ඇමැති මණ්ඩලයේ සාකච්ඡා පිලිබඳ  වාර්තා අසත්‍යයි | දිනමිණ

ඇමැති මණ්ඩලයේ සාකච්ඡා පිලිබඳ  වාර්තා අසත්‍යයි

ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (16) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට භාජනය වූ කරුණු සම්බන්ධයෙන් ඊ‍ෙය් (17) මුද්‍රිත විද්යුත් මාධ්‍ය මඟින් පළ කරනු ලැබ ඇති ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බව ඇමැති මණ්ඩලයේ ලේකම් එස්. අබේසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

එම නිවේදනය මෙසේය.

2018 ඔක්තෝබර් මස 16 වන දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට භාජනය වූ කරුණු සම්බන්ධයෙන් ඊ‍ෙය් (17) දින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් පළ කරනු ලැබ ඇති ප්‍රවෘත්ති පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමුවී ඇත. එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බව අවධාරණය කරනු ලැබේ.

යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට අදාළව ඉන්දීය රජය විසින් හෝ ඉන්දීය සමාගම් විසින් මෙරට ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරෙන ව්‍යාපෘතිවලට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ කිසිවක් එම රැස්වීමේ න්‍යාය පත්‍රයේ ඇතුළත්ව නොතිබුණි

මෑතකදී නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුව අතරවාරයේ දෙරටේදී වැදගත් වන අන්‍යෝන්‍ය කරුණු මෙන්ම කලාපයේ හා ජාත්‍යන්තර තලයේ වැදගත් කරුණු සම්බන්ධයෙන් ඉන්දීය ඇමති නරේන්ද්‍ර මෝදි මහතා හා තමන් අතර පැවැති සාකච්ඡාවේදී අවධානයට ‍ෙයාමු වූ වැදගත් කරුණ පිළිබඳව මෙම මණ්ඩල රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී. එම සාකච්ඡා තුළින් දෙරට අතර පවතින දිගුකාලීන සමීප මිත්‍රත්වය තවත් තහවුරු වූ බව එතුමා විසින් අවධාරණය කරන ලදී.

එබැවින් ඇමැති මණ්ඩලයේ සාකච්ඡා වන කරුණු පිළිබඳව වාර්තා කිරීමේදී ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍යතුමන්ලා විමසමින් කරුණු තහවුරු කරගෙන අදාළ වාර්තා පළ කිරීම කෙරෙහි සිය අවධානය යොමු කරන ලෙස සියලුම මාධ්‍ය ආයතන වෙතින් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

නව අදහස දක්වන්න