කුමන්ත්‍රණයකට ඉන්දීය සම්බන්ධයක් ගැන කීවේ නෑ | දිනමිණ

කුමන්ත්‍රණයකට ඉන්දීය සම්බන්ධයක් ගැන කීවේ නෑ

කිසිදු ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සඳහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය මෙසේය.

වර්ෂ 2018 ඔක්තෝබර් 16 වැනි අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් පිළිබඳ සඳහන් කෙරුණු බවට දේශීය හා අන්තර්ජාතික වශයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානය යොමුව ඇත. කිසිදු ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් තමන්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සඳහනක් ජනාධිපතිවරයා විසින් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.

පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ක්‍රියාත්මක වී යැයි කියන කුමන්ත්‍රණ තැත සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකෙරී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇත. මෙම කැබිනට් රැස්වීමේ විවිධ අවස්ථාවන්හි සාකච්ඡා කළ අනෙකුත් මාතෘකා අතර කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සංවර්ධන කටයුතු ද ඇතුළත් විය. ජාතික ආර්ථිකයේ යහපත උදෙසා ශ්‍රී ලංකාවට ගැඹුරු මුහුදක් සහිත වරාය පර්යන්තයක් තිබීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

මෙම ආණ්ඩුව ආරම්භයේ සිට ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතිශය සුහදශිලී සබඳතාවක් සහ සහයෝගිතාවක් පවත්වාගෙන ඇත. දෙරට අතර රාජ්‍ය නායක මට්ටමේ සංචාර ගණනාවක්ම සිදුවී ඇති අතර එම සංචාර රටවල් දෙක අතර විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව වර්ධනයට හේතුවී තිබේ.

උක්ත මාධ්‍ය වාර්තාවන්ට පසුගාමීව, ඉන්දීය මහකොමසාරිස්තුමා අද උදෑසන ජනාධිපතිතුමා බැහැදැකීමට පැමිණි අතර එහිදී සිදුකෙරුණු සාකච්ඡාවේදී සියලු කාරණා පැහැදිලි කෙරුණු අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළම සුහදශිලී බවකින් සිදුවන බව සහතික කෙරී තිබේ.

මෙම තත්ත්වයන් යටතේ දෙරට අතර පවත්නා යහපත් සබඳතාවට මෙන්ම දෙරටේ රාජ්‍ය නායකයන් අතර පවතින පෞද්ගලික හිතවත්කමට අනර්ථයක් සිදුකිරීමේ අභිලාෂයෙන් මෙවැනි විකෘති ප්‍රචාර සිදුකිරීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.


නව අදහස දක්වන්න

Or log in with...