දඹුල්ල බස් නැවතුම්පළ අසල කප්පම් කල්ලියට වැඩ වරදී | දිනමිණ

දඹුල්ල බස් නැවතුම්පළ අසල කප්පම් කල්ලියට වැඩ වරදී

සිගිරිය විශේෂ

පෞද්ගලික බස් රථවලින් දඹුල්ල බස් නැවතුම්පළ ආසන්නයේදී කප්පම් ලබා ගන්නා පුද්ගලයන් දෙදෙනකු සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව දඹුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් දඹුල්ල නගරයේ පිහිටි කැකිරාව බස් නැවතුම්පළ ආසන්නයේ සිවිල් ඇඳුමෙන් රැකසිට සූක්ෂ්ම ලෙස මුදල් ලබා ගන්නා මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම විශේෂත්වයකි.

පොලිසිය කියා සිටියේ ලොතරැයි පත් අලෙවි කරන මුවාවෙන් සහ බුලත්විට විකුණන මුවාවෙන් බස්නැවතුම්පොළේ රැඳී සිටිමින් පොළොන්නරුව ත්‍රිකුණාමලය, අනුරාධපුර ,යාපනය, වවුනියාව, මඩකලපුව, යාපනය , ආදී දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට සහ මහනුවරට යන පෞද්ගලික බස්රථවලට ගොඩ වී මේ පුද්ගලයන් මුදල් ලබා ගන්නා බව තහවුරු වූ බව පොලිසිය කියයි .

මේ පුද්ගලයන් පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මුදල් ලබාදෙන බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට දැනුවත් කළ ද ඔවුන් ඉතා ඕනෑකමින් මඟහරිමින් එම මුදල් ලබාදී පිටව යන බව ද පොලීසිය කියයි. බස් රියැදුරන් මගහැර යනු ලබන්නේ ඉදිරියට එම මාර්ගයේ ධාවනය කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබීම සහ ගැටුම්කාරී තත්ත්වයන්වලට මුහුණ පෑමට සිදුවන නිසාවෙන් බව ඔවුහු පොලිසියට පවසා තිබේ. කෙසේ වෙතත් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ දඹුල්ල නගරයේ බස් නැවතුම්පොළවල් පිහිටි සෑම ස්ථානයකම සිවිල් ඇඳුමෙන් පොලිස් නිලධාරීන් යොදවා බස්රථවලින් කප්පම් ලබා ගන්නා පුද්ගලයන් මෙන්ම තවත් අයෙකුට කප්පම් ලබා දෙන බස් කොන්දොස්තරවරු සහ රියැදුරන්ද පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ය.

මගීන් රැසක් දඹුල්ල පොලිසියට පැමිණිලි කොට ඇත්තේ මෙසේ මුදල් ලබා නොදුනහොත් ඔවුන් ඉතා පහත් ආකාරයෙන් පරුෂ වචන කියා බස් නැවතුම් පොළවල අශෝභන ලෙස හැසිරෙන බවය . මේ හේතුව නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් ඔවුහු පොලිසියට දැනුම් දී තිබේ. ඒ අනුව රහසිගතව සිවිල් ඇඳුමෙන් යොදවා සිටින පොලිස් නිලධාරීන් හරහා මේ සිද්ධීන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන් කිහිපයක් අනුගමනය කිරීමටත් පොලිසිය ක්‍රියාත්මක වී ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙසේ කප්පම් ලබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමෙන් පසු අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

නව අදහස දක්වන්න