේ පවසයි:

“ටැක්සි රියැදුරන් හැටියට තමන් ඉටු කරන කටයුත්ත කරගෙන යන්නට වඩා යහපත් තත්ත්වයන් ඉල්ලලා ඇඩිලේඩ් සහ මෙල්බන් යන නගරවල දහස් ගණන් ආසියානු ශිෂ්‍යයෝ විරෝධය පෑමේ ක්‍රියාමාර්ග පටන් ගත්තා. මේ අයගෙන් වැඩි දෙනෙක් ඉන්දියානු ජාතිකයෝ. තමන්ගෙ සගයකුට පහර දීලා ඔහුව කොල්ලකෑව නිසා ඔවුන් ඇඩිලේඩ් නුවර ගුවන් තොටුපළේ වාහන තදබදයක් ඇති කළා. මෙල්බන් නුවර සගයකුට පිහියෙන් ඇන්න වෙලාවෙ ඔවුන් කාර්යබහුල වෙලාවෙ ප්‍රධාන වෙළෙඳ දිස්ත්‍රික්කය මැද්දෙ වාඩි ලා ගෙන විරෝධය පෑවා. මෙල්බන්වල ඔවුන් ගත් ක්‍රියාමාර්ගය ස්වේච්ඡාවෙන් ශබ්ද නඟා කරපු උද්වේගකාරී, නමුත් සාමකාමී විරෝධයක්. ඔවුන්ගේ ක්‍රියාවෙන් ප්‍රාන්ත ආණ්ඩුව සහ පොලිසිය මවිතයට පත් වුණා.”

බලාපොරොත්තු නොමැතිව මෙයට මැදි වුණු බලධාරීහු ඒ රියැදුරන් වෙත සීමිත වරදානයන් පිරිනැමූහ. ටැක්සි රියැදුරන්ගේ මේ ඍජු ක්‍රියාමාර්ගය පිළිබඳව ඉන්දීය පුවත්පත්වලට වාර්තා කළ ලයනල් බෝපගේ මෙසේ ප්‍රකාශ කළේය:

‘විදේශීය ශිෂ්‍යයන් බදු අරමුණු සඳහා ඕස්ට්‍රේලියානුවන් හැටියට සලකනු ලැබේ නම්, බදු ගෙවන්නන් බහුතරයට ලබා දෙන ඉඩ ප්‍රස්ථාවන් සහ ආරක්ෂාව ඔවුන්ට ද ලබා දිය යුතුය.’

ලයනල් බෝපගේ කැන්බරා නුවර වෙසෙද්දී මෙල්බන්හි ‘මානව අයිතීන් සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය’ ගොඩනැඟීමට ද සහයෝගය දුන්නේය. මෙල්බන් නුවර පදිංචියට පැමිණි දා සිට ඔහු එම සංවිධානයේ සාමාජිකයෙක් ලෙස එක් විය. ඒ ව්‍යාපාරය ඕස්ට්‍රේලියාවෙහි ජීවත්වන සියලු විප්‍රවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙන්ම ඔස්ට්‍රේලියානු ප්‍රජාවේ ජනයාගෙන්ද සමන්විත පුළුල් සංවිධානයකි. ‘දේශපාලනිකව, සමාජීයව සහ ආර්ථිකමය’ වශයෙන් රට විනාශ මුඛයට ගෙන යන’ ගැටුමෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට අව්‍යාජ බලය බෙදා ගැනීමක් අවශ්‍ය බව එම සංවිධානය විශ්වාස කරයි.

“මම ප්‍රජා සංවිධාන කිහිපයක වැඩ කරනවා. ‘ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාවය’ යන සංවිධානයත් ‘මානව අයිතීන් සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය’ත් එයින් ප්‍රධානයි. ‘මානව අයිතීන් සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය’ මෙල්බන් නුවර බිහිවුණේ අනූ ගණන්වල අග භාගයේ. ඒ කාලයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පෝලින් හැන්සන් මහත්මිය ‘One Nation’( එක ජාතිය) කියලා අන්ත ජාතිකවාදී දේශපාලනය මත පදනම් වුණු සංවිධානයක් පටන් ගත්තා. ඒ අයගේ මතය ඕස්ට්‍රේලියාවේ සියලු ප්‍රශ්නවලට මුල ආසියාවෙන් පැමිණි සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියානු ජාතිකයින්ගේ රැකියා අත්පත් කර ගැනීම බවයි. ‘වන් නේෂන්’ සංවිධානයේ ජාතිකවාදී ප්‍රහාරයට එරෙහිව දේශපාලන වශයෙන් නැඟී සිටි ඕස්ට්‍රේලියානු සංවිධාන සමඟ එකට කටයුතු කළේ ලාංකිකයන් සම්බන්ධ මෙල්බන් නුවර ‘මානව අයිතීන් සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය’ සහ කැන්බරා නුවර ‘ලක් සාමයේ මිතුරෝ’ පමණයි.”

“දැන් දැන් විවේචනාත්මක විමර්ශනයටත් සමාජ ක්‍රියාකාරිත්වයටත් තිබෙන ඉඩකඩ බෙහෙවින් පටු වෙමින් පවතින බව අපට පේනවා. නමුත් අපි ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ පවතින දේශපාලන ඉඩකඩ දැඩි උනන්දුවෙන් යුක්තව උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නවා. කල් පවතින සාමයක් උදෙසා පවතින එකම මඟ දිවයිනේ බහු සංස්කෘතික වියමන අවබෝධ කර ගැනීමයි යන්න පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට මහන්සි වෙනවා. ඇත්තටම අනාගතය ආරක්ෂා කර ගැනීම සඳහා ඇති එකම මාර්ගය මෙය බව අපට පැහැදිලි යි. විශේෂාංග ලිපි ලියමින්, සම්මන්ත්‍රණ පවත්වමින්, මාධ්‍ය සම්මුඛ සාකච්ඡා සපයමින්, සදොස් මත නිවැරැදි කරමින්, රැස්වීම් අමතමින්, අන්තර්ජාලයට, සඟරා සහ පුවත්පත්වලට තොරතුරු බෙදා දෙමින් මට හැකි උපරිමයෙන් මම ඒ කරුණු සහෝදර ජනතාව අතරට ගෙන යනවා. ඒ වගේම විවිධ සංවිධානවලට සම්බන්ධ වෙමින් දුෂ්කර අවස්ථාවන්ට පත් වූ අන්‍ය ප්‍රජාවන්ට උදව් කිරීමටත් අපි උත්සාහ ගන්නවා.”

මේ සියල්ල අතරේ 2004 දෙසැම්බර් 26 වනදා ලංකාවට කඩා වැදුණු සුනාමි ව්‍යසනය ලයනල් බෝපගේගේ ජීවිතයට වේදනාකාරී මතකයක් ගෙන ආවේය.

“සුනාමිය අපේ රටට කළ විනාශය තරමේ ම වේදනාවක් මටත් අපේ පවුලේ අයටත් ඉතිරි කොට ගියා. 71 මාව අත්අඩංගුවට ගත්තට පස්සේ මාව බලන්න ආව මගේ පවුලේ සහෝදර සහෝදරියන්ගෙන් පළමු කෙනා වුණේ මගේ ලොකු නංගී ලතා බෝපගේ. 2004 සුනාමිය ගාල්ලට කඩා වැදිලා මගේ ලොකු නංගීත් එයාගේ ස්වාමි පුරුෂයාත් දරුවන් දෙදෙනාත් අපට අහිමි කළා.”

“ඒ වගේම සුනාමිය අපට පෙන්වා දුන්නේ මොකක්ද? සුනාමි ව්‍යසන සමයේ අපේ රටේ ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය. අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා. මෙම ව්‍යසනයේ දී දළ වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදර ජනතාව 35,000ක් පමණ ජීවිතක්ෂයට පත් වුණා. දස ලක්ෂයක් පමණ අවතැන් වුණා. දකුණේ, උතුරේ සහ නැගෙනහිර දැඩි වශයෙන්ම ආපදාවට ලක් වුණේ ධීවර කර්මාන්තයෙන් යැපෙන උදවිය. සුනාමියෙන් මාස 7කට පස්සේ නැයෝමි ක්ලයින් දකුණේ විපතට පත් වූ ප්‍රදේශයක සංචාරය කළා. එහි ජනගහනයෙන් සියයට 80‍කට වඩා විපතට පත්ව සිටියා. විපතට පත් වුණු අය ලැගුම් ගන්වා තිබුණේ වෙරළට ඈතින් ඉදි කරපු ගැල්වනයිස් තහඩුවලින් වට කරල ඒ තහඩු ම සෙවිලි කරපු පැල්පත්වල. තහඩු රත්වීමෙන් පැල්පත් ඇතුළෙ තදින් උණුසුම් වීම නිසා මිනිස්සු නිදා ගත්තේ ඒ පැල්පත්වලින් පිටත. ඔවුනට ඉතා සුළු සහනාධාරයකුත් දෛනික ආහාර සලාකයකුත් ලැබුණා.”

‘පාලක ප්‍රභූ පැලැන්තියේ කොටසක්’ තම රටේ සහෝදර මිනිසුන්ට සිදු වූ ව්‍යසනය දැක්කේ කෙසේ දැයි බෝපගේ ප්‍රශ්න කරයි. ඔහු පවසන අන්දමට ඒ කොටසට සුනාමිය ඒ කාලයේත් පසු කාලයේත් තවත් ව්‍යාපාරික අවස්ථාවක් විය. සුනාමිය ඉහළ පැලැන්තියේ සංචාරක සාප්පු ගමනාන්තයක් සඳහා ලංකාවේ වෙරළබඩ ප්‍රදේශය එළි පෙහෙළි කර දුන්නේය. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශය දකුණු ආසියාවේ දැකුම්කළු සංචාරක පුරවරයක් බවට පත් කිරීම ව්‍යාපාරික සැලසුම වී තිබුණු බව බෝපගේ කියයි.

“සුනාමියෙන් පසු මේ සැලසුම් පිටපත අනාගත ආයෝජකයන් අතට පත් කර තිබුණා. මේ ගාම්භීර සැලැස්ම සුනාමියට වසර දෙකකට පෙර සකස් කොට ඉදිරිපත් කෙරුණ එකක්. ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් විසින් එය නිර්මාණය කරලා තිබුණේ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය සහ ලෝක බැංකුවේ උදව් ඇතිව. එපමණක් නොවෙයි, එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම් මහතා ලෝකයේ හැම තැනින් ම සුනාමි ආධාර හැටියට ගලා ගෙන ආ කෝටි ගණන් මුදල්වලට වුණු දේ ගැන හොයන්නට නීතිය හමුවට ගියා. ඒ නඩුව පැවරුවේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා දුන්නාට පස්සේ. ඒ අවස්ථාවෙ හිටපු අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තුන් දෙනෙක් ඒකමතිකව තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවෙන් කිව්වේ ඒ නඩු පැවරීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා අපකීර්තියට පත් කරන්නත් රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන වාසියක් ලබා දෙන්නත් ඉඩ තිබෙනවා කියලා. මට මතක අන්දමට රාජපක්ෂ මහත්මයාට හෂීම් මහත්මයාට වන්දි ගෙවන්නත් සිද්ධ වුණා. රාජපක්ෂ මහත්මයා කිව්වේ ‘හෙල්පිං හම්බන්තොට’ (Helping Hambantota) ගිණුමේ පුද්ගලිකව මුදල් තබාගෙන හිටියේ සුනාමියෙන් අලාභ හානි වුණ අයට ඉක්මණින් ගෙවීම් කටයුතු කරන්න කියලයි. නමුත් ඒ ගැන විශේෂ සොයා බැලීමක් කෙරුණේ නැහැ. පසුකාලෙක තමන් කළ දේ වැරදියි, නමුත් ඒ විදියට කළේ රාජපක්ෂ මහත්තයා බේරන්න කියල” හිටපු අග විනිසුරුවරයා පිළිඅරගෙන තිබුණා

2004 සුනාමියෙන් පසුව මෙම ‘මෝක්ෂය’ වර්ධනය කරන්නට ආණ්ඩුවට පෞද්ගලික ඉඩම් අයිතිය සඳහා තිබුණු බාධාවන් ඉවත් කිරීමට සිදු වුණි. ඉඩම්වලින් සියයට 80ක් පාලනය කළේ ආණ්ඩුව යි. සංචාරකයන්ට මෙරට තම නිවහන ලෙස දැනෙන අන්දමට යටිතල පහසුකම් වර්ධනය කරන්නට ආණ්ඩුවට සිදු වුණි. බෝපගේ ට අනුව ‘වඩා නම්‍යශීලී කම්කරු නීති සම්මත කිරීමට’ ද ඔවුහු සුදානම් ව සිටියහ. එහෙත් යුද්ධය හේතුවෙන් අධික ණය බරක ගිලී තිබීම නිසා ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට පාලකයන්ට නොහැකි වූ බව බෝපගේගේ අදහසයි.

“මෙවැනි ම සැලසුමක් යුද්ධයෙන් පස්සෙත් ක්‍රියාත්මක කරන්න පාලකයෝ උත්සාහ දැරුවා. විශේෂයෙන් මේ අය උත්සාහ දරන්නේ පෞද්ගලික ඉඩම් අයිතිය සඳහා තිබෙන ‘බාධාවන්’ ඉවත් කරන්න. ඒත් මේ රටේ ඉඩම් නීතිය යම් තාක් දුරට තවමත් ශක්තිමත් ව පවතින නිසා පාලකයන් හිතන ආකාරයට ඔවුන් නිර්වචනය කරන ‘බාධාවන්’ ඉවත් කිරීම අපහසු වෙලා තියෙනවා.”

සිසිර යාපා

‍හෙට - දකුණත් උතුරත් නොකියවූ පාඩම්

නව අදහස දක්වන්න